BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, August 30, 2017

ගුටිකෙළි මැද දකුණෙත් 20 පරදී - එජාප මන්ත්‍රී සෙංකෝලය පැහැරගෙන පනී

විසිවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව ඊයේ (29 වැනිදා) දකුණු පළාත් සභාවේ පැවැති විශේෂ රැස්‌වීමේදී එජාප මන්ත්‍රීවරයකු සෙංකෝලය පැහැරගෙන යැමත් සමඟ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක්‌ ඇති විය.

සභාවේ පැවැති උණුසුම්කාරී වාතාවරණයෙන් අනතුරුව පනත් කෙටුම්පත ඡන්ද 27 කින් පරාජයට පත් විය. දකුණු පළාත් සභාව නියෝජනය කරන ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු 27 දෙනෙක්‌ පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

මන්ත්‍රීවරුන් 55 දෙනකුගෙන් සමන්විත මෙම පළාත් සභාවේ පනත පිළිබඳ ඡන්ද විමසන අවස්‌ථාවේ එජාපයේ හා මෛත්‍රි පාර්ශ්වයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සභාවේ සිsටියේ නැත.

20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ සභා රැස්‌වීමක්‌ ඊයේ (29 දා) කැඳවා තිබුණි. චන්දන ප්‍රියන්ත මන්ත්‍රීවරයා සෙංකෝලය පැහැරගෙන සභා රැස්‌වීමෙන් පිටතට දිව ගියේය. ඒ සමඟ ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු චන්දන ප්‍රියන්ත මන්ත්‍රීවරයා පසුපස ලුහුබැඳ ගොස්‌ ඔහුට පහරදී සෙංකෝලය උදුරාගෙන එය යළි සභාවට රැගෙන ආහ. මේ සමඟ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක්‌ ඇතිවිය. ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් චන්දන ප්‍රියන්ත මන්ත්‍රීවරයාට මෙහිදී පහර දුන් අතර ඔහු බේරා ගැනීමට එජාප මන්ත්‍රීවරුන් දැඩි සටනක නිරතවනු දැකගත හැකි විය. සෙංකෝලය කොටස්‌ තුනකට ගැලවී ගොස්‌ තිබුණි.

ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු සෙංකෝලය යළි රැගෙන විත් සභා රැස්‌වීම පැවැත්වීමට කටයුතු කළහ. ඒ අනුව 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ඡන්දය ප්‍රකාශ කරන ලෙස සභාපතිවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව මෙකී පනතට විරුද්ධව ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු 27 දෙනෙක්‌ ඡන්දය ප්‍රකාශ කළහ. පනත් කෙටුම්පත ඡන්ද 27 කින් පරාජයට පත්විය. ඡන්දය විමසන අවස්‌ථාවේ එජාප මන්ත්‍රීවරු සභාපතිවරයාට විරෝධය දක්‌වා සභා ගැබෙන් පිටව ගියහ. එහෙත් එජාප මන්ත්‍රී ටී. වී. කේ. ගාමිණී මන්ත්‍රීවරයා සභාවේ රැඳී සිට ඡන්දය දීමෙන් වැළකී සිටියේය. මහ ඇමැති ෂාන් විඡේලාල් ද සිල්වා මහතා ඇමැතිවරුන් වන යූ. ජී. ඩී. ආරියතිලක, එච්. ඩබ්ලිව්. ගුණසේන යන ඇමැතිවරුන් හා රන්දිම ගමගේ පසඳ යාපා අබේවර්ධන, සුජිත් මුතුකුමාරණ යන මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්‌ථාවේ සභාවේ සිටියේ නැත.

කෙසේ වුවද වීරසුමන වීරසිංහ ඇමැතිවරයා මෙම පනතට විරුද්ධව ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් සමඟ ඡන්දය ප්‍රකාශ කළේය.

ජ. වි. පෙ. මන්ත්‍රීවරුන් පස්‌ දෙනා මෙදින සභා රැස්‌වීමට පැමිණ සිටියේ නැත. මෙකී පනත් කෙටුම්පත ඊයේ දකුණු පළාත් සභා රැස්‌වීමට ඉදිරිපත් කළ තිබූ අවස්‌ථාවේ එය එදින සාකච්ඡාවට නොගෙන 12 වැනිදා පැවැත්වෙන සභා රැස්‌වීමට සංශෝධන සහිතව ඉදිරිපත් කරන ලෙස දකුණු පළාත් ආණ්‌ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්‌කාර මහතා සභාපතිවරයාට දැනුම් දී තිබුණි. මෙයට දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු දැඩි විරෝධය පළ කළහ. චම්ලි විතානාච්චි, සම්පත් අතුකෝරල, ක්‍රිෂාන්ත පුෂ්පකුමාර, ඩී. වී. උපුල් යන මන්ත්‍රීවරු මෙයට දැඩි විරෝධය පළ කළහ. ඒ සමඟ සභා රැස්‌වීම ගාලගෝට්‌ටියක්‌ බවට පත්විය.

සභාපතිතුමනි, දකුණු පළාතේ විධායකයා වන්නේ ආණ්‌ඩුකාරතුමා. එතුමා විසින් සභාවට එවනු ලබන නියෝග හා දැනුම්දීම අපි පිළිගත යුතු වෙනවා. ඒ නිසා මෙම පනත සංශෝධන සහිතව 12 වැනිදා ඉදිරිපත් කරන්න අවස්‌ථාව ලබා දෙන්න. මන්ත්‍රීවරුන්ගේ මතය විමසීම අවශ්‍ය වන්නේ නැහැ. ඒක නීත්‍යනුකූල නැහැ. ඒ නිසා සභා රැස්‌වීම 12 වැනිදා දක්‌වා කල්දමන්න යෑයි ප්‍රධාන ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

එහෙම කල්දමන්න බැහැ. මෙකී පනත පිළිබඳ මන්ත්‍රීවරුන්ගේ මතය විමසන්න. නැති නම් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වෙනවා. පනත් කෙටුම්පත අදම සභාවට ඉදිරිපත් කරලා මන්ත්‍රීවරුන්ගේ මතය විමසන්න යෑයි කියමින් චම්ලි විතානාච්චි, සම්පත් අතුකෝරල, ඩී. වී. උපුල් යන මහත්වරු දැඩි විරෝධය පළ කරමින් කෑ ගසන්නට වූහ. නැවත වතාවක්‌ ප්‍රධාන ඇමැති ෂාන් විඡේලාල් ද සිල්වා, යූ. ජී. ඩී. ආරියතිලක යන මහත්වරු "නීත්‍යනුකූල කටයුතු කරන්න" යෑයි සභාපතිවරයාට පැවසූහ.

මෙම ගාලගෝට්‌ටිය නිසා සභා රැස්‌වීම විනාඩි 15 කට කල් දැමූ සභාපතිවරයා යළි සභා රැස්‌වීම පැවැත්වීමට කටයුතු කළේය.

සභාපති කේ. ඒ. සෝමවංශ මහතා

මන්ත්‍රීවරුන්ගේ මතය අනුව මට කටයුතු කරන්න සිදුවෙනවා. ඒ නිසා මේ පනත ගැන ඡන්ද විමසීමක්‌ පවත්වනවා.

ඒ සමඟ දකුණු පළාත් සභාවේ විපක්‌ෂනායක තෙන්නකෝන් නිලමේ, අශෝක ධනවංශ ද සිල්වා, චන්දන ප්‍රියන්ත ඇතුළු එජාප මන්ත්‍රීවරු සභාපතිවරයාට දැඩි විරෝධය පළ කරමින්a සභා රැස්‌වීමෙන් පිටව ගියහ.
« PREV
NEXT »