BREAKING NEWS
latest

728x90

468x60

Thursday, August 17, 2017

හොඳට හිටින අර්බුද


“ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල්” කියා කතාවක් ඇත. මේ දිනවල යහපාලන ආණ්ඩුව පැත්තේ සිදුවන දෙයින්ද රජ මඟුල් වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයටය. ආණ්ඩුවේ බොහෝ ප්‍රශ්න තිබෙන්නේ දූෂණ, වංචා හා අපරාධ පිළිබඳ පරීක්ෂණ දිග් ගැසීමේ ප්‍රතිඵල වශයෙනි. ඒ දෙස බලා ප්‍රීතිවත විපක්ෂය ගැන තවත් කතාවක්ද සත්‍ය විය හැකිය. එය නම් ‘ළිප ගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුළුව දිය කෙළියේ” යන්නය.

ඒකාබද්ධ විපක්ෂයේ උදවිය ප්‍රීතිමත් වූ සිදුවීමක් නම් බැඳුම්කර ගනුදෙනු විමර්ශන කොමිසම ඉදිරියේ රවි කරුණානායක ඇමැතිවරයා සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට රවි කරුණානායක මහතාට සිදුවීය. එය මෑත කාලීන දේශපාලනයේ ආන්දෝලනාත්මකව සිදුවීම බවට සැකයක් නැත.

චෝදනාව කුමක් වුවත්, රවි කරුණානායක මහතා ඉවත් වූයේ ජයග්‍රාහී විලසකිනි. ඒ මහතා කීවේ තමා ගැන ඉතිහාසය තීන්දු කරනු ඇතැයි කියාය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ මෙය යහපාලනයේ ජයග්‍රහණයක් බවයි. ආණ්ඩුවේ බොහෝ මැති ඇමැතිවරුද එබඳුම අදහස් ප්‍රකාශ කළහ. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීවේ මෙය ‘මිනීමැරුමක් සොයන්න ගියවිට කසිප්පු කාරයෙක් හසුවීමක් බවයි.’ එයින්ද නොකියා කියන කතාවක් තිබෙන බව පැහැදිලිය. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය කියන්නේ මෙය තමන්ගේ සටනේ ජයග්‍රහණයක් බවයි. එනම් තමන් ගෙනා දෝෂාභියෝගයට මුහුණුදීමට නොහැකිව රවි කරුණානායක මහතා ඉල්ලා අස් වූ බවයි. එලෙස ඔවුහු තමන්ගේ ප්‍රතිරූපය පුම්බා ගන්නට උත්සාහ දරමින් සිටිති.

රාජපක්ෂලාට ගිය විජේදාස

ඒ අතර නැවතත් ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වූයේ ආණ්ඩුවේ තවත් ඇමැතිවරුන්ට විශ්වාසභංග යෝජනා ගෙනෙන උත්සාහයන් ගැන ප්‍රවෘත්ති පළවීම නිසාය. ප්‍රධාන ඉලක්කයක් වී සිටින්නේ අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජේදාස රාජපක්ෂ මහතාය. ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගෙනෙන්නට උත්සාහ කළේ එජාපයේම මැති ඇමැති කණ්ඩායමකි. එයටද හේතු බොහොමයකි. පළමුවැනි චෝදනාව නම් මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ දූෂණ,වංචා , අපරාධ සම්බන්ධ පරීක්ෂණ ප්‍රමාදවීමයි. පරීක්ෂණ නිමකළ ලිපිගොනු අසූහතක් නීතිපති දෙපාර්තමේන්තුවේ සිර වී ඇතැයි කියති. එයට හේතුව කුමක් වුවත් අන්තර්ජාලයේ ඇතැම් වෙබ් අඩවි ඒ පිළිබඳ චෝදනාව එල්ල කරන්නේ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාටය. රාජපක්ෂ මහතා කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට තමන් බලපෑම් කරන්නේ නැති බවයි. බලපෑම් කිරීමේ හැකියාවක් ද නැති බවයි. එසේ වුවද මෙම චෝදනාවෙන් විජේදාස රාජපක්ෂ මහතා නිදහස් කරන්නට යහපාලනයට ලැදි බොහෝදෙනා සූදානම් නැති බව පෙනෙන්නට තිබේ.

ඒ අතර විජේදාස රාජපක්ෂ මහතා පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ද කළේය. එනම් හම්බන්තොට වරාය සංවර්ධනය චීන සමාගමකට පැවරීම වැරදි බවයි. එපමණක් නොවේ, ඔහු කීවේ වරාය ආපසු ගෙන මිස තම සටන නොනවතින බවයි. රාජිත සේනාරත්න මහතා කීවේ මෙය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම උල්ලංඝනය කිරීමක් බවයි. ඒ කෙසේ වුවද මෙය ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගයේ ප්‍රධාන ව්‍යාපෘතියකට එරෙහිවීමකි. එමෙන්ම එය දැනටමත් මේ ප්‍රශ්නයේදී ආණ්ඩුවට එරෙහිව සිටින ඒකාබද්ධ විපක්ෂය සමඟ එකට සිට ගැනීමකි. විපක්ෂයට වාසි සැලකීමකි. ඒ ගැන යහපාලනයට හිතවත් ජනයා කෝපයට පත්වීම පුදුමයට කරුණක් නොවේ.

දිගට ඇදෙන චෝදනා

මෙබඳු චෝදනා විජේදාස රාජපක්ෂ මහතාට එල්ල වන්නේ අද ඊයේ සිට නොවේ, කලක සිටම මෙබඳු චෝදනා එල්ලවන අතර ඇතැමුන් කීවේ ඒ මහතා විපක්ෂය සමඟ විවිධ ඩීල්වල සිටින බවයි. දැන් ආණ්ඩුවේම කණ්ඩායමක් ඔහුට එරෙහිව නැගී සිටින විට ඔහුගේ ආරක්ෂාවට ඉදිරිපත්ව සිටින්නේද ඒකාබද්ධ විපක්ෂය හා මහින්ද රාජපක්ෂ මහතායි. මේ මොහොතේ බලවේග පෙළගැසී ඇත්තේ එහෙමය. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය මෙම ප්‍රශ්නය ගැන තවම තීරණයක් ගෙන නැති බව ප්‍රකාශකොට ඇත. එය තීරණය වනු ඇත්තේ අද හෙට පැවැත්වෙන රැස්වීම්, සාකච්ඡාවල ප්‍රතිඵල වශයෙනි.

මෙලෙස පෙළ ගැසෙන දේශපාලන සිදුවීම් තුළින් පෙනී යන්නේ ආණ්ඩුව තුළ ඇතැම් ප්‍රශ්න සම්බන්ධයෙන් මත ගැටුම් පවතින බවයි. විසම්මුතිය පවතින බවයි. කසළ කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයේ මුල් අවස්ථාවේදී ද මෙබඳුම තත්ත්වයක් දකින්නට ලැබිණි. පසුව එය විසඳාගත් බවක් මෙන්ම මේ වනවිට එම ප්‍රශ්නයට සාර්ථකව විසඳුම් යොදා ඇති බවද පෙනෙන්නට තිබේ.

සයිටම් ප්‍රශ්නයේදී ද දකින්නට ලැබුණේද මෙබඳුම විසම්මුතියකි. කෙසේ වෙතත් එහිදී පෙරට ආ පුරවැසි බලවේග අධ්‍යාපනයේ නිදහස සඳහා අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් සයිටම් විරෝධීන්ට මතවාදී වශයෙන් මුහුණ දුන්හ. මේ වනවිට සයිටම් විරෝධය තිබෙන්නේ මතවාදී වශයෙන් පරාජිත තත්ත්වයකය. සියලු දේ රජයෙන් කළ යුතුය යන මතවාදයක සිට කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී පක්ෂය මෙම සටන තවත් ඇදගෙන යන්නට උත්සාහ කළද එයට තිබෙන ජනතා විරෝධය ඉහළ නගිමින් පවතින බව පැහැදිලි කාරණයකි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද මුහුණ දී සිටින්නේ උභතෝකෝටික තත්ත්වයකට බව පෙනෙන්නට තිබේ. රජය තුළ සිටින සයිටම් විරෝධීන්ගේ හඬ යටපත් වී තිබෙන්නේ ඒ නිසා විය හැකිය.

ආණ්ඩුව තුළ විසම්මුතිය

ආණ්ඩුව තුළ විසම්මුතික තත්ත්වයක් පවතින තවත් කාරණයක් නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමයි. එහිදී යහපාලන හිතවාදී බහුතරය කියන්නේ ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතු බව වුවද ශ්‍රීලනිපය එය පවත්වාගෙන යාම වෙනුවෙන් පෙනී සිටීමේ තත්ත්වයක් පවතියි. එයද පවතින්නේ මතභේදාත්මක තත්ත්වයකය. යහපාලනය වෙනුවෙන් සටන් කළ පිරිසක් මේ සඳහා ජනමත විචාරණයකට යාමටද සූදානම්ය. තව පිරිසක් කියන්නේ එවැන්නකට සූදානම් නැති බවයි.

මෙබඳු මත ගැටුම් හා විසම්මුතික තත්ත්ව ආණ්ඩුව තුළින් ප්‍රකාශ වන විට එයින් ඒකාබද්ධ විපක්ෂය අමන්දානන්දයට පත්වන බවට සැකයක් නැත. ඔවුන් කටයුතු කරමින් සිටින්නේ මෙම ප්‍රශ්නවලින් උපරිම දේශපාලන වාසි ලබාගැනීමටය. ඔවුන් කටයුතු කරන්නේ මෙම ප්‍රශ්න උපයෝගී කොටගෙන ආණ්ඩුවේ දේශපාලන ඉදිරි ගමන හා සංවර්ධන කටයුතු ද ප්‍රමාද කිරීමටය. අඩාල කිරීමටය. ආණ්ඩුව තුළ ක්‍රියාත්මක සියලු දෙනාත් යහපාලනයට ලැදි සියලු දෙනාත් තේරුම්ගත යුතු බරපතළ ප්‍රශ්නය එයයි.

දේශපාලනයේ යථාර්ථය

මෙම ආණ්ඩුව පවත්වාගෙන යන්නේ ප්‍රධාන පක්ෂ දෙකේ එකමුතුවක් මඟිනි. එම පක්ෂවල දේශපාලන මතවාද එකිනෙකට වෙනස්ය. එකම පක්ෂයේ ද විවිධ මත පවතියි. එය මෙම දේශපාලනයේ යථාර්ථයයි. ආණ්ඩුවට ක්‍රියාත්මකවීමට සිදුව තිබෙන්නේ එම යථාර්ථය සමඟය.

අනෙක් අතට මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා නව ගමනක් ආරම්භ කළේ 2015 ජනවාරි අටවැනිදාට පෙළ ගැසුණු ජනතා බලවේග විසිනි. එම බලවේගවල පොදු අරමුණක් තිබිණි. පොදු වුවමනාවක් තිබිණි. කෙසේ වෙතත් එදා එම අරමුණුවලට එරෙහිව සිටි පිරිසක්ද මේ වනවිට ආණ්ඩුවේ සිටින බවද පැහැදිලි යථාර්ථයකි. ඇතමුන් එසේ සිටින්නේ එදා සිටි මතවාදයේ තවදුරටත් සිඳිමින් බවද පෙනෙන්නට තිබේ. යහපාලන ආණ්ඩුවට මේ ගමන යන්නට තිබෙන්නේ එම පිරිසද සම්බන්ධ කර ගනිමිනි. එයද අභියෝගාත්මක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

ඇතැම් විට ප්‍රශ්න දිග්ගැසෙන්නේ මෙය යහපාලනයක් වීම නිසාමය. ඒ නිසා නීතියට මෙන්ම ස්වභාවික යුක්තියේ මූලධර්ම වලටද උපරිම ඉඩ සලසා ක්‍රියාත්මකවීමට සිදුව තිබෙන නිසාය. මල්වාන නිවස කාගේ දැයි කියා හෝ හොරා කවුදැයි කියා හෝ මේ රටේ ජනතාවට සැකයක් නැතත් කිසිවකු දඬුක‍ඳේ ගසන්නට බැරි වී තිබෙන්නේ ඒ නිසාම විය හැකිය. ඩේසි ආච්චිට ලැබුණු මැණික් මල්ලේ කතාව ගැනද කියන්නට තිබෙන්නේ ඒකය. මහජන මුදලින් නෑ හිතවතුන්ට වාහන නිවාස බෙදා දුන් උදවියට ඇප ලබා වීරයන් සේ හැසිරෙන්න ඉඩ ලැබී තිබෙන්නේද ඒ නිසාමය. මිනීමැරුම්වලට, අතුරුදන් කිරීම්වලට වගකිවයුත්තන් නිරුපද්‍රිතව සිටින්නේද ‘යහපාලනය’ නීතියෙන්ම කරන්න යන නිසාය.

ඒ අතර යහපාලනයට එරෙහි බලවේගවලට මෙබඳු කිසිදු නීතියකට හෝ යුක්තියකට හෝ ගරු කිරීමේ වුවමනාවක් නැත. නීතිය නවන්නටත්, නොමඟ යවන්නටත්, හැකිනම් යට ගසන්නටත් කළ හැකි සියලු දේ ඔවුහු කරති. බොහෝ දේ සිදුවන්නේ තිරය පිටුපසය. ඒවා ඔප්පු කළ නොහැකි වුවද සිදුවන බවට සාධක ඇත. ඒවා දැනගැනීමේ ඉඩ මෙරට ජනයාට නැතුවා නොවේ. මහජනයා වඩාත් කෝපයට පත්ව සිටින්නේ එම තත්ත්වය නිසාමය.

ජනතා බලය

ඒකාබද්ධ විපක්ෂය සිතා සිටින්නේ මේ සියල්ල ආණ්ඩුව දුර්වලවන සිද්ධි ලෙස විය හැකිය. එහි යම් සත්‍යයක් නැතුවාද නොවේ. එසේ වුවද ඔවුන් සිතන පරිදි මෙයින් ආණ්ඩුව කඩාවැටෙන්නේ හෝ ඔවුන්ට ආණ්ඩු බලය ගැනීමට මඟපෑදෙන්නේ හෝ නැත. එයට හේතුව නම් ජනවාරි අට ආණ්ඩු පෙරළිය නිකම් ආණ්ඩු වෙනසක් නොවීමයි. එය මෙරට ජනතාව පෙළ ගැසී කළ එක්තරා ආකාරයක විප්ලවයකි. එයට පෙළ ගැසුණු ජනයා ඒ ගමන ඉදිරියටම යනු ඇත. ආපසු හැරවිය නොහැකි වන්නේ එම ජනතා බලවේගයේ අභිලාෂයයි. දූෂණයට, භීෂණයට ‍එරෙහිව වරක් නැගී සිට එය පරාජය කළ ජනයා යළිත් වරක් එබඳු යුගයකට රට ගෙනයන්නට ඉඩ දෙන්නේ නැත. මෙම දේශපාලන ගමන් මගේ කුමන හැල හැප්පීම් තිබුණද අවසානයේ ජයගන්නේ යහපාලනය සඳහා වූ ජනතා අපේක්ෂාවයි.

ලොව දැන් සිටින ප්‍රධාන පෙළේ මාක්ස්වාදී විද්වතෙකු ලෙස සැලකෙන මහාචාර්ය ඩේවිඩ් හාර්වේ 2014 වසරේ පළ කළ පොත නම්කොට තිබෙන්නේ ‘ධනවාදයේ ප්‍රතිවිරෝධතා දහ හත හා එහි අවසානය’ වශයෙනි. එහි පළමු පරිච්ඡේදය වන ‘ධනවාදයේ අර්බුදය - මෙවර කොහොමද’ යන්න ඔහු ආරම්භ කරන්නේ මෙලෙසය. “ධනවාදයේ ප්‍රති නිෂ්පාදනය සඳහා අර්බුද අත්‍යවශ්‍ය වෙයි. ධනවාදයේ පවතින අස්ථාවරභාවයන්ට මුහුණ දී එය නව හැඩයකින් අලුතින් ගොඩනංවා ධනවාදයේ නව ආකාරය නිර්මාණය කරන්නේ අර්බුදයක් තුළදීය. (මහාචාර්ය ඩේවිඩ් හාර්වේ)’ යනුවෙනි.

මහාචාර්ය ඩේවිඩ් හාර්වේ මේ කියන්නේ අර්බුද යනු බියවිය යුතු යමක් නොව ධනවාදය ප්‍රතිනිර්මාණය කිරීමට අත්‍යවශ්‍ය අවස්ථාවක් බවයි. මේ සමාජය නැවත නැවත හැඩ ගැසී වර්තමානය දක්වා පැවැතී ඇත්තේ ඒ ආකාරයෙනි.

එමෙන්ම අප තේරුම්ගත යුතු වන්නේ යහපාලනය තුළ පවතින ප්‍රතිවිරෝධතා හා අර්බුද ගැනද බිය විය යුතු නැති බවයි. කළ යුතුව තිබෙන්නේ මේ සියල්ල යහපාලනය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා අවස්ථා කරගැනීමයි. යොදාගැනීමයි.

ඇත්ත වශයෙන්ම දැන් උදාවී තිබෙන්නේ යහපාලනයේ නව අවදියකට ප්‍රවිෂ්ටවීමේ අවස්ථාවකි. යහපාලනයට ළැදි හා සමාජ ප්‍රගමනය අපේක්ෂා කරන සියලු දෙනා දැන් ක්‍රියාත්මක විය යුත්තේ යහපාලන ක්‍රියාදාමය එම උසස් අවදියට ඔසවා තැබීමටය.

සී.ජේ.අමරතුංග
« PREV
NEXT »