BREAKING NEWS
latest

728x90

468x60

Monday, August 14, 2017

මහ නාහිමිවරුන්ගේ අනුශාසනා ලබාගෙන රන් වියන ප්‍රතිසංස්කරණය කරනවා

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අනුශාසනා ලබා ගනිමින් ප්‍රතිසංස්කරණය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (13) ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති ආගමික වැඩසටහනකට සහභාගි ‍වීමෙන් අනතුරුව ඒ මහතා ඒ බව කීය.

හිටපු ජනපති ආර්.ප්‍රේමදාස මහතා විසින් ඉදි කරන ලද රන් වියන මේ වන වි‍ට යළි ප්‍රතිසංස්කරණය කළ යුතු තත්ත්වයේ පවතින බවත් එය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට තමන් අපේක්ෂා කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරය එල්ල වීමෙන් පසු හානිවූ රන් වියන 2001 වසරේදී ප්‍රතිංස්කරණය කළේ ද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය හොබවමින් සිටියදී වීම විශේෂත්වයකි.

ලුම්බිණියේ හා කපිලවස්තු පුරයේ නේපාල රජය විසින් සිදු කරනු ලබන පුරාවිද්‍යාත්මක කැණීම් සඳහා ශ්‍රී ලංකා රජය ඩොලර් මිලියනක් ලබා දෙන බවද අගමැතිවරයා කීය.

දළදා සමිඳුන් වැඳපුදා ආශීර්වාද ලබා ගැනීමෙන් පසු ශ්‍රී දළදා මාලිගාව අබියස රැස්ව සිටි ජනතාව හමුවට ගිය අගමැතිවරයා ඔවුන් සමඟ සුහඳව කතාබස් කරමින් මහනුවර නගරය තුළ යෝධ සංවර්ධනයක් ඉදිරියේදී සිදු කරන බවට පොරොන්දුවක් ලබා දුන්නේය.

පසුගිය රජය සමයේ වංචා දූෂණ සිදු කළ පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද ඇයිද යන්න මෙම ජනතාව අගමැතිවරයා ගෙන් විමසූ අවස්ථාවේ ඒ මහතා පැවසුවේ ඒ කිසිවකුටත් නීතියෙන් ගැලවීයා නොහැකි බවයි.

මේ වන විටත් වංචා සිද්ධීන් 80 කට අදාළ නීතිමය කටයුතු අවසන් වෙමින් තිබෙන බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

මහනුවර කොළඹ අධිවේගි මාර්ගයේ වැඩකටයුතුද කඩිනමින් අවසන් කරන බව මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව හමුවේ පැවසුවේය.
« PREV
NEXT »