BREAKING NEWS
latest

728x90

468x60

Monday, August 28, 2017

මේ සතිය ඇතුළත රන්ජන්ට නඩු නීතිඥ සංගමය තීරණය කරයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ සමාජ සේවා හා සමාජ සුබසාධන ඇමැති රන්ජන් රාමනායක මහතාට එරෙහිව මෙම සතිය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මාසික මහ සභා රැස්‌වීමේදී සියලු නීතිඥවරුන් ඒකමතිකව තීරණය කළ බව එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා ඊයේ (27 දා) ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මාසික මහ සභා රැස්‌වීම පෙරේදා රැස්‌වූ බව කී යූ. ආර්. ද සිල්වා මහතා මින් පෙර සංගමයේ කාරක සභාවේදී ද රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කරමින් කර තිබූ ප්‍රකාශය හෙළාදුටු බව කීවේය.

අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥයන්ට අපහාස වන ආකාරයට කළ ප්‍රකාශ පිළිබඳ කරුණු දැක්‌වීම සඳහා රන්ජන් රාමනායක මහතාට දින දාහතරක කාලයක්‌ ලබා දුන්න ද එම කාලය අවසන් වීමට තවත් දින හතක්‌ පමණ තිබියදීත් රාමනායක මහතා නඩුවට සූදානම් බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇතැයි කීය.

එම නිසා දින දාහතර යැමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම සතිය තුළ රාමනායක මහතාට එරෙහිව නඩු පවරන බව කී ජනාධිපති නීතිඥවරයා මෙම කරුණ යටතේම ඒ මහතාට එරෙහිව තවත් නඩු දෙකක්‌ දැනටමත් පිටස්‌තර පාර්ශ්වයන් දෙකක්‌ විසින් ගොනු කර ඇතැයි කීය.

එම නඩු දෙක ලබන 13 වැනිදා කැඳවීමේ සූදානමක්‌ ඇති නිසා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නඩුව ද එදිනම කැඳවීමට හැකිවන පරිදි මෙම සතිය තුළ තම නඩුව ගොනු කරන බව ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පැවසුවේය.

ඕනෑම වෘත්තියක කළු අශ්වයන් සිටිය හැකි බව ද බහුතරය එසේ දූෂිතයන් නොවන බව ද කී ජනාධිපති නීතිඥවරයා රන්ජන් රාමනායක මහතා විසින් නීතිඥවරුන් සහ විනිසුරුවරුන් බහුතරය ගැන සඳහන් කරමින් ඔවුන්ට අපහාස කළ බව ද කීවේය.

රට තුළ නීතිඥවරුන් දහඅටදහසක්‌ සහ විනිසුරුවරුන් පන්සියයක්‌ පමණ සිටින බව ද රන්ජන් රාමනායක මහතා ඔවුන් සියලු දෙනාට අපහාස කරමින් අධිකරණයට ද අපහාස කර ඇතැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේය.

මේ නිසා රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වහා නඩු පැවරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මාසික මහ සභා රැස්‌වීමේදී ඒකමතිකව තීරණය කළ බව ද හෙතෙම කීවේය.

අජිත් අලහකෝන්
« PREV
NEXT »