BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, August 22, 2017

නඩු ප්‍රමාද කළේ අධිකරණ ඇමැතිවරයායි

නඩු ප්‍රමාද කළේ අධිකරණ අමාත්‍යවරයා බවත් ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් යළි විමර්ශනයක් සිදු කළ යුතු බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

දොම්පේ කිරිඳිවැල නව බස් නැවතුම්පල විවෘත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20) පස්වරුවේ පැවැත්විණි. එම අවස්ථාවට එක් වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙසේ අදහස් පළ කරන ලදී.

“යහපාලන රජය බලයට පත්වන විට පොරොන්දු රැසක් ලබාදුන්නා. ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, පැහැරගැනීම් නතර කිරීම, ආගමික සහජීවනය ඇති කිරීම එම පොරොන්දු අතර ප්‍රධාන වෙනවා. පසුගිය රජය සමයේ දී මාධ්‍යවේදීන් ඝාතනයට ලක් වුණා. තාඩන, පීඩනවලට ලක් වුණා. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ මිග් ගනුදෙනුවේ දූෂණ පිළිබඳව පුවත්පත්වල ලිපි පළ කිරීම හේතුවෙන්. දේශප්‍රේමීන් යුද්ධ කළේ එහෙමයි. නමුත් අද මාධ්‍යවේදීන්ට නිදහස ලබාදී තිබෙනවා. වත්මන් රජයට එරෙහිව මාධ්‍යයේ දිනපතාම ලිපි පළ වෙනවා. නමුත් වත්මන් රජය මිනිසාට මිනිසත්කම ලබාදී තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ ජනාධිපතිවරණයට පැමිණියේ විදේශීය රටවලින් මුදල් නොලැබීම හේතුවෙන්. ආර්ථික අමාරුව ඔහුට තේරුණා. මොකද විදේශීය රටවල් ආර්ථික සම්බාධක පැනවීමට තීන්දු කර තිබුණා. මේ නිසා රට තුළ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක් තිබුණා. නව රජය රට තුළ නොසිතූ වෙනසක් ඇතිකරමින් පවතිනවා. ද්‍රවිඩ දේශපාලන පක්ෂ ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරීමට කැමැත්ත පළ කර තිබෙනවා.

“වත්මන් රජයේ ඇතැම් ඇමැතිවරුන් කරන ප්‍රකාශ පිළිබඳ වේදනාවක් ඇතිවෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කරන ප්‍රකාශවලට වඩා වේදනාවක් එමගින් ඇති වෙනවා. ඇතැම් ඇමැතිවරු ඇමැති වරප්‍රසාද තියාගෙන රජය විවේචනය කරනවා. නිදහස අයුතු ලෙස භාවිත කරනවා. පසුගිය රජයේ කතා නොකරපු ඇමැතිවරු අද වීරයෝ වගේ වෙලා. පසුගිය රජය සමයේ ඔවුන් කට වහගෙන හිටියේ. වැරදි වැඩ කරනකොට ඒවා පෙන්නුවේ නැහැ. වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම්වලට රජගෙදරින් ලැබුණු දුරකථන ඇමතුම් 46 පිළිබඳ පරීක්ෂණ පැවැත්වූවා. එම ඇමැතුම් ලබාදී තිබෙන්නේ විහාරමහාදේවියයි. වර්තමානයේ සියලු දෙනාම අහන්නේ හොරුන්ට දඬුවම් දෙන්නේ කවදා ද කියලයි.”

“මේ රටේ අධිකරණ ඇමැතිවරයාගේ ගැටලු තිබෙනවා. වසර දෙකහමාරක් නඩු විභාග නොකර සිටීමට බලපෑම් කළේ අධිකරණ ඇමැතිවරයායි. මේ ගැන ප්‍රසිද්ධියේ කියන්න සිදුව තිබෙනවා. නඩු විභාග ප්‍රමාද වුණේ එම නිසයි. ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ජනතාව ඉල්ලන්නේ හොරු අල්ලන්න කියලයි. ප්‍රසිද්ධියේ කතා කිරීමට අපහසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුත් අහන්නේ හොරු අල්ලන්නේ කවදා ද කියලා. නඩු විභාග යට ගහන්නේ අධිකරණ අමාත්‍යවරයායි. විශේෂ අධිකරණයක් ස්ථාපිත කර නඩු විභාග කරන්න තීරණය කළාම අධිකරණ අමාත්‍යවරයා කියනවා ඒ සඳහා ව්‍යවස්ථාව වෙනස් කරන්න අවශ්‍යයි කියලා. දිනපතාම නඩු විභාග කළ යුතුයි. විද්‍යා ඝාතනය, බණ්ඩාරනායක ඝාතනය, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය යන සිද්ධීන්වල දිනපතාම නඩු ඇහුවා. පසුගිය රජය සමයේ ප්‍රධානීන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳව ද දිනපතාම නඩු ඇසිය යුතුයි. මම මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ දී ප්‍රශ්න කළා. හිටපු නීතිපති තිලක් මාරපන මහතා එය සනාථ කරමින් පිළිතුරු ලබාදුන්නා. විශේෂ අධිකරණ 03 ක් ස්ථාපිත කර නඩු විභාග ආරම්භ කළ හොත් යළි පොහොට්ටුව පිපෙන්නේ නැහැ. එය සදාකාලික පොහොට්ටුවක් වෙනවා. හොරගල් අහුලපු රජයේ ඇමැතිවරුන්ට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී පක්ෂව කවුරුත් කතා කළේ නැහැ. චෝදනා කළා පමණයි. ආයුධ 3600ක් අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් නඩුවේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ් කළේවත් නැහැ. රස පරීක්ෂක වාර්තාවලින් කියුණේ එම ආයුධවල අංක මකාදමලා කියලා. මෙහෙම රසපරීක්ෂක වාර්තා ලබාදෙන ආයතනයක් බලුකිස්ථානයේවත් නැහැ කියලා මම කියනවා. එහෙම ඇමැතිවරු ඉන්නෙත් ශ්‍රී ලංකාවේ විතරයි. ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවත් ප්‍රකාශ කළේ නඩු නිමිත්තක් නැහැ කියලා. මම අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් නීතිපති තීන්දුව නැවත වි‍ශ්ලේෂණය කර පරීක්ෂණයක් පවත්වන්න කියලා.”

“බුද්ධශාසනයේ අයිතිය වෙනුවෙන් අද එම ඇමැතිවරයා කතා කරනවා. තනතුරින් ඉවත් කිරීමට සූදානම් වන අන්තිම කාලයේ එල්ලෙන්නේ ජාතියෙයි, ආගමෙයි. හොරුන් වෙනුවෙන් පෙනී ඉඳලා තමයි ජාතිය, ආගම ගැන කතා කරන්නේ. සිංහල ජාතිය ගෝත්‍රිකයින් බව එම ඇමැතිවරයා කියනවා. නමුත් 2015 වසරේ දී මාධ්‍ය හමුවක දී ඔහු ප්‍රකාශ කරන්නේ වෙනත් දෙයක්. මේ රට සිංහල රටක් නොවෙයි. ගෝත්‍රිකව කතා කරන්න එපා. ජාතිවාදය අවුස්සන්න එපා. කියලා එම ඇමැතිවරයා මාධ්‍යවේදීන්ට කරුණු පැහැදිලි කරනවා. නමුත් අද එම ඇමැතිවරයා සිංහල රටක් ගැනත්, බෞද්ධ රටක් ගැනත් කරුනු පැහැදිලි කරනවා. මගේ සෞඛ්‍ය අමාත්‍යධුරය ගැනත් කරුණු ඉදිරිපත් කරනවා. ඒ ගැන මම ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ. එම ඇමැතිවරයා ළඟ තබාගෙන උත්තර දෙනවා. මම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කර තිබෙන වැඩවලින් දාහෙන් එකක් ඔහු කරලා නැහැ. කරලා තිබෙනවා නම් පෙන්වන්න. එවිට මම‍ සෞඛ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් වෙන්නම්. ඩෙංගු ව්‍යසනය ගැන කතා කරනවා. වර්තමානයේ අමෙරිකාව, සිංගප්පූරුව, ඉන්දියාව වැනි සංවර්ධිත රටවලත් ඩෙංගු උවදුර තිබෙනවා. ඩෙංගු වසංගතය කඩිනමින් අවම කළ රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගෙන තිබෙනවා. යහපාලන රජය පිහිටුවන විට සිටි වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාවට වඩා මේ වන විට රෝගීන් අඩු වී තිබෙනවා. වකුගඩු රෝගය එක දවසකින් අවම කරන්න බැහැ. ඊට බලපෑ හේතු සොයා ලෝක සෞඛ්‍ය සංවිධානයත් පර්යේෂණ කරනවා. මට කියන්න තිබෙන්නේ මෙම අමාත්‍යවරයා වෛද්‍ය විද්‍යාව නොව නීති විද්‍යාව වත් හරියට දන්නේ නැහැ. මම ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත මෙම අමාත්‍යවරයාට යෑමට ඉඩ සලස්වන ලෙසයි. එවිට අපේ රජය ආරක්ෂා වනවා. වසර 2020 නොව වසර 2025 දක්වා මේ රජය ඉදිරියට ගෙන යන්න පුලුවන්.”

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන සරත් ෆොන්සේකා, අශෝක් අබේසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඇතුලු හිටපු පළාත් පාලන නියෝජිතයෝ මෙන්ම අතිවිශාල ජනකායක් ද එක්ව සිටියහ.
« PREV
NEXT »