BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, August 29, 2017

ගාන්ධර්ව අසපුවට ජනපති මෛත්‍රි මුල්ගල තබයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතියේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ඉදිවන ‘අමරදේව අසපුව‘ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ඊයේ (28) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී සිදුවිය.

මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ ජනාධිපතිවරයාගේ සුරතින් අමරදේව අසපුවට මුල්ගල තැබීමෙන් අනතුරුව මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා විසින් විශාරද නන්දා මාලනී මහත්මිය වෙත ද ඇරයුම් කිරීම සුවිශේෂි සිදුවීමක් වු අතර අදාළ සිහිවටන ඵලකය ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි.

අමරදේව අසපුව ඉදිවන ආකාරය පිළීබඳ මෙහිදී අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසා අවශ්‍ය උපදෙස් ලබාදීමට ජනාධිපතිවරයා විසින් සිදුකරන ලදී.

බත්තරමුල්ල, අපේගම ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 120කට අධික භූමියක් පුරා ඉදිකෙරෙන අමරදේව සංගීත අසපුව පුස්තකාලයක්, ලේඛනාගාරයක්, කෞතුකාගාරයක් හා සංරක්ෂණාගාරයකින් යුක්තවන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 250 කි.

පණ්ඩිත් අමරදේවයන් ජීවත්ව සිටි කාලයේදී රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් මෙන්ම එතුමාගේ අවමංගල්‍ය උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුන් පොරොන්දුවක් ඉටු කරමින් සමස්ත රටවාසීන්ගේම ගෞරවය හා ආදරය දිනාගත් අමරදේවයන් විසින් කළ සේවාව අනාගත පරපුර වෙත දායාද කිරීමේ අරමුණින් මෙම සංගීත අසපුව ඉදිකෙරේ.

ආචාර්ය පණ්ඩිත් අමරදේව විශේෂ සමරු දේශනය පවත්වන ලද්දේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි. එම සමරු දේශනය පැවැත්වීම සඳහා ජනාධිපතිතුමා විසින් තම පීඨිකාව වෙත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට ඇරයුම් කිරීම ද සුවිශේෂි සිදුවීමකි.

ශ්‍රී ලාංකේය මෙන්ම සමස්ත ලෝකවාසී සංගීත රසික රසිකාවියන් අමන්දානන්දයට පත්කළ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ආසියාවේ නොඛෙල් ත්‍යාගය ලෙසින් සැලකෙන රමෝන් මැග්සසේ සම්මානයෙන් ද පිදුම් ලැබූ අතර එම සුවිශේෂී සම්මානය විමලා අමරදේවයන් විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීමෙන් අනතුරුව ජනාධිපතිතුමා විසින් එම සම්මානය සහ සහතික පත් අදාළ සංරක්ෂණ කටයුතු සදහා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ඉදිරියේදී කෞතුකාගාර අධ්‍යක්ෂ සනූජා කස්තුරිආරච්චි මහත්මිය වෙත භාරදෙනු ලැබීය.

මහා සංඝරත්නය, අමාත්‍යවරුන්වන මංගල සමරවීර, එස්.බී. නාවින්න, නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, ගාමිණි ජයවික්‍රම පෙරේරා, අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලිගයන්න, කරුණාරත්න පරණවිතාන, රන්ජන් රාමනායක, යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා ඇතුථ නිලධාරින් ද, විමලා අමරදේව මහත්මිය රන්ජන අමරදේව මහතා ඇතුළු පවුලේ සාමාජිකයන්, කලාකරුවන්, විද්වතුන් , රසික රසිකාවියන් ඇතුලු ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
« PREV
NEXT »