BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, August 08, 2017

කුමන්ත්‍රණයක් ගැන කියා ලිපියක් යවමින් මංගලගේ PRO ඉල්ලා අස්වෙයි

යම් කුමන්ත්‍රණකාරී දේශපාලන බලවේගයක් විසින් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කීර්තිනාමයට හා යහපාලන ආණ්ඩුවට කැළලක් ඇති කිරීමේ නින්දිත උත්සාහයක් ක්‍රියාත්මක වන බව පවසමින් අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරී (PRO) සමීර මනහර මහතා එම ධුරයෙන් අද (08) ඉල්ලා අස්වී ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය සෙනසුරාදා (05) රාත්‍රී තමා ඇතුළු සිව් දෙනෙකු ගමන්ගත් ජීප් රථයේ මත්ද්‍රව්‍ය තිබු බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීමේ අවාසනාවන්ත සිද්ධිය පාදක කර ගනිමින්, එම කුමන්ත්‍රණය දියත්වන බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ.
ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකිරිමත් සමගම ඔහු සිය රාජකාරි නිල වාහනයද වහාම අමාත්‍යංශය වෙත බාරදීමට කටයුතු කර තිබේ.
අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත යොමුකර ඇති එම ඉල්ලා අස්වීමේ ලිපිය පහත පළවේ. 
මහජන සම්බන්ධතා නිලධාරී තනතුරින් ඉල්ලා අස්වීම :
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය සෙනසුරාදා (05) රාත්‍රී මා ඇතුළු සිව් දෙනෙකු ගමන්ගත් ජීප් රථයේ මත්ද්‍රව්‍ය තිබු බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීමේ අවාසනාවන්ත සිද්ධිය පාදක කර ගනිමින්, යම් කුමන්ත්‍රණකාරී දේශපාලන බලවේගයක් විසින් ඔබතුමාගේ කීර්තිනාමයට හා යහපාලන ආණ්ඩුවට කැළලක් ඇති කිරීමේ නින්දිත උත්සාහයක් දරන බව පෙනේ.
මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ ගල්කිස්ස පොලිසිය, මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පළමු සැකකරු හැර මා ඇතුළු තිදෙනා ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී නැති බවත්, එම තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ පළමු සැකකරු ගමන්ගත් රථයේ සිටි නිසා බවත් 'බී' වාර්තාවක් ගොනු කරමින් දන්වා සිටියේය.
මහේස්ත්‍රාත්වරයා හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ ගල්කිස්ස පොලිසියේ පොලිස් පරීක්ෂකවරයා, පළමු සැකකරු හැර අත්අඩංගුවට ගත් අනෙක් තිදෙනාට එරෙහිව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා ඉදිරිපත් නොකරන බවත්, ඔවුන් තිදෙනාට ඇප ලබාදීමට විරෝධතාවයක් නැති බවත් දන්වා සිටියේය.
මහේස්ත්‍රාත්තුමන් විසින් මා ඇතුළු තිදෙනෙකුට ඇප නියමකලේ ඒ අනුවය.
එසේ මා සම්බන්ධයෙන් චෝදනාවක් නැතැයි මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන් පවා අධිකරණය හමුවේ පවසා සිටියදී, ඇතැම් අන්තර්ජාල මාධ්‍යයන් ඉතාමත් සංවිධානාත්මක ලෙස ඔබතුමා වෙත 'මඩ' ගැසීමට මෙම සිද්ධිය යොදාගෙන ඇත.
එම තත්වය කෙරෙහි අවධානය යොමුකරමින්, මෙම සිද්ධියට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වී මා නිර්දෝෂී පුද්ගලයකු ලෙස නම් කර නියෝගයක් ලැබෙන තෙක් ඔබතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරී තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මෙයින් කාරුණිකව දන්වා සිටිමි.
එසේ තනතුරින් ඉල්ලා අස්විමට තීරණය කළ ද 2004 වසරේ සිට ඔබතුමාගේ කාර්යය මණ්ඩලයේ මහජන සම්බන්ධතා නිලධාරි තනතුරෙහි කටයුතු කිරීමට ලැබීම ආඩම්බරයක් ලෙස සලකන මා, මෙතෙක් කලක් දේශපාලන කටයුතුවලදී ඔබතුමන් මා කෙරෙහි දැක්වූ විශ්වාසයට අනෙක වාරයක් ස්තුතිවන්ත වෙමි.
කෙසේවෙතත්, මින් ඉදිරියට ඔබතුමාගේත්, අප විසින් පත්කළ යහපාලන ආණ්ඩුවේත් දේශපාලන ක්‍රියාමාර්ගයන්ට සක්‍රිය ලෙස දායකවන බව අවසන් වශයෙන් මෙයින් සපථ කර සිටිමි.
මෙම ඉල්ලා අස්වීමේ ලිපියත් සමගම, මා වෙත ලබාදී ඇති රාජකාරි නිල වාහනය, රාජකාරි හැඳුනුම් පත්‍රය හා වෙනත් රාජකාරි ලියකියවිලි අමාත්‍යංශ ලේකම්වරයා වෙත බාරදීමට කටයුතු කරන බවද මෙයින් දන්වා සිටිමි.''


« PREV
NEXT »