BREAKING NEWS
latest

728x90

468x60

Thursday, September 07, 2017

ක්‍රීඩා ඇමැතිට 7 වන ශ්‍රේණියේ ටයිකොන්ඩෝ ගෞරව කළු පටියක්

පසුගියදා කොරියන් රජයේ ආරාධනය අනුව තෙදින නිළ සංචාරයකට සහභාගී වූ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසෙකර මහතා හා ලෝක ටයිකොන්ඩෝ සම්මේලයේ සභාපති මහාචාර්ය චෞවු චුංවොන් මහතා අතර විශේෂ හමුවක් සිදුවිණි.

මෙරට ටයිකොන්ඩෝ ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය තාක්ෂණික හා පුහුණු සහාය ලබා දීමට එහිදී සාකච්ඡා විය. ඒ අනුව කොරියානු ජාතික ටයිකොන්ඩෝ පුහුණුකරුවන්, නිල ඇඳුම්, ක්‍රීඩා උපකරණ ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දීමට මෙන්ම ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් කොරියාවට ගෙන්වා පුහුණුව ලබා දීමටත් එකඟතාව පල විය.


තවද ඉදිරිකාලයේදී ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ක්‍රීඩා විද්‍යා උපාධි විෂය නිර්දේශයට ටයිකොන්ඩෝ ක්‍රීඩාව ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසෙකර මහතා වෙතින් ඉල්ලීමක් ද කර සිටියේය.

මීට අමතරව කුකිවොන් (kukkiwon) ටයිකොන්ඩෝ මූලස්ථානයේදී එහි සභාපති ඕ හයන් ඩියුක් (Oh Hyun-deuk) මහතාද හමුවූ අතර දැනටමත් එම මූලස්ථානය මගින් පුහුණුකරුවන් ලංකාවට ලබා දී තිබීම පිළිබඳ කෘතඥතාවය පලකල අමැති දයාසිරි ජයසේකර මහතා 2018 වර්ෂයේදී ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී කරවීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම එරට පුහුණුව ලබා දෙන ලෙස ඉල්ලීමක් ද සිදු කරන ලදි.

මේ අතර ඇමැති නීතිඥ දයාසිරි ජයසේකර මහතාට කුකිවොන් (kukkiwon) ටයිකොන්ඩෝ මූලස්ථානය විසින් 7 වන ශ්‍රේණියේ ගෞරව කළු පටියක් ප්‍රදානය කිරීම සිදුවිය.

එම මූලස්ථානය විසින් කිසියම් රාජ්‍යයක ක්‍රීඩා ඇමැතිවරයෙකුට ප්‍රදානය කරනු ලබන ගෞරව කළු පටි උපරිම ශ්‍රේණිය 6 වන අතර දයාසිරි ජයසෙකර මහතා වූෂු ක්‍රීඩාව ඇතුළු තවත් ආත්මාරක්ෂක සටන්ක්‍රම හදාරමින් පෙන්වා ඇති දක්ෂතා හේතුවෙන් පැවති එන සම්ප්‍රදාය ඉක්මවා 7 වන ශ්‍රේණියේ කළු පටියක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයක් විය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සංගමයේ සභාපති කංචන ජයරත්න මහතාද සහභාගී විය.
« PREV
NEXT »