BREAKING NEWS
latest

728x90

468x60

Thursday, September 21, 2017

මධ්‍යම අධිවේගයට ටෙන්ඩර් කැඳවීමේ දී කිසිඳු සොරකමක් සිදු වී නැහැ - ඇමති කිරිඇල්ල

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවීමේ දී කිසිඳු සොරකමක් සිදු වී නොමැති බව පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.


මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන් වැනි කොටස ජපානයේ ණයවලින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ පසු ටෙන්ඩර් ක්‍රියාවලියකට ගියේ තරඟකාරීත්වයක් ඇති කර වියදම අඩු කර ගැනීමට යැයි ද කිරිඇල්ල මහතා පැවසීය.

හෙතෙම මේ අදහස් පළ කළේ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පිටත වටරවුම් මාර්ගය (අදියර 3) කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා පසුගිය රජය රු.බිලියන 6.9ක් වියදම් කලා. නමුත් අපේ රජය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගය 3වන අදියරේ කි.මී.1ක් සඳහා වියදම බිලියන 3.9ක් පමණයි. කිලෝමීටරයක වියදම බිලියන 3කින් අඩුවෙලා තිබියත් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කරන්න ඇතමුන් උත්සාහ කරනවා.


පසුගිය ආණ්ඩුව කාලේ අධිවේගී මාර්ග හදන්න කොන්ත්‍රාත් zzහිතුවා. දුන්නා.ZZ දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව මාර්ගය හා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය කොන්ත්‍රාත් ලබාදුන්නේ ටෙන්ඩර් කැඳවන්නේ නැතුවයි. නමුත් අපේ රජය මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත් ලබාදුන්නේ ටෙන්ඩර් කැඳවා, නිසි ක්‍රමවේදයකටයි.

පසුගිය රජය සමයේ ඉදිකල කොට්ටාව - දොඩංගොඩ අධිවේගී මාර්ගයේ ආරම්භක ඇස්තමේන්තුව බිලියන 9.6යි. නමුත් අවසානයේ වියදම බිලියන 21.4යි. දොඩංගොඩ සිට කුරුඳුගහ හැතැප්ම අධිවේගී මාර්ගයේ ආරම්භක ඇස්තමේන්තුව බිලියන 8.3යි. නමුත් අවසානයේ වියදම බිලියන 26.3යි. කුරුඳුගහහැතැප්ම සිට පින්නදූව දක්වා අධිවේගී මාර්ගයේ ආරම්භක ඇස්තමේන්තුව බිලියන 8.7යි. නමුත් අවසානයේ වියදම බිලියන 35යි.

අමාත්‍යාංශයේ කටයුතු පිලිබඳ විගනකාධිපතිවරයා අහන ඕනෑම ප්‍රශ්ණයකට පිලිතුරු දෙන්න අපි සූදානම්. නමුත් කිසිම හැකියාවක්, උගත්කමක් නැති මාර්ග පිලිබඳ ගණනය කිරීම් පිලිබඳ කිසිම දෙයක් නොදන්නා පුද්ගලයෙකුට පිළිතුරු දීමට අවශ්‍යතාවක් නැති බවත් හෙතෙම මෙහිදී ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් පළ කරමින් ඇමැතිවරයා මෙසේද කීවේය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන් වැනි කොටස ජපන් ණය වලින් කිරීමට ආණ්ඩුව තීරණය කළ පසු ජපානය විසින් කොන්ත්‍රාත්කරුවන් තුන් දෙනකු නිර්දේශ කළා. ටෙන්ඩර් ක්‍රියාවලිය ආරම්භයේ දී එයට සහභාගී වුණේ ටයිසේ සමාගම පමණයි. නමුත් එය අවලංගු වීමෙන් පසු නැවත ‍ටෙන්ඩර් කැඳවනු ලැබුවා. එවිට ජපන් රජය ෆුජිටා සමාගමටත් ලංසුවක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළා. එම සමාගමට අධි‍වේගී මාර්ග තැනීමට අවශ්‍ය සුදුසුකම් තිබෙන බවට ලිඛිතව දැනුම් දීමට ජපානය කටයුතු කළා. දෙවනි ලංසුවේ දී ටයිසේ හා ෆුජීටා සමාගම් තරඟ කළ අතර එහිදී ටයිසේ සමාගමට වඩා රුපියල් බිලියන 12ක් අඩුවෙන් ෆුජිටා සමාගම ලංසුවක් ඉදිරිපත් කළා. මේ මාර්ගය ඉදිකිරීමේ තුන්වැනි කොටස හා සමාන ව්‍යාපෘතික් වසර 5 ක් ඇතුළත නිම කළ යුතු බවට එම ලංසුවේ කොන්දේසියක් පැවැති අතර ෆුජීටා සමාගම එවැනි ව්‍යාපෘතියක් මින් පෙර සිදු කර නොතිබුණු නිසා එවර ෆුජිටා සමාගමේ ලංසුවද ප්‍රතික්ෂේප වුණා.

නමුත් ෆුජීටා සමාගම ජපානයේ ඇති විශාලම සමාගමක අනු ආයතනයක් වන අතර, තරඟකාරීත්වය වැඩීවීම, ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම ආදියේ අවශ්‍යතාවය නිසා අගමැතිවරයා ප්‍රධාන ආර්ථික කමිටුව හා කැබිනට් මණ්ඩලය එය සම්මත කරනු ලැබුවා. පසුව ‍ඉදිකිරීමට අදාළ කොන්ත්‍රාත්තුව ටයිසේ සමාගමට ලබා දීමටත් තරඟ කරන සමාගම් දෙකෙහි කැමැත්ත මත සමුහයක් ලෙස කටයුතු කිරීමටත් අවසර දුන්නා. එවැනි ආකාරයයි මේ කටයුතු සිදු වුණේ.

පසුගිය රජය අධිවේගී මාර්ග හදන්න ගිහාම ටෙන්ඩර් කැඳවමින් සිටියේ නැහැ. ඒවා දුන්නේ එම ආණ්ඩුව නිගමනය කරන සමාගම් වලටයි. නමුත් අප අදහස් කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන් වැනි කොටසේ ව්‍යාපෘතිය මඟින් උපරිම ලාභයක් අපේ ආණ්ඩුවට ලබා ගැනීමටයි. අපි ටෙන්ඩර් කැඳවීම සිදු කළේ අවංක හැඟීමෙන්. ටෙන්ඩර් කැඳවීම නිසා තමයි ටයිසේ සමාගමත් මිල අඩු කළේ.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට 2002 දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයාව සිටියදී කටයුතු කළා. නමුත් 2005 දී මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වී මහනුවර එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළා. ඒ පරාජය නිසාම මේ මාර්ගය හදන එක ප්‍රමාද වුණා. අදත් තිබෙන්නේ මේ වි‍‍රෝධය තමයි. අපිට පසුගිය රජයේ අධිවේගී මාර්ග හදන්න වැය වුණු මුදලට වඩා වියදම අඩු කර ගන්න පුළුවන් වෙලා තබෙනවා. 2016 අගෝස්තු මාසේ තමයි මධ්‍යම අධිවේගී මාර්ගය පටන් ගන්න තිබුණේ. නමුත් ටෙන්ඩර් කැඳවීම නිසා ප්‍රමාද වුණා.

අපිට මේ මාර්ගය ඉදිකිරීමේ කටයුතු ෆුජිකා සමාගමට දෙන්න අවශ්‍යතාවය තිබුණා නම් ටෙන්ඩර් කැඳවන්නේ නැහැ.

මධ්‍යම අධිවේගී මාර්ගය දළදා වහන්සේ වදින්න යන්න පහසු මාර්ගයක්. මේ නිසා මාර්ගය හදන එක වළක්වන්න කඩාකප්පල් කරන්න එපා. මෙය මහනුවර කන්ද උඩරට ජාතික ආර්ථිකයට සම්බන්ධ වන මාර්ගයක් ද වෙනවා. මෙහි සතේක හොරකමක් වෙලා නැහැ. ෆුජිකා සමාගම ගැන ජපන් රජය සහතික කරලා තිබෙනවා. මේ මාර්ගය සමඟ කෑගල්ල, කුරුණෑගල,ගම්පහ, මහනුවර, මාතලේ දිස්ත්‍රික්ක 5 ක සම්බන්ධ වෙනවා. මෙහි 4 වැනි කොටසේ ඉදිකිරීම් ඉන්දියන් සමාගමට දීමට නියමිතයි.

ස්ථාවර නියෝග අනුව කෝප් කමිටු සභාපතිවරයාට සියලු දේ ගැන ප්‍රශ්න කරන්න බැහැ. කවුරු හරි ලියලා දෙන දේවල් අහන්න බැහැ. පාරවල්වල මිල ගණන් හදන්න සුනිල් හදුන්නෙත්ති මහතාට හැකියාවක් නැහැ. ඒ ගැන විගණකාධිපතිවරයාට හැකියාව තිබෙනවා. විගණකාධිපතිවරයාගේ වාර්තාව ආවට පස්සේ ඒවා වැරදි නම් ප්‍රශ්න කරන්න කෝප් කමිටුවට පුළුවන්. යැයි කීවේය.

අමාත්‍යාංශ ලේකම් ඩී‍.සී.දිසානායක, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සුරියආරච්චි මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වුහ.
« PREV
NEXT »