BREAKING NEWS
latest

728x90

468x60

Sunday, September 03, 2017

වරාය විකුණලා - කතාවේ බොරුව මේකයි

2015 ජනාධිපතිවරණයෙන් පසු හමුදා බලය යොදා ජන බලයට පයින් ගසන්න කුමන්ත්‍රණය කළ මහින්ද පාර්ශ්වය අද කුමන්ත්‍රණවලින්ම ජීවිකාව ගෙන යන පිරිසක්‌ හරහා බලය අල්ලන්නට උත්සහ කරමින් සිටින බව පැහැදිලිය. අද රටේ සිදුවන සියලු රාජ්‍ය විරෝධි ක්‍රියා පසුපස කුමන මාදිළියේ හෝ ඒකාබද්ධ විපක්‍ෂයේ අයෙකු සම්බන්ධව සිටින බව දැකගත හැකිය. 

මෙවන් තත්ත්වයක්‌ හමුවේ හම්බන්තොට වරාය බදු දීම සඳහා ගිවිසුම පසුගියදා අත්සන් කෙරිණි. එම ගිවිසුම අත්සන් කෙරුණේ කිසිදු ආකාරයක රහසිගත ක්‍රියාදාමයක තුළින් නොවේය. මේ සියල්ලන්ම විවෘතව සිදු කෙරුණි. එම ගිවිසුම අත්සන් කිරීමට පෙරාතුව ඒ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ඒ වගේම කැබිනට්‌ මණ්‌ඩලයටද ඉදිරිපත් කර සියලු ඇමැතිවරුන්ගේ එකඟතාවය ලබා ගැනීමට කටයුතු කළේය. මෙතරම් විනිවිදභාවයකින් එය සිදුකරන මොහොත වන විට රජය මෙවැනි තීරණයකට අවතීර්ණ වන්නේ කුමක්‌ සඳහාද යන්න ජනතාවට පැහැදිලි කරන්නට මැලිවූයේ නැත. මේ ක්‍රියාදාමය කඩාකප්පල් කිරීමේ අරමුණින් ඒකාබද්ධ විපක්‍ෂය නොයෙකුත් කුමන්ත්‍රණ කළත් එය සාර්ථක නොවූයේ මේ පිළිබඳව කල්තියා ජනතාව දැනුවත්ව සිටි හෙයිනි. එවන් සමයක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ සම්බන්ධයෙන් නිවේදනයක්‌ නිකුත් කළේය. එම නිවේදනය අධ්‍යයනය කිරීමේදී ජනතාවට එක්‌ පැනයක්‌ මතුවෙයි. මහින්ද රාජපක්‍ෂ මහතා මේතරම් ප්‍රජාතන්ත්‍රවාදී වූයේ කවදා සිට ද යන්න එම පැනයයි. 2005 සිට 2015 දක්‌වා වූ දස වසරක පාලන සමය තුළ රටේ සිදුවූ කිසිවක්‌ ගැන ප්‍රශ්න කරන්නට කිසිවකුත් ඉදිරිපත් වූයේ නැත. එසේ ප්‍රශ්න කළ අයට පිළිතුරු ලැබුණේ වචනයෙන් නොවේය. ප්‍රශ්න කළ පුද්ගලයා පසුදින ජීවතුන් අතර සිටියේනම් එයත් එක්‌තරා විදිහකට පුදුමයකට කරුණක්‌ විය. එවන් පාලනයක්‌ ජනතාව අවසන් කළේ යළිත් වතාවක්‌ සුදුවෑන් හෝ හිසට එල්ලවන තුවක්‌කුවට මුහුණදීමට නොවේය. 

මෙවන් සමයක්‌ තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වරාය ගිවිසුම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයෙන් කියා සිටියේ හම්බන්තොට වරාය බදුදීම සඳහා තක්‌සේරු වාර්තා ලබාගත්තේ කෙසේද යන්න මේ රටේ කිසිවකුත් නොදන්නා බවය. යහපාලන රජය බොරු කියා ජනාධිපතිවරයා ජයග්‍රහණය කළ මහ මැතිවරණය පොරොන්දු මල්ලක්‌ දී එය ක්‍රියාත්මක කිරිමට සිදුවීම නිසා රජයේ වියදම එකවර ඉහළගොස්‌ ඇති බව ද කියා සිටී. පැහැදිලිවම මේ රජයේ වියදම ඉහළ ගොස්‌ ඇත්තේ ජනතාවගේ ජීවන මට්‌ටම ඉහළ නැංවීමට යන්න මහින්ද රාජපක්‍ෂ මහතා එම නිවේදනය තුළින් පිළිගෙන තීබීමත් සතුටකි. සත්‍ය දැනදැනත් අසත්‍යයක්‌ ප්‍රකාශ කිරීමට උත්සාහ කිරීම ජනතාව කිසිසේත් අනුමත කරන්නේ නැත. 

හම්බන්තොට වරාය අවංකවම ජනතා අවශ්‍යතාවයක්‌ හෝ රටේ සංවර්ධනයට අත්‍යාවශ්‍ය ව්‍යාපෘතියක්‌ ලෙස ආරම්භ කළ එකක්‌ නොවන බව රටම අවබෝධ කරගෙන සිටියේ අද ඊයෙක නොවේය. එම වරාය ගමට ගෙනයන ලද ව්‍යාපෘතියක්‌ මිස රටට අවශ්‍ය ව්‍යාපෘතියක්‌ ලෙස එදා ජනතාව පිළිගත්තේ නැත. එම කාලවකවානුවේදී ආණ්‌ඩුව සිදු කළ සියලු ව්‍යාපෘතියට කිසිවකුත් නොදන්නා රහස්‌ ගනුදෙනු තිබුණු බව මේ වනවිට හෙළිවී හමාරය. කොළඹ කොටුවේ ක්‍රිස්‌ ගොඩනැඟිල්ල ඉදිකිරීමට යැමේදී ඉල්ලා සිටි නීති විරෝධී කොමිස්‌ මුදල විශාල අගයක්‌ ගත් නිසා එම ක්‍රිස්‌ ගොඩනැඟිල්ල ඉදිකිරීමට ඉදිරිපත් වූ ආයෝජකයා එය අත්හැර දමා යන්නට ගියේය. එමෙන්ම සී එස්‌ එන් වංචාව, සිරිලිය වැනි රටේ ආන්දෝලනාත්මක වැරැදි ගනුදෙනු ගණනාවක්‌ පිළිබඳව විවාදයක්‌ ගොඩනැඟී තිබූ අවස්‌ථාවක ආණ්‌ඩුව සිදු කරන සියලු ව්‍යාපෘතීන් කඩාකප්පල් කරන ආකාරයේ විරෝධතා සංවිධානය කිරීම තුළින් එම විවාදයන් ජනතාවට අමතක වී යැමට ඉඩ සැළැස්‌වීමට ද ඔවුන්ගේ ප්‍රධාන අරමුණක්‌ වී තිබිණි. 

මේ අතර හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ කළ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති හා හිටපු ජනාධිපති සොයුරු බැසිල් රාජපක්‍ෂ මහතා කියා සිටියේ කවදා හෝ දිනයක සිය ආණ්‌ඩුවක්‌ යටතේ එසේ නැතිනම් මහින්ද රාජපක්‍ෂ යළි ජනාධිපති වූ පසු මෙම ගිවිසුම අවලංගු කරන බවය. ඒ ප්‍රකාශය තුළින්ම ඒකාබද්ධ විපක්‍ෂයේ ජනතාව මුලා කරන බොරුව හෙළිවන්නට විය. මහින්ද රාජපක්‍ෂ මහතාට යළිත් කිසිදිනක මේ රටේ ජනාධිපති ධූරයට පත්විය නොහැකිය. බැසිල් රාජපක්‍ෂ මහතා මෙවැනි බොරුවක්‌ කීවේ නොදැනද නැත්නම් ජනතාව මුලා කිරීමටද.

එය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ගෙන එන ලද 19 වැනි සංශෝධනයෙන් ඇහිරී ගියේය. මෙරට පුද්ගලයකුට ජනාධිපති ධූරය හෙබවිය හැක්‌කේ දෙවතාවක්‌ පමණි. 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය තුළින් මහින්ද රාජපක්‍ෂ මහතා ජීවතුන් අතර සිටිනතාක්‌ ජනාධිපති ධූරය හෙබවිය හැකි ආකාරයට ඉඩකඩ සලසා ගත්තේය. ජනාධිපති ධූරයට තරග කිරීම සඳහා වන වාර ගණන එම ව්‍යවස්‌ථා සංශෝධනය තුළින් සීමා නොකළ අතර, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව අහෝසි කෙරිණි. 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ගෙන එමින් තමන් සතු බලතල සියල්ල ව්‍යවස්‌ථාදායකට විමධ්‍යගත කිරීම තුළින් ජනතාවට මහත් සහනදායී තත්ත්වයක්‌ ඇති කරන්නට විය. 19 වැනි සංශෝධනය මේ රටේ සිදුවූ සාධනීයම ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ලෙස සැලකිය හැකි අතර, විධායක ජනාධිපති ධූරයේ එතෙක්‌ පැවැති අත්තනෝමතික බලතල අහෝසි කළ යුතු බවට දිගින් දිගටම සිවිල් සංවිධාන සහ ජනතාව සිදුකළ මැදිහත්වීම නිසාවෙන් මෙය අර්ථකතනය කිරීම වඩාත් යෝග්‍ය වනු ඇතැයි විශ්වාස කළ හැකිය. එම සංශෝධනය තුළින් එක්‌ පුද්ගලයකුට විධායක ජනාධිපතිධූරය දැරීමට ඇති හැකියාව යළිත් දෙවතාවකට සීමා කිරීම, ජනාධිපතිධුර කාලය වසර පහකට අඩු කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකම් ලෙස පිළිගැනීම, ස්‌වාධීන කොමිෂන් සභා ස්‌ථාපිත කිරීම යනාදී වශයෙන් යහපාලනයක ප්‍රතිමූර්තිය ගෙනහැර දක්‌වා තිබේ. මෙය මෙතෙක්‌ ඝන අන්ධකාරයෙන් පසුවූ ජනතාවටත් ශ්‍රී ලංකාවේ දේශපාලනයටත් ආලෝකමත් කිරීමක්‌ ලෙස සැලකිය හැකිය.

2014 සැප්තැබර් මස 07 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් එවකට වරාය හා නාවික කටයුතු ඇමැතිවරයා ලෙස හම්බන්තොට වරාය චීන සමාගමකට යම් මට්‌ටමකින් පැවරීමේ කැබිනට්‌ පත්‍රිකාවකට අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළේය. එම කැබිනට්‌ පත්‍රිකාවට අනුව හම්බන්තොට වරාය චීන සමාගමක්‌ සමඟ හවුල්වී කටයුතු කිරීමේ වගකීම පවරා තිබිණි. එම ගිවිසුමට අනුව ශ්‍රී ලංකා රජයට කිසිදු මුදලක්‌ හිමි නොවුන අතර චීන සමාගමට පැවරි තිබුණේ ඇමරිකන් ඩොලර් බිලියන 390 ආයෝජනයක්‌ සිදු කිරීම පමණි. එම ආයෝජනය වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ ගිවිසුමට අනුව හම්බන්තොට වරායේ කොටස්‌ සියයට 65ක්‌ චීනයට පවරා දී තිබිණි. මේ අතර හම්බන්තොට වරාය සඳහා ලබාගෙන තිබුණු වාණිජ ණය ප්‍රමාණය රුපියල් බිලියන 193 ක්‌ වූ අතර, 2011 දී එම ණය වාරික හා පොලිය ලෙස වාරාය අධිකාරිය රුපියල් මිලියන 47,000 වැය කර තිබිණි. වාර්ෂිකව එම මුදල වරායේ සමස්‌ත ලාභයෙන් සියයට 90 ක්‌ විය. 

පාඩු ලබන හම්බන්තොට වරාය වෙනුවෙන් ගෙවීමට ඇති ණය ප්‍රමාණයත් පාඩුව සමතුලනය කර ගැනීමට නොහැකිකමත් නිසා ණය පියවීමේදී ආණ්‌ඩුවට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය. එහි බර දැරීමට සිදුව ඇත්තේද සාමාන්‍ය ජනතාවටය. ඊට අමතරව රටට වැඩි වාසියක්‌ අත්වන රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාර රැසක්‌ හම්බන්තොට වරාය ගිවිසුමට බිලිවිය. එම ව්‍යාපාරවල ආදායම මේ සඳහා යොදවන්නට විය. 

එවන් තත්ත්වයක්‌ හමුවේ වත්මන් රජයට ජනතාවත් එම රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාර බේරා ගැනීම සඳහාත් රටට මේ තුළින් ආදායමක්‌ හිමිකර ගැනීම සඳහාත් නව ගිවිසුමකට එළැඹීමට සිදුවිය. වත්මන් රජය එළැඹුණ මේ ගිවිසුම තුළින් රටට ලැබෙන අමෙරිකානු ඩොලර් බිලියන 1.1 ට අමතරව තවත් මිලියන 600 ක ආයෝජනයක්‌ වරාය පුළුල් ක්‍රියාකාරි මට්‌ටමට ගෙන ඒම සඳහා වැය කිරීමට චීන රජය එකඟතාවය පළකර ඇත. 

පසුගිය රජය හම්බන්තොට වරාය සම්බන්ධයෙන් එළැඹුන ගිවිසුමත් මෙම රජය එළැඹුන ගිවිසුමත් සමඟ සංසන්දනය කිරීමේදී 2014 වසරේ මහින්ද රාජපක්‍ෂ රජය අත්සන් කළ ගිවිසුමට අනුව චීන රජයෙන් ශ්‍රී ලංකාවට හෝ භාණ්‌ඩාගාරයට කිසිදු ප්‍රතිලාභයක්‌ හිමිවූයේ නැත. එමෙන්ම ඔවුන් ආයෝජනය කළ ඩොලර් බිලියන 390 යොදාගෙන ඇත්තේ වරාය යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සඳහා පමණක්‌ බව අනාවරණය විය. එමෙන්ම වරායේ කොටස්‌වලින් සියයට 65 ක්‌ම හිමිව තිබුණේ චීනයටය. හම්බන්තොට වරාය අවට හෙක්‌ටයාර් 1774 ක භූමි ප්‍රමාණයක්‌ චීනයට හිමිකර දී තිබිණ. වත්මන් රජය අත්සන් කරන ලද ගිවිසුමට අනුව අමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක්‌ ඝෘජුවම මහ භාණ්‌ඩාගාරයට ලැබෙනු ඇත. මීට අමතරව මිලියන 600 ක ආයෝජනය සිදුකෙරිණි. වරායේ කොටස්‌වලින් සියයට 70 ක්‌ම හිමිව ඇත්තේ ශ්‍රී ලංකා රජයටය. වරාය කටයුතු සඳහා අවට ලබාදී ඇති භුමි ප්‍රමාණය හෙක්‌ටයාර් 1151 දක්‌වා අඩු කිරීමට ආණ්‌ඩුව පියවර ගෙන තිබිණි. මෙහි ඇති තවත් වැදගත්ම දේ වනුයේ මෙරට තරුණ තරුණියන් සඳහා ඝෘජු හා වක්‍රව රැකියා ලක්‍ෂ 4 ක්‌ බිහිවීමය.

මේ ආණ්‌ඩු දෙක ඇති කළ ගිවිසුම්වලට අනුව ජනතාවාදී ගිවිසුමක්‌ අත්සන් කර ඇත්තේ කොයි ආණ්‌ඩුවක්‌ද යන්න ජනතාවට තේරුම්ගත හැකිය. එසේ වුවද සත්‍යය අසත්‍යය කරමින් ජනතාව නොමඟ යවා ආණ්‌ඩු පෙරළියක්‌ ඇති කිරීමට මහින්ද පාර්ශ්වය ගෙන යන වැඩපිළිවෙළ කිසිදිනක සාර්ථක නොවන බව පැහැදිලිය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය 38 වන සංවත්සරය ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් සහ කොළඹ වරායේ ඇතැම් පර්යන්ත වෙනත් රටවලට බදුදීමට යන බවට ඒකාබද්ධ විපක්‍ෂය ගෙන යන ප්‍රචාරණයන්ට රටේ නායකයා ලෙස පිළිතුරු දීමේ අවස්‌ථාවක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හිමිවූයේ මෙහිදීය. එහිදී ජනාධිපතිවරයා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිවිටකත් වෙනත් පාර්ශවයකට ලබානොදෙන බව අවධාරණය කර සිටියේය. එම පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු තබාගත යුතු සම්පතක්‌ බව අවධාරණය කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය රජය ශැංග්‍රීලා හෝටල සෑදීමට ගාලුමුවදොර පිටිය ඉදිරිපිට අක්‌කර හයක භූමි භාගයක්‌ සින්නක්‌කර ඔප්පුවකින් චීනයට ලබාදී ඇති බව පෙන්වා දුන්නේය. 

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චයිනා මර්චන්ට්‌ හෝල්ඩින්ග්ස්‌ සමාගම සමඟ අත්සන් කළ සහන ගිවිසුම හරහා ඒකාබද්ධ විපක්‍ෂය ගොඩනැඟීමට ගිය විරෝධතාවය පුස්‌සක්‌ බවට පත්වූයේ ජනතාව තවදුරටත් ඔවුන්ගේ ලනු කන්නට සූදානම් නැති බව ක්‍රියාවෙන් පෙන්වීම නිසාය.

ආරියවංශ ගුණවර්ධ
« PREV
NEXT »