BREAKING NEWS
latest

728x90

468x60

Monday, September 18, 2017

යුද්ධයට එක් වූ කිසිවකුට ජාත්‍යන්තර අධිකරණවල නඩු පැවරීමට ඉඩ දෙන්නේ නෑ : අතුරුදන් පනත බලපාන්නේ අනාගතයටයි - අගමැති කුරුණෑගලදී කියයි

යුද්ධයට එක් වු කිසිවකුට එරෙහිව ජාත්‍යන්තර අධිකරණවල නඩු පැවරීමට ඉඩ නොදෙන බව ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව ඒකමතිකව තිරණය කැර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පොල්පිතිගම ජාතික පාසලේ නව ගොඩනැගිල්ල පෙරේදා (16) විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාවේදිය.

මෙදින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොල්පිතිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ පොල්පිතිගම ප්‍රාථමික විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමටද සහභාගි විය. උත්සව සභාවේදී අගමැතිවරයා මහජනතාව වෙත නියං සහනාධාර, කිරි ගවයින් ලබා ගැනීම සඳහා මුල්‍ය ආධාර, දිරිය පියස නිවාස ණය, නිවාස හිමිකම් ඔප්පු, ගමට කෝටියක් යටතේ ගම්මාන පහකට මූල්‍ය ආධාර, පැරෂුට් තැටි, පාසල්වලට පරිගණක බෙදා දීමද සිදු කෙළේය.

වැඩිදුරත් ජනහමුවේදි අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසිය.

තිබෙන ප්‍රශ්න සියල්ල රටේ නීතිය යටතේ විසඳා ගන්නවා.ආණ්ඩුව දුන් කිසිදු පොරොන්දුවක් කැඩීමට කිසිදු බලාපොරොත්තුවක් නෑ.එම ගැටලු විසඳන අතරතුර අධ්‍යාපනය ,සෞඛ්‍ය , පරිපාලන සහ නීති පද්ධතිය ශක්තිමත් කිරිමේ වැඩ කටයුතු නොපිරිහෙලා ඉටු කරනවා.

පොල්පිතිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල අප විවෘත කළා. වයඹ පළාතෙන් අපගේ විශේෂ අවධානය යොමු වී ඇත්තේ වන්නි හත් පත්තුවටයි. රජ කාලයේ පටන් වන්නි හත් පත්තුව පාලනය වුයේ වෙනම කොටසක් ලෙසයි. වන්නි හත්පත්තුව පිළිබඳව මගේත් විශේෂ අවධානය යොමු කර තිබෙනවා. මෙහි ප්‍රධාන ආසන හතරෙහි දියුණුවක් ඇති කිරීම අපේ අරමුණයි. මේ ප්‍රදේශයේ සංවර්ධන වැඩ කටයුතු ශීඝ්‍රයෙන් සිදු වෙනවා.

කාලයක් තිස්සේ වැඩ කටයුතු කරමින් මේ ප්‍රදේශය දියුණු කළ ටී.බී.ඒකනායක ඇමැතිතුමාටත් ස්තූතිය පළ කළ යුතුයි. අචිනි ලොකු බණ්ඩාර මහත්මියත් එස්.බි.නාවින්න ඇමැතිතුමා සමඟ එක්ව මේ ප්‍රදේශය දියුණු කිරීම සඳහා කටයුතු කරනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයට අයුතු වාසියක් තිබෙනවා. ඒ අයුතු වාසිය නම් වෙනත් ප්‍රදේශවලට නැති අධ්‍යාපන ඇමැතිවරුන් දෙදෙනකු සිටීමයි. පළාතේ අධ්‍යාපන අැමැතිවරයා මෙන්ම ජාතික අධ්‍යාපන අැමැතිවරයාත් මේ ප්‍රදේශය නියෝජනය කරන අයයි. ඒ අයගේ වගකීම කුරුණෑගල පාසල් දියුණු කිරීමයි.

අප සියලු දෙනා එකට එක් වී වන්නි හත් පත්තුවත් වයඹ පළාතත් ඇතුළුව මුළු රටම දියුණු කරමු. මෛත්‍රිපාල සිරිසේන ජනපති යටතේ එකට එක් වී ආණ්ඩුවක් හැදුවේ ඒ අරමුණ ඉටු කර ගැනිම සඳහායි. එකට එක් වී සංවර්ධනය කරමු. වෙන් වී ජන්ද පවත්වමු. දැන් එකට එක් වී සිටියත් ජන්දය එන විට වේදිකා දෙකක ඉඳ ගන්නට සිදු වෙනවා. එය ප්‍රශ්නයක් නොවේ. ජර්මනියේත් ඒ තත්ත්වය තිබෙනවා. මේ ක්‍රමය අත් හදා බලා ඉදිරියට යාමට හැකි නම් ක්‍රියාත්මක කරමු.

වන්නි හත් පත්තුවේ දුප්පත් ජනතාවට මේ ක්‍රමය නිසා වඩා වාසියක් අත් වෙනවා නම් අප ඒ ක්‍රමය අනුගමනය කරමු. මැතිවරණ සමයේදී අප වෙන වෙනම අපේක්ෂකයින් ඉදිරිපත් කරමු. ජනතා අවශ්‍යතා ගොඩ නංවන්නේ කෙසේ දැයි එක්ව සිතන විට එහි වාසිය අත් වන්නේ මහජනතාවටයි. ජනතාවගේ දිවි පැවැත්ම සඳහා අවශ්‍ය කරන ප්‍රධාන කාරණා කිහිපයක් තිබෙනවා. පළමු වැන්න අධ්‍යාපනයයි. තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම සෑම කෙනකුගේම සිහිනයයි. පොල්පිතිගම ජාතික පාසලේත් පළාත් සභා පාසලේත් ගොඩනැගිලි දෙකක් අප අද විවෘත කළා. එම ගොඩනැගිලි විවෘත කෙරුණේ ළඟම පාසල හොඳම පාසල යන ව්‍යාපෘතිය යටතේ. පළාතේ මහ ඇමැතිතුමාත් මේ වැඩ කටයුත්ත සඳහා උපකාර කළා.

අපගේ ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කිහිපයක් සඳහන්ව තිබෙනවා. කතා කිරීමේ නිදහස, ආගම ඇදහීමේ නිදහස ආදියට අමතරව ආණ්ඩුවක් කළ යුතු අනෙක් යුතුකම් රාජ්‍ය ප්‍රතිපත්ති මූලධර්ම යටතේ සඳහන්ව තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවේ යුතුකමක් තිබෙනවා. සෑම දෙනෙකුටම සමාන අධ්‍යාපනක් ලබා දීම ආණ්ඩුවේ එක් යුතුකමක් වෙනවා. නිදහස් අධ්‍යාපනය, පාසල් ගොඩනැගිලි ලබා දීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. නගරයේ පාසල් සහ ග්‍රාමිය පාසල් අතර ඇති පරතරය නැති කළ යුතුයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහාත් රාජිත සේනාරත්න ඇමැතිතුමා සහ පළාත් සභාවත් කටයුතු කරනවා. හැම කෙනකුටම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබා දීම අපේ අරමුණයි. ජනතාවගේ ජිවිත කාලය දීර්ඝ කරවිම සෞඛ්‍ය දියුණු කිරීමේ අරමුණයි. එවිට දරුවන් විවාහ වූ පසුවත් ඔබට තරුණ තරුණියන් සේ ඉන්නට හැකියාව තිබෙනවා.

ජනතා ප්‍රශ්න විසඳීම සඳහා අප පරිපාලන ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි. පොල්පිතිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට නව ගොඩනැගිල්ලක් ලබා දුන්නේ ඒ අනුවයි. මේ ප්‍රදේශයට තවත් ප්‍රාදේශිය‍ ලේකම් කාර්යාලයක් ලබා දිමට ටී.බි.ඒකනායක මහතාත් යෝජනා කළා. ඉදිරියේදි සාකච්ජා කර ඒ කටයුතු සිදු වේවි. මේ ප්‍රදේශය විශාල වපසරියක විහිදී තිබෙනවා. ඒ නිසා ජනතාවට ඉක්මනින් පහසුකම් ඉටු කර ගැනීමට අවස්ථාව සැලසිය යුතුයි.

අනෙක් කාරණය නම් නීතියේ ආරක්ෂාව තහවුරු කිරීමයි. නිතිය ක්‍රියාත්මක කිරීමට සෑම දෙනාටම එක සමානව ක්‍රියාත්මක කිරීමට අප නීති පද්ධතියත් පොලිස් සේවයත් සකස් කරමින් සිටිනවා. එහි විශේෂ අංශ කෙරෙහි අපේ අවධානය යොමු වී තිබෙනවා. එක ප්‍රශ්නයක් වන්නේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරිමයි.

මෙරට ජනතාව පැහැර ගෙන යාම වැළැක්වීම ආණ්ඩුවේ යුතුකමක් වෙනවා. අප රට වසර ගණනාවක් තිස්සේ යුද්ධයකට මුහුණ දුන්නා. භීෂණ යුගයන් ගණනාවක් තිබුණා. 1983 වසරේ සිට බලහත්කාරයෙන් අතුරුදහන් කිරිම් විශාල ප්‍රශ්නයක් බවට පත් වී තිබුණා. ඒ වෙනුවෙන් කොමිසන් කිහිපයක් යොදා තිබෙනවා. යුද්ධය අවසන් පසුවත් නොයෙක් කණ්ඩායම් අතුරුදහන් කිරීම ආදිය කරගෙන යනවා. එල්ටීටීඊ සංවිධානය විශාල වශයෙන් මෙවැනි ක්‍රියා සිදු කළා. ආරක්ෂක අංශවලටත් චෝදනා ඉදිරිපත් කෙරුණා. පෞද්ගලික කණ්ඩායම්වලටත් චෝදනා එල්ල වුණා. දැන් යුද්ධය අවසන් වී තිබෙනවා. එමනිසා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ලෙහෙසියෙන් පියවර ගත හැකියි.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර සම්මුතියක් තිබෙනවා. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය ලෙස එය හඳුන්වනවා. මේ සම්මුතිය තුළින් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් අපරාධ බවට නම් කර නීතියෙන් ක්‍රියාත්මක කිරීමට යුතුකමක් තිබෙනවා.

2005-2006 වසරවල මේ සම්මුතිය ගෙන එන යුග වලදී ඊට සම්බන්ධ වන්නැයි අපෙන් ඉල්ලා සිටියා. මෙම සම්මුතින් සකස් කරන යුගයේදි මගෙන්ද විමසුවා. යුද්ධය පවතින තුරු මේ සම්මුතියට අත්සන් කිරීමට හැකියාවක් නැති බව මා පැවසුවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන්ද ඒ බව පවසා තිබුණා. යුද්ධය පවතින විට විවිධ ප්‍රශ්න ඇති වෙනවා. දැන් යුද්ධය අවසන් වී තිබෙනවා. ඒ නිසා 2015 දෙසැම්බර් මාසයේදී අප මේ ගිවිසුම අත්සන් කළා. එම ගිවිසුම අත්සන් කර නීතියක් බවට පත් කිරිම සඳහා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙහි පළවැනි වගන්තියට අනුව මේ පනතේ බලහත්කාරයෙන් අතුරුදහන් වූ පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සම්මුතිය යනුවෙන් හඳුන්වන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව සහතික කිරීමේ දිනයේ සිට බලාත්මකව පත් විය යුතුය යනුවෙන් සඳහන් වෙනවා.

එනම් මෙම ජාත්‍යන්තර ගිවිසුම ක්‍රියාත්මක වන්නේ කතානායකවරයා ගිවිසුම අත්සන් කළ දිනයේ සිටයි. 79 වැනි වගන්තිය යනු එයයි. එනම් අතීතයේ සිට මෙය ක්‍රියාත්මක වන්නේ නැහැ. මෙම ගිවිසුම මඟින් අනාගත වැරදි සඳහා කටයුතු කළ හැකි වුවත් අතිත සිද්ධි සම්බන්ධයෙන් ක්‍රියා කළ නොහැකි බව අප දැනුම් දි තිබෙනවා.

අනාගතයේදී කවුරුන් හෝ බලහත්කාරයෙන් අතුරුදහන් වුවහොත් එය සම්බන්ධයෙන් ක්‍රියා කරන්නැයි ආණ්ඩුවට පැවසිමට හැකියාවක් තිබෙනවා. එලෙස ක්‍රියා මාර්ග ගන්නේ නැතිනම් ඒ අයට ප්‍රසිද්ධියේම වෙනත් පියවර ගැනීමට හැකියාව තිබෙනවා. අපි ක්‍රියාත්මක වන්නේ මේ අනුවයි. මේ ගිවිසුම කිසිම අයුරකින් අතීතයට බලපාන්නේ නැහැ. මගේ පැරණි මිත්‍ර ජි.එල්.පීරිස් මහතා කර තිබු ප්‍රකාශයක් මා දුටුවා. මේ ගිවිසුම අතිතයටත් බලපාන බව ඔහු පවසා තිබුණා. අතිතයට මෙහි කිසිම බලපෑමක් නැති බව මා අවධාරණය කරනවා. 2017 වසරේ ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවලට පෙර බලහත්කාරයෙන් අතුරුදහන් කිරිම ගැන කිසිදු පියවරක් කිසිවකුටත් මේ සම්මුතිය යටතේ ගැනීමට හැකියාවක් නැහැ. එම වැරදි බලපාන්නේ අනාගතයට පමණයි. මෙම ක්‍රියාවලියට ගිවිසුම බලපාන්නේ නැතැයි ඇතමුන් පවසනවා. නමුත් ගිවිසුම පවතින්නේ අපේ ව්‍යවස්ථාව යටතේයි. ගිවිසුමෙන් කිසි විටක වරදක් ඇති කරන්නේ නැහැ. ගිවිසුමේ හත් වැනි වගන්තියේ සඳහන් වන පරිදි මේ සඳහා සහභාගි වන සෑම ආණ්ඩුවක්ම අදාළ අපරාධ නිති සම්මත කළ යුතු බව දැක්වෙනවා. එය අපේ වගකීමයි. එංගලන්තයේ මෙය ක්‍රියාත්මක වෙනවා නම් එංගලන්තයට එය කිරීමට වගකීමක් තිබෙනවා.

අමෙරිකාව තවමත් මේ ගිවිසුමට සම්බන්ධ වී නැහැ. ඊට හේතුව ඉරාකය සහ මැද පෙරදිග තවමත් යුද්ධ පැවතිමයි. යුද්ධ අවසන් වූ පසු රටවල් එකට එකතු වෙනවා. මේ ගිවිසුමෙන් වැරද්දක් ඇති කර නැහැ. වැරදි සහ අපරාධ නැති කිරිම අපගේ යුතුකමක්. අප මෙය ඇති කළ පසු අපගේ නීතිය යටතේ 13.6 වගන්තිය බලපෑමෙන් අතීතයට බලපෑමක් ඇති වන්නේ නැහැ.

දෙවනුව මෙම ගිවිසුමේ 39 වැනි වගන්තියේ සඳහන් වන ආකාරයට මෙය ක්‍රියාත්මක විය යුත්තේ අස්සන් කළ දින සිටයි.එනම් අප මෙම ගිවිසුම අත්සන් කෙළේ 2015 දෙසැම්බර් මාසයේදිය. ඒ අනුව පාර්ලිමේන්තුවෙන් සම්මත වීමෙන් පසුව අපරාධ නීතියක් ලෙස ක්‍රියාත්මක වන්නේ 2017 වසරේ ඔක්තෝම්බර් ,නොවැම්බර් මාසවලයි. ඊට පෙර ක්‍රියාත්මක වන්නේ නැහැ. ඊට පෙර සිදු වු අපරාධවලට කිසිවිටක මේ පනත යටතේ ක්‍රියාත්මක වීමට හැකියාවක් නැහැ. සමහරුන් මේ ගැන විවිධ කතා කියනවා. මෙම පනතෙන් ලොකුම ප්‍රශ්නය සිදු වන්නේ එක්නැලිගොඩ, තාජුඩින් ආදි ඝාතන සිද්ධිවලට බව එක් මාධ්‍යයකින් පවසා තිබුණා. නමුත් ඒ සිද්ධි සම්බන්ධයෙන් මේ පනත යටතේ නඩු පැවරීමට හැකියාවක් නැහැ. වෙනත් ආකාරයකට නඩු පැවරීමට හැකියාව තිබෙනවා. මෙම පනත යටතේ තාජුඩින් සහ එක්නැලිගොඩ සිද්ධීන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නොහැකි විම ගැන සිවිල් සමාජය අපට දොස් කියනවා.

බලහත්කාරයෙන් අතුරුදහන්විම සම්බන්ධයෙන් අප ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ 2017 ඔක්තෝම්බර් මාසයෙන් පසුවයි. යුද්ධයට සහභාගි වු අය ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීමට හෝ නඩු පැවරීමට අවශ්‍ය නැති බව ජනපති මා ඇතුළු ආණ්ඩුව තිරණය කර තිබෙනවා.හරි වැරද්ද වෙන එකක්. ඒවා අපට ශ්‍රී ලංකාවේදිම මෙරටේ නීතිය යටතේ විසඳා ගැනීමට හැකියාව තිබෙනවා. මේ සම්මුතිය නිසා ජනාධිපති තුමා හෝ ආණ්ඩුව දුන් කිසිදු පොරොන්දුවක් කඩන්නට බලාපොරොත්ත්වක් නැහැ. ඒ පොරොන්දුව අනුව අනාගතයට මෙවැනි දේ සිදු නොවීමට වග බලා ගැනීම අපේ අරමුණයි.

රටේ ජනතාවට අධ්‍යාපනය සෞඛ්‍ය පරිපාලනය නීතිය සම්පුර්ණයෙන්ම ක්‍රියා කරනවා නම් ආණ්ඩුවක ප්‍රධාන වැඩ කටයුතු සිදු වී තිබෙනවා. ජාතික ආණ්ඩුවක් ලෙස අප ක්‍රියාත්මක වන්නේ ඒ ලෙසයි. අපට කිසිවකුත් ජාත්‍යන්තරයට යවන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්න තිබෙනවා නම් අපේ නීතිය යටතේ විසඳා ගන්නම්. මිට පෙර අවස්ථාවලත් සිදු වුයේ එලෙසයි.අපේ ව්‍යවස්ථාවේ ඇති මුලධර්ම ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බව අප අවධාරණය කරනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා-අපේ ආණ්ඩුවේ පරමාර්ථය ජනතාවට භෞතික සම්පත් පමණක් ලබා දීම නොවේ. මානව සම්පත දියුණු කිරිමද අපේ අරමුණයි. අධ්‍යාපන අමාත්‍යාශංයෙන් ඒ සඳහා වැඩ පිළිවෙළවල් රාශියක් දියත් කර තිබෙනවා. ඔක්තෝම්බර් 2 වැනි දා වන විට අපොස (සාමාන්‍ය පෙළ) විභාගයෙන් අසමත් වන සිසුන්ට දිගටම පාසලේ අධ්‍යාපනය ලැබිය හැකි වැඩ පිළිවෙළ අප ප්‍රකාශයට පත් කරනවා. ජාත්‍යන්තර ළමා දිනය යෙදී තිබෙන ඔක්තෝම්බර් 1 වැනි දා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රෝහලක ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂයක රක්ෂණ ආවරණයක් ලබා දීමේ වැඩ සටහන ආරම්භ කරනවා.

ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා-ජනපති නිල මෙහෙවර ගාල්ලේදී පැවැත්වු අවස්ථාවේදී මීළඟ වැඩ සටහන විශාලම දිස්ත්‍රික්කය වන කුරුණෑගල පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මට පැවසුවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගෙවල් 540000 ටම අපේ නිලධාරීන් යවා ඔවුනගේ ප්‍රශ්න මොනවා දැයි සොයා බැලුවා. එහි වාර්තාව ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් යවනවා.

ඉඩම් රාජ්‍ය ඇමති ටි.බී.ඒකනායක මහතා- කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාලම ප්‍රාදේශිය ලේකම් ප්‍රදේශය වන පොල්පිතිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත වීම සතුටට කාරණයක්. මේ ප්‍රදේශයේ අනවසර ඉඩම්වල පදිංචිකරුවන් වැඩියි. වනජීවී , වන සංරක්ෂණ, පරිසර අමාත්‍යාංශයට අයත් ඉඩම් විශාල වශයෙන් මේ ප්‍රදේශයේ තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායිකා අචිනි ලොකුබණ්ඩාර, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණි ඉලංගසිංහ මහත්ම මහත්මීන් ෙමහිදී අදහස් දැක්වීය.

මේ අවස්ථාවට වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය, ද එක්වූවාය.
« PREV
NEXT »