BREAKING NEWS
latest

728x90

468x60

Saturday, September 30, 2017

පරිපූර්ණ සුන්දර ළමා වියක් අත්කරදීම රජයේ අපේක්ෂාවයි - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

පරිපූර්ණ සුන්දර ළමා වියක් අත්කරදීම රජයේ අපේක්ෂාවයි 
- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

රටේ සමාජ ආර්ථික හෝ දේශපාලන ගැටලුවලින් පීඩා නොපැමිණෙන පරිපූර්ණ සුන්දර ළමා වියක් මෙරටේ සියලු දරුවන්ට අත්කරදීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

එබැවින් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරමින්ද දරුවන්ගේ සෞඛ්‍ය පෝෂණය හා මානසික අවශ්‍යතා සපිරීමට රජය පියවර ගෙන ඇති බවද එම පණිවිඩයේ සඳහන් වෙයි. එම පණිවිඩය මෙසේය.

ළමා විය යනු දැනුම රැස්කරන අවධියයි. ඒ අර්ථයෙන් දීර්ඝ ළමාවියක් සහිත මිනිස් දරුවා ඒ දිගු ළමාවිය පුරා රැස්කරනුයේ අනාගත මිනිස් විශ්වයෙහි ප්‍රභාවයි. කුතුහලයෙන් ඇවිළුණු දෑසින් ද විස්මයෙන් අයාගත් මුවින් ද යුතුව විශ්වයේ අරුමැසි රටා වියමන් වටහාගන්නා දරුවන්ට නිදහසේ දැනුම රැස්කර ගැනීමටත් පරිකල්පනයටත් ආශ්වාදයටත් ඉඩකඩ සකසාදීම වැඩිහිටි අපගේ වගකීමයි.

තම දරුවන්ට තමන් අත්විඳි ජීවිතයට වඩා සාරවත් හා පරිපූර්ණ ජීවිතයක් ලබාදීම සෑම වැඩිහිටියෙකුගේම අපේක්ෂාවයි. රජයක් ලෙස අපගේ අපේක්ෂාව වන්නේ ද රටේ සමාජ ආර්ථික හෝ දේශපාලන ගැටලුවලින් පීඩා නොපැමිණෙන පරිපූර්ණ සුන්දර ළමාවියක් රටේ සියලු දරුවන්ට අත්කරදීමයි.

පාසල් අධ්‍යාපනය අනිවාර්යය කරමින්ද දරුවන්ගේ සෞඛ්‍ය පෝෂණය හා මානසික අවශ්‍යතා සපිරීමට ද රජයක් ලෙස අප ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නේ එබැවිනි.

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව යමින් ළමයින්ගේ යහ වර්ධනයට එරෙහිව පවත්නා සියලු බාධාවන් මුළුමනින්ම ඉවත් කිරීම අපගේ අපේක්ෂාව ද වගකීම ද වන අතර ඒ වෙනුවෙන් සමස්ත සමාජයේ අවධානය ද සාමූහිකත්වය ද දිනා ගැනීමට අදට යෙදෙන ලෝක ළමා දිනය කදිම නිමිත්තක් වනු ඇත.

ලෝක ළමා දින ජාතික උත්සවය වෙත මාගේ සුබපැතුම් පළ කරන අතර දරුවන් වෙත සොඳුරු ලොවක් සැකසීම වෙනුවෙන් ගැනෙන සියලු උත්සාහයන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.


දරුවන්ගේ සුරක්ෂිත බව ගැන අවධානය කාලීන අවශ්‍යතාවක්
- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා


දරුවන්ගේ සුරක්ෂිත බව සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමු කිරීම කාලීනව ඉතා වැදගත් බ ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ ජාත්‍යන්තර ළමා දින පණිවිඩයේ සඳහන් වෙයි. එම පණිවිඩයේ මෙසේද සඳහන් වෙයි.

ළමා ලොව පිළිබඳව වඩාත් අවබෝධයෙන් දරුවන්ගේ සුරක්ෂිත බව සම්බන්ධව වඩ වඩාත් අවධානය යොමු කිරීම කාලීනව ඉතා වැදගත්ය. ‍ළමා මනස තේරුම් ගනිමින් ඔවුන්‍ට ආදරණීයව සලකමින් බාහිර සමාජයෙන් මෙන්ම පවුලෙන් එල්ල වන විවිධ පිඩා හමුවේ නිසි රැකවරණය ලබාදෙමින් ජීවිත අභියෝගයන්ට මුහුණ දෙන්නට දරුවන් ශක්තිමත් කරමින් අපි ඔවුන් රැක බලා ගත යුතු වෙමු.

'මාපිය වැඩිහිටි සෙනෙහස රඳවමු - සොඳුරු ලොවක් වෙත දරුවන් කැඳවමු' මෙවර ලෝක ළමා දින තේමාව සමස්ත සමාජයට ඇරයුම් කරන්නේ ළමා ලොව සුරක්ෂිත කිරීමේ ඒ මහඟු කාර්යභාරය වෙනුවෙනි.

දරුවා සියලු ආකාරයේ ආපදා හා අපයෝජනවලින් මුදාගැනීම උදෙසා මවුපිය වැඩිහිටි අප සැම මහත් වගකීමෙන් කටයුතු කළ යුතු වෙමු. රජය ජනමාධ්‍ය ආගමික නායකයින් හා ප්‍රජාව යනාදී සෑම පාර්ශ්වයක්ම එම වගකීමේ හා වගවීමේ කොටස්කරුවන් බැව් සඳහන් කළ යුතුමය.

ළමා වියේ ආදරණීය බව නිර්මල අහිංසකත්වය නිර්මාණශීලීත්වය අගයමින් දරුවන්ගේ දියුණුවට අතදෙමින් නිවැරදි මඟ පෙන්වමින් යහපත් හෙට දවසක් කරා ඔවුන් රැගෙන යන්නට මෙවර ලෝක ළමා දිනය පන්නරයක් වේවායි ඉත සිතින් සුබ පතමි.


රටේ අනාගතය මනාව කළමනාකරණය කළ දරු පරපුරක් අතේ
- ළමා හා කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය


රටක ජාතියක අනාගතය ගොඩනැඟෙන්නේ මනාව කළමනාකරණය කරන ලද දරු පුරකන් බවින් දරුවන්ගේ ආරක්ෂාව හා සෙනෙහස ලබාදීම වැඩිහිටියන්ගේ වගකීම බව ළමා හා කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් නිකුත් කළ පණිවිඩයේ සඳහන් වෙයි.

වර්තමාන සංකීර්ණ සමාජ රටාව තුළ දරුවන් අපේක්ෂා කරන සෙනෙහස රැකවරණය වැඩිහිටියන් වෙතින් ගිලිහී යෑමෙන් දරුවන් හා වැඩිහිටියන් අතර විශාල පරතරයක් ගොඩනැඟෙන බවද පෙන්වා දෙන ඇමැතිනිය සිය පණිවිඩයේ මෙසේද සඳහන් කරයි. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වශයෙන් යොදා ගෙන තිබෙන 'මා පිය වැඩිහිටි සෙනෙහස රඳවමු - සොඳුරු ලොවක් වෙත දරුවන් කැඳවමු' යන්නයි. රට දැය සතුව තිබෙන අගනාම සම්පත වූ කලී අපගේ දරුවෝය. එම නිසා දරුවන් යනු මනාව සුරැකිය යුතු වටිනාම මානව සම්පතකි. රටක ජාතියක අනාගතය ගොඩනැඟෙන්නේ මනාව කළමනාකරණය කරන ලද දරු සම්පත මඟින් බව මගේ විශ්වාසයයි.

වර්තමාන සංකීර්ණ සමාජ ධාරාව තුළ දරුවන් රැක බලා ගැනීමේදී මා පියන් ඇතුළු වැඩිහිටි සෙනෙහස ලබාදීම අතිශයින් වැදගත් වේ. නමුත් මෙම සංකීර්ණ සමාජ රටාව තුළ දරුවෝ අපේක්ෂා කරන සෙනෙහස ආරක්ෂාව වැඩිහිටි පරපුරෙන් ගිලිහී යාම නිසා දරුවන් හා වැඩිහිටියන් අතර විශාල පරස්පරයක් ගොඩනැඟෙමින් පවතී. එය සමාජ පැවැත්ම සඳහා විශාල බාධකයක් බව මගේ හැඟීමයි.
« PREV
NEXT »