BREAKING NEWS
latest

728x90

468x60

Thursday, September 21, 2017

එදා හරිමඟ පෙන්නුවා නම් අද පිණ්ඩපාතේ වඩින්න වෙන්නෙ නෑ

සුදු රෙදි නඩුවෙහි චූදිතයන්ට නියම වූ දඩ මුදල් ගෙවීම සඳහා ඇතැම් භික්ෂුන් වහන්සේ පිණ්ඩාපාතයෙහි යෙදීම බෞද්ධ සමාජයේ මහත් ආන්දෝලනයකට හේතු වී තිබේ. පිණ්ඩපාතය යනු කුමක් ද? එය කළ යුත්තේ කෙසේ ද? නිතිය ඉදිරියේ වරදකරුවන් වූවන් ගලවා ගැනීමට කරන පිණ්ඩපාතය කිරීම හොඳද නරකද? බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඒ පිළිබඳ මෙසේ අදහස් දක්වති.

වස්සාන සමයේ පිණ්ඩපාතයේ වැඩිම පිළිබඳ බෞද්ධ ජන සමාජයේ ප්‍රතිරෝධයට ඔබ වහන්සේ දක්වන මතය කවරක් ද?

පළමු කාරණය තමයි භික්ෂූන් වහන්සේලා එක් එක් අවස්ථාවලදී විවිධ අරමුණු පදනම් කරගෙන වැඩ තේරීම. එවන් අවස්ථාවක සංඝයා වහන්සේලා පිණ්ඩපාතයේ වැඩම් වන්නේ වස්සාන කාලයේ දී ද, නැතිනම් වෙනත් කාලයකදී ද යන්න තීරණය කර සම්මුතියකට පැමිණෙන්නේ පොහොය ගෙවල් තුළ දී යි. ස්වාමීන් වහන්සේලාගේ විනය ගැනත් තවත් නොයෙකුත් කාරණා ගැනත් කතා කරන්නේ පොහොය ගේ තුළයි. නමුත්, බැලූ බැල්මට පේනවා අපේ සංඝයා වහන්සේලා පසුගියදා පිණ්ඩපාතයේ වැඩම්වලා තියෙන්නේ සිල් රෙදි නඩුවෙන් වරදකරුවන් වූ අයට පැන වූ දඩය පියවා ගැනීමට අවශ්‍ය මුදල් එකතු කර ගන්න කියලා. එය කිසිසේත් අනුමත කළ නොහැකියි, වගේම එය කිසිසේත් නොකළ යුත්තක්.

මෙරට බෞද්ධ සමාජය තුළ ඉහළ පිළිගැනීමක් ඇති සංඝයා වහන්සේලා තමයි පිණ්ඩපාතයේ වැඩම වූයේ. උන්වහන්සේලාගේ අරමුණ ඔබ වහන්සේ දකින්නේ කොහොම ද?

අපි ආදරය කරන, ගරු කරන, රටට ආදරය කරන, රටේ ජනප්‍රිය විචිත්‍ර ධර්ම කථික ආදි ස්වාමීන්වහන්සේලා මෙතැන ඉන්නවා. උන්වහන්සේලාගේ අරමුණ හොඳ අරමුණක් වෙන්න පුළුවන්. එහි දී මේ රාජ්‍ය නිලධාරින් හොරකම් නොකරපු අය යැයි නිගමනය කරලා ඔවුන් වෙනුවෙන් යහපත් චේතනාවකින් වෙන්නැති මේ හාමුදුරුවන් මේක කරන්න ඇත්තේ. නමුත් උන්වහන්සේලාගේ අරමුණ වෙනුවෙන් ගත්තු ක්‍රියාමාර්ගය වැරැදියි. මේ සිද්ධියට බෞද්ධ සමාජය තුළ විශාල විරෝධයක් මතු වෙලා තියෙනවා. ඒ ප්‍රතිරෝධය කළමනාකරණය කරලා ඒ පිළිබඳ පශ්චාත්තාපයට ලක් නොවී, වැරැදි තීරණයක් අරගෙන පිණ්ඩපාත චාරිකාවේ යන්න තීරණය කළා නම් ඒක වැරැදි තීරණයක් ලෙස සලකලා වැරැද්ද නිවැරැදි කළ යුතුයි. එහෙම නැතිව ඒකට අරුත් නිරුත් දෙන්න ගිහින් තව තවත් බෞද්ධ සමාජය කැලඹීමකට පත් කරගත යුතු නැහැ.

බුද්ධ දේශනාව පරිදි පිණ්ඩපාත චාරිකාවේ වඩින ස්වාමීන්වහන්සේලාට මුදල් පිරිනැමීම අකැප දෙයක් කියලයි බොහෝ දෙනෙක් පෙන්වා දෙන්නේ?

එහෙම දෙයක් නෑ, මොකද අපේ රටේ වෙනත් සංසිද්ධිවලදී, සුනාමි අවස්ථාවලදී, නායයාම් අවස්ථාවලදී, ගංවතුර අවස්ථාවලදී පිණ්ඩපාතේ යන්න පාරට බැස්සාම ඇතැම් ගිහියන් ආහාර පූජා කරනවා වගේම, සමහරු මුදල් පූජා කරනවා. ඒ නිසා ඒ ගැන තර්කයක් නැහැ. නමුත් මෙතැන සිල් රෙදි නඩුවේ කතාවට පාත්තරේ අතට ගැනීම, අනෙක් කාරණා සමඟ සන්සන්දනය කරන්න බෑ.

මේ රටේ දේශපාලනඥයන් තම අරමුණු වෙනුවෙන් සංඝයා වහන්සේලා පාරට බස්සනවා යැයි චෝදනාවක් එල්ල වෙනවා. ඒ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස මොකක් ද?

අද කොයි දේශපාලනඥයත් දූෂිතයි. මොන දේශපාලනඥයාද දූෂිත නැත්තේ. ඒ ආණ්ඩුත් එකයි, මේ ආණ්ඩුත් එකයි. කාගේ කාගේත් කෙරුවාවල් අපිට දැන් පේනවා. ඒ නිසා හාමුදුරුවරු බුදුහාමුදුරුවන් වෙනුවෙන් කඩේ යනවා මිසක්, මොනම දේශපාලකයකුටවත් අවනත වීමක් නෑ, කඩේ යෑමකුත් නෑ. ඒත් අපි ඔවුන්ගේ හොඳ අනුශාසකයන් බවට පත්විය යුතුයි. එතකොට තමයි ඒ දේශපාලකයන් පවා නිවැරැදි කර ගන්න පුළුවන් වෙන්නේ. දේශපාලකයන්ගේ එහෙයියන් බවට හාමුදුරුවරු පත් වුණොත්, ඔවුන් නිවැරැදි කරගන්න අපිට බෑ.

පාත්තරේ අතට අරන් මහපාරේ වැඩම වූ සංඝයා වහන්සේලාට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විරෝධයක් මතු වෙලා. ඒ වගේම තමයි බෞද්ධ මේ රට විනාශයට ඇද දාන්නෙත් සංඝයා වහන්සේලා කියන එක. ඔබ වහන්සේ මේ කාරණා දකින්නේ කොහොම ද?

විවිධ ආකාරයට අන්තර්ජාලයේ හෝ තම මාධ්‍ය තුළ පෑන, බස හසුරුවන්න පුළුවන්. ඒවට අපි කලබල විය යුතු නැහැ. මේ සිද්ධිය එක සිදුවීමක් පමණයි. එය නිවැරැදි කරගනිමු කියන තැන තමයි අපි ඉන්නේ. ඊට පස්සේ මේ ප්‍රශ්නේ මඟහැරිලා යයි. එකම දේ තමයි අපි මේ රටේ කිසිම දේශපාලනඥයෙකුගේ එහෙයියන් නොවීම. මේ රටේ ජනතාව තවමත් චීවරයට ගරු කරනවා, සලකනවා. ඒ සමාජ නායකත්වය තවමත් තියෙන්නේ හාමුදුරුවරු අතේ. එවැනි ගෞරවයක් හිමිවෙන චීවරය ගණිකා වෘත්තියේ යොදවනවා වගේ පහත් තැනට වැටුණොත් මහජනතාව අපි කියන දේ පිළිගන්නේ නෑ. ගිහියන් අතින් ඕනෑ තරම් වැරැදි වෙන්න පුළුවන්. ඒ අය ගිහියෝ, පෘතග්ජන ගිහියන් අතින් ගොඩක් වැරැදි විය හැකියි. ඒත් අපි ස්වාමීන්වහන්සේලා ලෙස ඊට වඩා හොඳින් සකස්විය යුතුයි. එදා මහින්ද රාජපක්ෂ මහත්තයාට කවුරුහරි ඡන්ද කාලයක් එනවා, මේ සිල් රෙදි බෙදන්න එපා කියලා උපදේශයක් දුන්න නම්, අද මේ නරක ප්‍රතිඵලය කාටවත් භුක්ති විඳින්න වෙන්නේ නෑ. එදා එතුමා වටේ හුරේ දාගෙන හිටපු එහෙයියෝ ටික අද මේක ලොකු අර්බුදයකට ලක් කරලා. අද ඉන්න පාලකයන්ටත්, ඔවුන් වටේත් මේ වගේ හිතෛෂීන් ඉන්නවා නම් ඒ අයටත් මේ සිද්ධිය හොඳ ආදර්ශයක් කර ගන්න පුළුවන්. අපි ඉන්න ඕන දේශපාලකයන්ට වඩා ගොඩක් උඩින්. අපි දේශපාලකයන්ට හරි දේ පමණයි පෙන්විය යුත්තේ, එහෙම නැතිව ඔවුන්ගේ වරදාන, වරප්‍රසාදවලට යට නොවිය යුතුයි.

අද බෞද්ධ සමාජය තුළ යම් කුතුහලයක් තියෙනවා, සංඝ සමාජය බිඳ වැටිලා බෞද්ධාගම ව්‍යසනයකට ලක් වෙයි කියලා?

සංඝ සමාජය විතරක් නෙමෙයි, මුළු සමාජ දේහයම අද කඩාගෙන වැටිලයි තියෙන්නේ. මුළු සමාජයම රෝගී වුණ සමාජයක්. එහෙම සමාජයක් යම් විදිහට හරි නිරෝගී කරන්න පුළුවන් හාමුදුරුවන්ට විතරයි. හාමුදුරුවරුත් රෝගීන් වුණොත් මේ තත්ත්වය ශීඝ්‍රයෙන් උඩුදුවනවා. මේ කාරණය හාමුදුරුවරුන්ට පමණක් බාර නොදී, අපි භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා කියන සතර ගොල්ලම එකතු වෙලා යම් සමාජ ශෝධනයකට ඉදිරි කාලය කැප කළ යුතුයි.

බුදු දහම පොතට පමණක් සීමා වෙලා කියලා සඳහන්, නූතන පරම්පරාවට ඒ ගැන තැකීමක් නෑ කියලා මතයක් තියෙනවා. ඔබ වහන්සේ ඒ ගැන පවසන්නේ කුමක්ද?

අපි තරුණයන්ගෙ පැත්තෙන් හොඳ පැතිකඩක් දකිනවා. ඔවුන් ධර්ම කරුණු ගැන පමණක් නොවෙයි, රට ජාතිය ගැන මෙන්ම වත්මනෙහි රටේ සිදුවන සියලු දේ සම්බන්ධයෙන්ද අවබෝධයෙන් ඉන්නවා. සමහර තැන්වලදී ආවේගශීලීව හැසිරෙන අයත් ඉන්නවා. මම හිතන්නේ අපේ පරම්පරාවේ වගකීම, අනෙක් ප්‍රශ්න පැත්තකට දාලා මේ සියලු පිරිස් එකතුකරගෙන සියලු ක්ෂේත්‍රයන්ගේ සංගායනාවක් සඳහා වැඩපිළිවෙළක් සැකසීමයි. අපේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නෙත් ඒකයි.

මේ රටේ බෞද්ධ භික්ෂූවහන්සේලා සිදුකරන අකැප කටයුතු සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයට මැදිහත් වෙන්න පුළුවන් ද?

මේ වරද අපේමයි. වැරැද්ද කරලා තියෙන්නෙත් අපිමයි. ඒ වරද නිවැරැදි කරගන්නෙ නැතිව ගිහියන්ට දොස් කියලා වැඩක් නෑ. අපි නිකායිකව, මූලස්ථාන වශයෙන් එක සංඝනායකත්වයක් යටතේ, එක ප්‍රතිපත්තියක ඉදලා කිව්වොත්, බුද්ධ ශාසන අමාත්‍යාංශයට හා අමාත්‍යවරයාට මෙන්න මේ ටික සකස් විය යුතුයි, මේ කාරණාවලට ප්‍රමුඛතාවය දීලා ඒ වැඩ කරන්න කියලා, ඒ වැඩේ කරයි. අද වෙලා තියෙන්නේ, බුද්ධ ශාසන අමාත්‍යවරයා කියන දේ අහගෙන ඉන්නවා මිසක් එතුමාට උපදෙස් දෙන්න කෙනෙක් නෑ. අමාත්‍යවරයාගේ ගෝලයෝ බවට හාමුදුරුවරු පත් වුණොත් ඔහුට උපදෙස් දෙන්න හාමුදුරුවන්ට බෑ. ඒ නිසා අතීත වැරැදි හදාගෙන වඩා හොඳ හෙටක් නිර්මාණය කරන්න අපි සංවිධානගත විය යුතුයි.

දුමින්ද අලුත්ගෙදර
« PREV
NEXT »