BREAKING NEWS
latest

728x90

468x60

Sunday, September 10, 2017

ජනාධිපති ලේකම් කාර්යාලයේ ටෙන්ඩර් හොරෙක්

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ටෙන්ඩර් කැඳවා නියමිත ක්‍රියාපටිපාටිය අනුව ප්‍රදානය කළ ටෙන්ඩරයක් නියමිත සුදුසුකම් සපුරා නැති ව්‍යාපාරිකයකුට ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියකු ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා වෙත බලපෑම් කර ඇත.

සීතාවක තල්දුව පාලම අසල (ගැටහැත්ත ඔය) වම් පැති බැම්ම ඉකුත් ගංවතුර සමයේ විනාශ වීම නිසා එහි පැති බැම්ම ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේ ඉකුත් ජුලි මාසයේය.

පැති බැම්ම ඉදිකිරීම සඳහා ගැඹුරට කැණීම් කිරීමේදී මැණික් ඉල්ලම් හමු වුවහොත් වෙන්දේසි වටිනාකමෙන් 40%ක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියටත් 10% ආශ්‍රිත ප්‍රදේශවල සමෘද්ධි ලාභීන්ගේ සුබසාධනය සඳහාත් ඉතිරි 50% ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ව්‍යාපාරිකයාටත් හිමි න බවට මූලික කොන්දේසියක් තිබිණි.

රුපියල් කෝටි 2 1/2ක ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ටෙන්ඩරය ලබා ගත් තැනැත්තා අධිකාරියේ රුපියල් කෝටියක මුදලක් තැන්පත් කළ යුතු බවට ද තවත් කොන්දේසියක් තිබිණි.

පැති බැම්ම ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ටෙන්ඩර් පත්‍ර යොමු කර තිබූ අතර එක් ව්‍යාපාරිකයකු රුපියල් ලක්ෂ 56කට එම ව්‍යාපෘතිය ඉල්ලුම් කර ඇත. අනෙක් තැනැත්තා ඉල්ලුම් කර තිබුණේ රුපියල් එක්කෝටි පනස් හය ලක්ෂයකටය.

ටෙන්ඩරය වැඩිම ඉල්ලුම්කරුවාට :

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව වැඩිම ඉල්ලුම් කරුවාට ටෙන්ඩරය ප්‍රදානය කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පියවර ගෙන තිබිණි.

ඒ අනුව පැති බැම්ම ඉදිකිරීම සඳහා රුපියල් එක්කෝටි පනස්හය ලක්ෂයකට ව්‍යාපෘතිය ඉල්ලුම් කළ ව්‍යාපාරිකයාට ටෙන්ඩරය ප්‍රදානය කර ඇත.

තතු මෙසේ තිබිය දී මෙම ටෙන්ඩරය ලබා ගැනීමට අපොහොසත් වූ රුපියල් ලක්ෂ පනස් හයකට ටෙන්ඩරය ඉල්ලු පුද්ගලයා පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයකු හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට බලපෑම් කර එම කාර්යාලයේ පෞද්ගලික ලේකම්වරයකු මඟින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට දිගින් දිගටම ටෙන්ඩරය අවලංගු කරන ලෙස ලිපි එවීමට පටන්ගෙන තිබේ.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලේකම්වරයකු මැණික් අධිකාරියට කරන ලද බලපෑම් සම්බන්ධයෙන් ටෙන්ඩරය ලබා ගත් ව්‍යාපාරිකයා ජනාධිපතිවරයාට දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කර රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය නොවන ලෙස සුදුසුකම් සපුරා ඇති ව්‍යාපාරිකයාටම එම ටෙන්ඩරය ප්‍රදානය කරන ලෙස ජනාධිපතිවරයා මැණික් අධිකාරියට උපදෙස් දී ඇතැයි දැනගන්නට ඇත.

(දයා නෙත්තසිංහ)
« PREV
NEXT »