BREAKING NEWS
latest

728x90

468x60

Friday, September 29, 2017

තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන්න රජය ඇපකැප වෙනවා - මංගල

තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමට රජය ඇපකැප වන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.

වසර 2025 පොහොසත් රටක් බිහි කිරීමේ රජයේ දැක්ම මෑතකදී ඉදිරිපත් කළ බවත්, එහි පවා මේ ගැන සඳහන් කිරීමෙන් පැහැදිලි වන්නේ ඊට රජයේ පවතින උනන්දුව හා දැඩි උවමනාව බවත් මංගල සමරවීර මහතා කීය.

ජාත්‍යන්තර තොරතුරු දැන ගැනීමේ දිනය වූ ඊයේ (28) කොළඹ පැවැති ප්‍රධාන සැමරුම් උත්සවයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

කොළඹ 06, වැල්ලවත්ත ග්ලෝබල් ටවර් හිදි පැවැති මේ උත්සවය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබුණි.

සිවිල් ආරක්ෂක බලකායේ නර්තන කණ්ඩායම විචිත්‍ර නර්තනයක් ඉදිරිපත් කළ අතර, රජයේ චිත්‍රපට අංශය සකස් කළ කෙටි වාර්තා චිත්‍රපට කිහිපයක්ද මෙහිදී ප්‍රදර්ශන කැරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා මෙසේද කීය.

අද ලෝකය පුරා ජාතික තොරුතුරු දැනගැනීමේ අයිතිවාසිකම් දිනය සැමරෙන බව අපි කවුරුත් දන්නවා. ඇත්තෙන්ම ලෝකයේ අනෙකුත් දියුණු රටවල් තොරතුරු දැනගැනීම මහජන අයිතිවාසිකමක් ලෙස පිළිඅරගෙන නීතිගත කරලා විශාල කාලයක් ගතවී තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් ස්වීඩනය අවුරුදු දෙසීයකට කලින් පොදු ආයතනවලින් මහජනයා තොරතුරු දැනගැනීම පිළිඅරන් තියෙනවා. අපි ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇති කරලා 1948 මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනය නිකුත් කළා. ඒකේ ‘ආටිකල් 19’ විදියට කවුරුත් දන්න වගන්තිය වෙන්වෙලා තියෙන්නේ සෑම කෙනකුටම යම් මතයක් දැරීමට එසේම එය ප්‍රකාශ කිරීමට වගේම තොරතුරු ඉල්ලා සිටීමට ලබාගැනීමට ඇති අයිතියයි.

ඒ වගේම මාධ්‍යවලින් අදහස් උකහා ගැනීමට ඇති පුද්ගල අයිතිය ඒ විශ්ව ප්‍රකාශනය පිළිගෙන තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම (ICCPR) දැනට රටවල් 160කට අධික ප්‍රමාණයක් එය පිළිඅරගෙන තියෙනවා. මේ ජාත්‍යන්තර නීති සහ ප්‍රකාශන දශක ගණනාවකට ඉස්සර එළිදක්වා ඇතත්, ඒවායේ ඇති තොරතුරු සහ අදහස් මිනිස් සමාජය පුරා නිදහසේ පැතිර යාමේ සංකල්පය ගැබ්වෙලා තියෙනවා.

තවදුරටත් තොරතුරු දැනගැනීම පිළිබඳ ඇති වටිනාකමට අවධානය යොමු කළොත් අපිට පුළුවන් ලෝකය පිළිගත් විද්වතුන්, ඒ වගේම නීති විශාරදයන් ඒ ගැන දක්වලා තියෙන අදහස්වල ස්වරූපය ගැන දැකගන්න.

නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය ජෝශප් ස්ටිග්ලිට්ස් (Joseph stiglitz) කියනවා තොරතුරු දැනගැනීමට ජනතාවට නැති නිලධාරීන්ට පමණක් ඇති අසමාන හැකියාව නිසා “පුරවැසියන්ට අවශ්‍ය නොවන එහෙත් තමන්ට පමණක් අවශ්‍ය වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට ඉඩකඩ සලසා දෙයි. තොරතුරු සහ ඒවා බෙදාහැරීම පිළිබඳ නීතිරීති දියුණු කිරීම තුළින් නිලධාරීන් අතින් සිදු විය හැකි තොරතුරු අවභාවිතය අවම කළ හැක” කියල.

ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුළ ජනතාව වෙත රාජ්‍ය තන්ත්‍රයේ ඇති වගකීම සහ යහපාලන මූලධර්ම වඩා හොඳින් ඉස්මතු වෙනවා. මේ තත්ත්වය තේරුම් අරන් තමයි අපි 2015 ජනවාරි, ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට දින 100 වැඩපිළිවෙළ යටතේ ඒ වගේම අගෝස්තු මහ මැතිවරණයේ දී මාස 60කින් අලුත් රටක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කරන බව අපි සඳහන් කළා. ඒ ලබාදුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ කරමින් අපිට විවිධ අභියෝගවලට මුහුණදෙමින් වුවත් පසුගිය වසරේ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත නීතිමය ලියවිල්ලක් ලෙස ඉදිරිපත් කරන්නට හැකි වුණා. ඒ වගේම අපි 1978 වර්ෂයෙන් පස්සේ පළමු වතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතියක් ලෙසට ඇතුළත් කළා.

මං හිතන්නෙ අද වෙනකොට මහජනතාවට මේ පනතේ ඇති වැදගත්කම දැනෙන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නෙ අපේ රජයේ මූලික පදනම විදියට ඇතිකර ගත්තු ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය පෙරටුකොට ගත්ත ජනතා මූලික පාලන අරමුණු ඉටුවෙමින් පවතිනවා. අර අවුරුදු ගාණක් තමන්ගේ පුතාට අත්වෙච්ච අකල් මරණය ගැන හිත හිත හිටපු කටුනායක රොෂෙන් චානක වෙළෙඳ කලාප සේවකයාගේ මවට මේ පනත යටතේ සිදු කළ ඉල්ලීමක් නිසා එළියට නොදා තිබුණු ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් ලබාගන්න හැකිවුණා. ඇත්තටම 2011 සිද්ධවෙච්ච මේ මරණය පිළිබඳ වාර්තාව ඒ කොමිෂන් සභාව ඒ වර්ෂයේ දීම හිටපු ජනාධිපතිවරයාට ලබා දී තිබුණා. තවත් එවැනි උදාහරණ ගණනාවක් තියෙනවා. කන්තලේ ගොවි මහත්තයෙක් මෙතෙක් කල් ගෙදරට නොලැබුණු තැපැල් ලියුම් තොරතුරු ඉල්ලුම්පතක් ඉදිරිපත් කරලා තමන්ට සාධාරණය ඉෂ්ඨ කරගත්තා.පානම පළාත ගත්තොත් ඉඩම් පිළිබඳ ප්‍රශ්න තිබුණු ඒ ප්‍රදේශයේ ජනතාව රජයේ ආයතනවලින් මේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ දැන් නීතිමය ආකාරයකට තමන්ට අවශ්‍ය විස්තර ලබාගන්නවා.

තොරතුරු දැනගැනීමේ පනත හඳුන්වල දීලා වසරකට වැඩි කාලයක් ගතවෙන මේ මොහොතේ අපි මේ වැඩමුළුව පවත්වන්නේ තව තවත් ජනතාව සම්බන්ධ කරගනිමින් ඒ වගේම විවිධ සමාජ කණ්ඩායම්වලට, නිලධාරීන්ට, වගේම පාලනයේ අනිත් කොටස්කරුවන්ට පනත සම්බන්ධයෙන් ප්‍රායෝගික අවබෝධය වැඩි කරන්නයි.

මේ පනතේ තියෙන විශේෂත්වය තමයි - මං හිතන්නේ ඒක මුළු ලෝකෙටම අදාළ දෙයක් - තොරතුරු ලබාදීමේ දී යම් යම් අත්‍යාවශ්‍ය විෂයයන් සම්බන්ධයෙන් සීමා පැනවීමක් සිදුකරන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුගේ පුද්ගලිකත්වය අනවසරයෙන් ආක්‍රමණය නොකරන විදියට පනත ක්‍රියාත්මක වෙනවා. අනිත් එක තමයි රටේ පාලනයට අදාළ මූලික නීතිරීතින් සහ සංවේදී කරුණු පිළිබඳව පනතේ 5 වෙනි වගන්තිය වෙන්කරලා තියෙනවා. ඒත් ඒකකම හැබැයි නීතිමය පදනමක් මත තොරතුරු ලබාදීමක් ප්‍රතික්ෂේප වුණොත් ඒ ගැන අභියාචනා කිරීමට අවස්ථාවක් පනතින් ලබාදීලා තියෙනවා.

සමහරුන්ගේ මතයක් තියෙනවා නීතිමය තත්ත්වයන් තුළ රජයේ සේවකයන් කටයුතු කිරීමේ දී ඔවුන් අධෛර්යයට පත්වෙනවා. ඒ වගේම ඔවුන් නීතියට බිය වෙලා වැඩ නොකර ඉන්නවා කියලා. ඇත්තටම ඒක පිළිගන්න පුළුවන් තර්කයක් නෙමෙයි. මොකද අපි දිගටම නිලධාරීන් පුහුණු කිරීම සිදු කරනවා. ඒ වගේම ඔවුන්ට නීතිරීති නොකඩා එහෙත් උපරිම කාර්යක්ෂමතාවයෙන් මහජන සේවය ලබාදෙන්න ඔවුන්ව උනන්දු කරනවා.

මේ පනත ගත්තොත් මේ වෙනකොට රාජ්‍ය ආයතනවලින් තොරතුරු නිලධාරීන් 3000ක් පමණ පත්කරලා තියෙනවා. ඊට අමතරව තවත් 500ක් විතර මේ විෂය සම්බන්ධයෙන් කටයුතු කරනවා. අපි දැනටමත් පළාත් වැඩමුළු 9ක් පවත්වලා තියෙනවා. ඒ වගේම අමාත්‍යාංශවලට සම්පත්දායකයින් ලබාදීලා තියෙනවා.

මේ මාසේ විතරක් අමාත්‍යාංශ 21ක් ආවරණය වන පරිදි පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් දෙකක් පවත්වලා තියෙනවා. මාධ්‍යවේදීන් 700ක් පමණ දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම මේ මාසේ දී මාණ්ඩලික නිලධාරීන් 61 දෙනෙකුට සේවාසික පුහුණුව ලබා දී තියෙනවා.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා

2016 අංක 12 දරන තොරතුරු අයිතිවාසිකම් පනත සමාජගත කිරීමේ උත්සාහයකයි අපි මේ නිරතව සිටින්නේ. අපේ රටේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් මහජනයා සතු කිරීමේ කාර්යයට සැලකියයුතු ඉතිහාසයක් තිබෙනවා. ඒ සඳහා විවිධි බුද්ධිමතුන්, නීතිඥයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙන්ම විවිධ සංවිධාන කලක් තිස්සේ කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස වසර 2016 දී මෙම පනත ගෙන ඒමට හැකිවුණා. අපට පෙර රටවල් 110ක් තොරතුරු පනත් නීතිගත කර තිබෙනවා. තොරතුරු පන‍තක් ගෙන ආ 111 වැනි රට වශයෙන් අපේ රටේ ඉතාම ඉක්මනින් මේ පනත ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීමට අපට හැකි වී තිබෙනවා.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර මහත්මිය. අද අපේ රටේ සියලු පුරවැසියන්ට ඉහළ වටිනාකමක් තිබෙන දවසක්. අපේ රටේ පුරවැසියන් බල ගැන්වෙන පනතක් ‍තමයි තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතින් ක්‍රියාවට නැංවුනේ. අපි මේ පනතට අනුව තොරතුරු ලබාදීමේ සංස්කෘතියක් බිහි කිරීමට පියවර ගන්න ඕනෑ යැයි කීවාය.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනයන් හි අත්දැකීම් පිළිබඳ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාලා බස්නායක, අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් සහ ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් ්රණසිංහ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සැසි වාරයක් මෙහිදී පැවැත්විණි.

ප්‍රතිලාභීන්ගේ අත්දැකීම් ඇසුරින් පැෆරල් සංවිධානයේ සූජීව ගයනාත්, බ්‍රිටෝ ප්‍රනාන්දු සහ රොෂේන් චානකගේ මව ස්වර්ණා කාන්ති මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සැසිවාරයක්ද මෙහිදී පැවති අතර මාධ්‍ය පර්යේෂකයකු වන නාලක ගුණවර්ධන මහතා මෙය මෙහෙයවීය.

දිනමිණ

« PREV
NEXT »