BREAKING NEWS
latest

728x90

468x60

Friday, October 06, 2017

පරම්පරා දෙකකට රාජපක්ෂ උරුම කළ ණය ගැටලුව 2025 දී විසඳනවා

ආණ්ඩුව සම්බන්ධව සතුටක් සහ අසතුටක් යන කරුණු දෙකම ජනතාව අතර තිබෙන බව අප දන්නවා. නමුත් අවබෝධ කර ගත යුතු කරුණ වන්නේ බලයට පත්වී මේ තරම් කෙටි කාලයක් තුළ සියලු දේට පිළියම් ලබා දිය නොහැකි බවයි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අපේ රටේ ඉදිරි පරම්පරා දෙකක් දක්වාම බර දැරීමට සිදුවන ලෙස ලබා ගත් ණය ගැටලුව 2025 වන විට සම්පූර්ණයෙන් විසඳන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

රජයේ අවුරුදු 5ක නිල කාල සීමාවේ පළමු වසර 02 තුළ ආර්ථිකය ශක්තිමත් කර ගත් බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා ඉදිරි අවුරුදු 3 තුළ රට සංවර්ධනය කරමින් රැකී රක්ෂා ලබාදීමේ අවස්ථාවට පැමිණ ඇති බව අවධාරණය කළේය.
ගෙවුණු වසර දෙක තුළ රජය මහජනතාව වෙනුවෙන් ලබා දුන් සහන සහ සිදු කර ඇති සංවර්ධනය පිළිබඳ මතක් කර දුන් අගමැතිවරයා ඉදිරි වසර තුන තුළ දී සිදු කිරීමට යන සංවර්ධන වැඩ පිළිවෙළ පිළිබඳ සිය පාක්ෂිකයන් දැනුවත් කළේය.

හිඟුරක්ගොඩ, ගෝල්ඩන් ‍ෆ්ලවර් හෝටලයේ දී පසුගිය 01 දින පැවැති එක්සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරීන් හමුවීම අමතමින් එක්සත් ජාතික පක්‍ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

පසුගිය ජනාධිපතිවරණයේදීත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් පොළොන්නරුව ජයග්‍රහනය කිරීමට අපට හැකි වුණා. ඒ අනුව එළැඹෙන ප්‍රාදේශීය සභා සහ පළාත් සභා මැතිවරණවල දී ද මේ දිස්ත්‍රික්කය අපට ජයග්‍රහනය කළ හැකියි.

මේ හමුවට සහභාගිවීම පිළිබඳ මම ඔබ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා. පොළොන්නරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන්දෙනාත්, ඔබේ සංවිධායක ඩොනල්ඩ් මහතාත් මීට පෙර අදහස් ප්‍රකාශ කළා. ඔවුන් සඳහන් කළ කරුණ පිළිබඳ මම නැවත දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ.

මා විශේෂයෙන්ම මෙහි පැමිණියේ ඉදිරියට අපි සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්දැයි යන්න පිළිබඳ ඔබව දැනුම්වත් කිරීම සඳහායි. රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැ‍ඟීම අපේ ප්‍රධාන කාර්යයයි. රටේ ආර්ථිකය සංවර්ධනය කරමින් රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් බිහි කළ යුතුයි. අපේ කාලසීමාව තුළ අපි ප්‍රධාන වශයෙන්ම කළ යුත්තේ එයයි.

ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසු අප භාර ගත්තේ ගිලෙමින් තිබූ ආර්ථිකයක්. තවත් අවුරුදු 2ක් ඉදිරියට ගියා නම් මහින්ද රාජපක්ෂ මහතාටත් රට ඉදිරියට ගෙන යාමට නොහැකි වනවා. ලැබෙන ආදායමින් රටේ ණය ගෙවා ගැනීමටවත් නොහැකි තත්ත්වයක සිටි ඔහුට තවත් අවුරුදු 2ක් දක්වා රට ඉදිරියට ගෙන යාමට හැකියාවක් තිබුණේ නැහැ. එම නිසා ආර්ථිකය කඩා වැටීමට පෙර ජනාධිපතිවරණය හරහා නැවත ජනාධිපති වී බලය රැක ගැනීමට ඔහු උත්සාහ කළා. අපි සියල්ලොත් ඒ වන විට බෙදී සිටියා.

නමුත් ඒ අවස්ථාවේ අපි එකට එක්වුණා. ප්‍රතිඵලය වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත්ව යාම සහ මේ පොළොන්නරුව ප්‍රදේශයේම ඇමැතිවරයෙක් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වී ජනාධිපති ධුරයට පත්ව, ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමයි.

මහින්ද රාජපක්ෂට මේ ආර්ථිකයත් ආණ්ඩුවත් ඉදිරියට ගෙන යාමට නොහැකි නම් අපටත් ආණ්ඩුවත්, රටේ ආර්ථිකයත් ඉදිරියට ගෙන යාමට නොහැකි වේ යැයි සුළු පිරිසක් පැවැසුවා. නමුත් අප පළමුවෙන්ම වැටී තිබූ ආර්ථිකය බේරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළා. ආර්ථිකය කඩා වැටුණොත් ජනතාවට ප්‍රතිලාභ ලබා දිය නොහැකියි. මේ නිසා ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති කිරීමට අප පළමු අවුරුදු 2 ගත කළා. දැන් ආර්ථිකය ස්ථාවර වී තිබෙනවා. ආදායම් බදු වැඩි කළා යැයි ඇතැමුන් අපට චෝදනා කළා. නමුත් මේ වන විට ලැබෙන ආදායමෙන් ණය ගෙවීමට හැකි වී තිබෙනවා. ඒ තුළින් ආණ්ඩුවේ සියලු වියදම් ගෙවීමට නොහැකියි. 2020 – 2025 වන විට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා පසුගිය වසර දෙකේ රටේ ආර්ථිකය ගොඩනැ‍ඟීමට විශාල කාර්යභාරයක් ඉටු කළා. 2018 සහ 2019 වර්ෂයන් ණය ගෙවීමේ බැරෑරුම් කාලයන් ලෙස හඳුන්වන්නට පුළුවන්. හිටපු ජනාධිපතිවරයා ණය ලබා ගත්තේ අපේ රටේ ඉදිරි පරම්පරා දෙකක් දක්වාම ණය බර දැරීමට සිදුවන ආකාරයටයි. නමුත් මේ ගැටලුව 2025 වන විට මේ සම්පූර්ණයෙන් විසඳීමට අපි සූදානම්.

ඒ නිසා මේ ගැටලුව විසඳන තුරු සෑම අවස්ථාවකදීම රටේ ජනතාවට බොරු කියන්න මම කැමති නෑ. බලය ලබා ගැනීමෙන් පසු අප ඉටු කළේ මොනවාදැයි ඇතැමුන් ප්‍රශ්න කරනවා. අපට රැකියා ලබා දෙනවා දැයි ඇතැමුන් ප්‍රශ්න කරනවා. අවුරුදු 5ක නිල කාල සීමාවේ පළමු වසර 02 තුළ අපි ආර්ථිකය ශක්තිමත් කර ගත්තා. ඉදිරි අවුරුදු 3 තුළ රට සංවර්ධනය කරමින් රැකී රක්ෂා ලබාදීමේ අවස්ථාවට දැන් පැමිණ තිබෙනවා. නමුත් පසුගිය වසර දෙක තුළදීත් අපේ ආණ්ඩුව රුපියල් දස දහසකින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කළා. රාජ්‍ය හා පුද්ගලික අංශයේ රැකියා අවස්ථා ලක්ෂ 4ක්ද ලබා දී තිබෙනවා. ලෝකයේ අනෙක් රටවල් අප හා සමීප කර ගැනීමට හැකි වුණා. චීනය, ජපානය, ඉන්දියාව වගේම යුරෝපය රුසියාව, අමෙරිකාව ආදී සියලු රටවල් දැන් අප සමඟ සිටිනවා. ඔවුන්ගේ ආයෝජන තුළින් සංවර්ධනය කරා යෑමට දැන් අපට පුළුවන්. පුද්ගලික ආයෝජන වෙනුවෙන් අපි එක් රාමුවක් ගොඩනැඟුවා. ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර, මහා පරිමාණ ව්‍යාපාර හා විදේශ ව්‍යාපාර ද මෙයට ඇතුළත් වෙනවා.

හම්බන්තොට වරාය සුදු අලියෙක් ලෙස හඳුන්වන්නට පුළුවන්. නමුත් අපි එයට මුදල් යොදවා සියලු දෙනාට ප්‍රතිලාභ ලබා දීමට ක්‍රියා කළා. එසේම, ගුවන් තොටුපොළ, වෙළෙඳ කලාප, LNG විදුලි බලාගාර, පිරිපහදු මධ්‍යස්ථාන හා කර්මාන්තශාලා සඳහා අපි විශාල ලෙස මුදල් යෙදෙවූවා. මේ වන විට කළුතර අක්කර 800ක් යොදා ගනිමින් සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා. වයඹ වෙළෙඳ කලාප 3ක් සහ මහනුවර හා පරන්තන් හි විශාල සංවර්ධන කටයුතු දැන් ආරම්භ කර තිබෙනවා.

ගාල්ල, මාතර, කුරුණෑගල, පුත්තලම හා මහනුවර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ද අපි දැන් වැඩ කටයුතු ආරම්භ කළා. ඒ වගේම කොළඹ නගරය රටේ මූල්‍ය මධ්‍යස්ථානය බවට පත් කරනවා. අපි පොළොන්නරුව අමතක කර නැහැ. සංස්කෘතික ත්‍රිකෝණය සහ සංචාරක කලාපයට පොළොන්නරුව ඇතුළත් කළ බව මම සතුටින් සඳහන් කරනවා. කෘෂි ආර්ථිකය පමණක් පොළොන්නරුවට ප්‍රමාණවත් වන්නේ නැහැ. සංචාරක ආර්ථිකයක් තුළින් පොළොන්නරුවට විශාල ප්‍රතිලාභ ලබා දීමට හැකි වෙනවා. මෙයට සමගාමීව නැ‍ඟෙනහිර කුච්චවේලි සිට ආරුගම්බේ දක්වා විශාල ප්‍රදේශයක වෙරළාසන්න සංචාරක හෝටල් පද්ධතියක් ගොඩනැ‍ඟීමට අපි සූදානම්. එය පොළොන්නරුවේ සංවර්ධනයට විශාල ලෙස බලපානවා. හබරණ ප්‍රදේශය ද දියුණු කළ යුතුයි.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම සඳහා හම්බන්තොට, කොළඹ ඇතුළු සියලු වරායන්ගෙන් ප්‍රයෝජන ලබා ගත යුතුයි. ඒ සඳහා ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම තෙල් ටැංකි සංවර්ධනය කිරීමට අපි ඉන්දියාව සමඟ සාකච්ඡා පවත්වනවා. පළමුවෙන් පොළොන්නරුවේ කර්මාන්ත ආරම්භ කර එය ත්‍රිකුණාමලය දක්වා ව්‍යාප්ත කරනවා.

පොළොන්නරුවේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සොයා බැලීමට සංචාරක අධිකාරියේ කණ්ඩායමක් යොමු කරන ලෙස මම දැනුම් දී තිබෙනවා. මේ ආකාරයට රට පුරාම සංවර්ධන කටයුතු සිදු කරනවා. කෘෂිකර්මය තුළින් පමණක් අප රට දියුණු කළ නොහැකි නිසා අනාගතය ගැන සිතමින් විවිධ කර්මාන්ත දෙසට අපි අවධානය යොමු කළ යුතුයි. පොළොන්නරුවේ තරුණ තරුණියන්ට රැකියා පුහුණුව ලබා දීමෙන් ඔවුන්ට පිට පළාත්වල ද රැකියාවල නිරත වීමේ අවස්ථාව ලැබෙනවා. ස්වයං රැකියා සඳහා ද අපි විශේෂ සැලැස්මක් හඳුන්වා දෙන බව මම කියන්න කැමතියි. මේ ප්‍රදේශයේ සංවර්ධනයට ස්වයං රැකියා අවස්ථා ඉතා වැදගත්.

කොළඹ ප්‍රදේශයේ ස්වයං රැකියා ආරම්භ කිරීම පහසු කාර්යයක් වුවත් මේ ප්‍රදේශය ස්වයං රැකියා ආරම්භ කිරීමට අපි විශේෂයෙන් ආධාර උපකාර කළ යුතුයි. රැකියා ලබාදීම, රැකියා සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීම, කාන්තාවන්ට ස්වයං රැකියා ලබාදීම ආදී සංවර්ධන වැඩ කටයුතු අප දැන් ආරම්භ කර තිබෙනවා. අප ඒවා ඉදිරියට ගෙන යා යුතුයි.

රටට බලපෑ නියඟය නිසා මේ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට හානි ඇති වුණා. ඉන් රටේ ආර්ථිකයට බලපෑමක් ඇති වුණා. නමුත් නියඟයෙන් අනතුරුව රටේ ආර්ථිකයත්, කෘෂිකර්මාන්තයත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. අනාගතයේ දී රටේ කෘෂි කර්මාන්තය දියුණු කිරීමට විශාල වැඩසටහනක් අප සතුව තිබෙනවා. අප එම සැලසුම සාර්ථකව ක්‍රියාවට නංවා ගත යුතුයි.

එක්සත් ජාතික පක්ෂය දැන් සිටින්නේ රටේ දේශපාලනයේ ඉහළම තලයේයි. එනම් අප දැන් ආණ්ඩු බලය ලබා ගෙන තිබෙනවා. නමුත් ඊට පහළින් තව කොටස් දෙකක් තිබෙනවා. එනම් බිම් මට්ටමේ ඇති ප්‍රාදේශීය සභාවත් මැද කොටස වන පළාත් සභාවත් ක්‍රියාත්මක වනවා. මම මීට පෙර පැවැසූ ආකාරයට කෘෂි කර්මාන්ත සංවර්ධනය සඳහා අප සතු ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් එම පළාත් සභාවලත්, ප්‍රාදේශීය සභාවලත් ජයග්‍රහනය ලබා ගත යුතුයි. එම කොටස් 02 ම මහ ආණ්ඩුව සමඟ එකට එකතු කර ගනිමින් ක්‍රියා කිරීම තුළින් අපට කෘෂිකර්මාන්තය වෙනුවෙන් දැනට ලැබෙනවාටත් වඩා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. එම ප්‍රතිඵල ඉදිරියේ දී භුක්ති විඳීමට නම් අපට ඇති එකම මාර්ගය පළාත් සභා සහ ප්‍රාදේශීය සභා ජයග්‍රහනය ලබා ගැනීමයි.

ප්‍රාදේශීය සභා ඡන්දය එළැඹෙන ජනවාරි මාසය පමණ වන විට පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව පළාත් සභා මැතිවරණය පවත්වනවා. ප්‍රාදේශීය සභා සහ පළාත් සභාවල බලය තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂයට හැකි වුවහොත් කෘෂිකර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් අපට ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකි වෙනවා. එම ජයග්‍රහන ලබා ගැනීම වෙනුවෙන් අප වෙහෙසිය යුතුයි. ප්‍රාදේශීය සහ පළාත් සභා ජයග්‍රහන කිරීම මගින් මහජනතාවට තවත් ආධාර උපකාර ලබාදීමට අපට හැකි වෙනවා. ප්‍රාදේශීය සභා පළාත් සභා ජයග්‍රහනය මගින් අප වැඩකටයුතු ආරම්භ කළ යුතුයි. ආණ්ඩුවේ ව්‍යුහය තුළ ඒවායේ බලය තහවුරු කර ගත යුතුයි.

අපි බලයට පැමිණ තවමත් ගතවී තිබෙන්නේ වසර 02යි. එම කෙටි කාලය තුළ අපට ඇතැම් අයගේ ඉල්ලීම් ඉටු කිරීමට හැකි වූ අතර, ඇතැම් අයගේ ඉල්ලීම් ඉටු කිරීමට හැකියාව ලැබුණේ නැහැ. ආණ්ඩුව සම්බන්ධව සතුටක් සහ අසතුටක් යන කරුණු දෙකම ජනතාව අතර තිබෙන බව අප දන්නවා. නමුත් අවබෝධ කර ගත යුතු කරුණ වන්නේ බලයට පත්වී මේ තරම් කෙටි කාලයක් තුළ සියලු දේට පිළියම් ලබා දිය නොහැකි බවයි. අප මේ රටේ බලය ලබා ගත්තේ රටේ ආර්ථිකය කඩා වැටී තිබූ අවස්ථාවකයි. රටේ ආර්ථිකය යම් තරමකින් හෝ යහපත් මට්ටමක පැවතුණා නම් අපට කෙසේ හෝ ඉදිරියට යාමට තිබුණා. නමුත් අපට මෙවර සිදු වූයේ කඩා වැටී තිබූ ආර්ථිකය නැවත ගොඩනැ‍ඟීමෙන් පසුව ඉදිරිය ගැන අවධානය යොමු කිරීමටයි.

ආර්ථිකය ගොඩගැනීමේ කාර්යය අප අත්හැරියා නම් අපට රටේ බලය අහිමි වී යනවා. කෙසේ හෝ ආර්ථිකය ගොඩගැනීමේ කාර්යය සාර්ථකව ඉටු කර ගැනීමට හැකි වූ නිසාත් සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව කටයුතු කළ නිසාත් දේශපාලන බලය තවමත් අප සතුව තිබෙනවා. දැන් අප කල්පනා කළ යුත්තේ ඉදිරි මැතිවරණයට සූදානම් විය යුතු ආකාරය පිළිබඳයි. අපේ මහලේකම්වරයා පැවැසූ ආකාරයට මෙහි සිටින බොහෝ පිරිසක් පක්‍ෂයට අපහසුම අවදියේ පක්‍ෂයත් සමඟ සිටි අයයි. ඉදිරියේ දී අප ඔවුන් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වනවා. මේ සියල්ල වඩාත්ම සාර්ථකව හා පහසුවෙන් සිදුකිරීමට නම් ප්‍රාදේශීය සභා හා නගර සභා අප සතු කර ගත යුතුයි.

ප්‍රාදේශීය සභා මට්ටමේ සහ පළාත් සභා මට්ටමේ ඇතැම් ප්‍රශ්න අපට තවමත් විසඳීමට නොහැකිවී තිබෙන්නේ ඒවායේ සම්පූර්ණ බලයක් අප සතුව නොමැති බැවිනුයි. අප මේ වන විට අවධානය යොමු කරමින් විසඳා ඇත්තේ ජාතික මට්ටමේ ගැටලු පමණයි. මුළු රටේම ප්‍රාදේශීය සභා ඡන්ද එක් දිනයක දී පවත්වන අලුත් ක්‍රමයකට අප දැන් සූදානම් වෙමින් සිටිනවා. එය ජනාධිපතිවරණය මෙන් එක් ඡන්දයක් නොවෙයි. මේ ප්‍රාදේශීය සභා මැතිවරණය කොට්ඨාස 5000 ක් තුළ පැවැත්විය යුතු වෙනවා. ප්‍රාදේශීය සභා මට්ටමේ ප්‍රශ්න විසඳා ගැනීමට නම් අපට එම මැතිවරණ 5000 ජයගත යුතු වෙනවා.

ඒ සියලුම මැතිවරණ කොට්ඨාසයක් වෙනුවෙන්ම එක්සත් ජාතික පක්‍ෂ කණ්ඩායමක් නිර්මාණය කර ගත යුතුයි. ජනාධිපතිවරණයේ දී හෝ පාර්ලිමේන්තු මැතිවරණයේ දී මෙන් ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ද අපේ පක්‍ෂය විසින් පිහිටුවා ගන්නා කණ්ඩායම මැතිවරණය වෙනුවෙන් කැපවී වැඩ කටයුතු කළ යුතුයි. නමුත් අප මැතිවරණය සඳහා එම කණ්ඩායම් නිර්මාණය කිරීම තවමත් අවසන් කර නැහැ. නොවැම්බර් මාසය වන විට එම වැඩකටයුතු අවසන් කිරීමට සියලු දෙනා පියවර ගත යුතුයි.

මැතිවරණය වෙනුවෙන් අපේක්‍ෂක ලැයිස්තු සකස් කිරීම සිරිකොත පක්‍ෂ කාර්යාලයේ දී සිදු කිරීමට අප තීරණය කර තිබෙන්නේ ජයග්‍රහනය කිරීමට නොහැකි අපේක්‍ෂකයන් තෝරා ගැනීමෙන් වැළැකීමටයි. ඒ සඳහා වන ඔබගේ යෝජනා අපට ඉදිරිපත් කළ හැකියි. යෝජනා අනුව සාකච්ඡා කර බලා අප මැතිවරණ අපේක්‍ෂක ලැයිස්තුව සකස් කරනවා. ඒ වගේම ප්‍රාදේශීය සභාව ජයග්‍රහනය කළ නොහැකි නම් එම ප්‍රදේශයේ සංවිධායක ධුරය දැරීමෙන් ද ඵලක් නැහැ. එසේ නම් අප ඉදිරියට යා යුත්තේ ජයග්‍රහනය ඉලක්ක කර ගනිමිනුයි.

ඉදිරියේ දී පළාත් සභා ද මේ ආකාරයට කොට්ඨාස ක්‍රමයට බෙදීමට කටයුතු කරමින් සිටිනවා. මේ සියලු පළාත් සභාවල බලය එක්සත් ජාතික පක්‍ෂය වෙත ලබා ගැනීමේ අරමුණින් ඔබ සියලු දෙනා කටයුතු කළ යුතුයි.

ඒ අනුව පළාත් සභා සහ ප්‍රාදේශීය සභා ඡන්ද සඳහා වෙන වෙනම තරග කරමු යැයි අප තීරණය කළා. නමුත් කෙසේ හෝ අප කළ යුත්තේ ජයග්‍රහනය ලබා ගැනීමයි. මැතිවරණය පැවැත්වෙන ඡන්ද ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන 288 මත පක්‍ෂයේ ජයග්‍රහනය රැඳී තිබෙනවා. පාක්‍ෂිකයන් මැතිවරණය වෙනුවෙන් සංවිධානය වන්නේ නැත්නම් ජයග්‍රහනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ සියල්ලෙහි අපිට ජයග්‍රහනය ලබා ගැනීමට හැකි බව මගේ විශ්වාසයයි.

ප්‍රාදේශීය සභා ජයග්‍රහනය කිරීමෙන් පසු පළාත් සභාව ජයග්‍රහනය කිරීමට හැකි වනවා. ජයග්‍රහනය වෙනුවෙන් රැකියා අවස්ථා වැඩි කිරීම ආදී සහන ජනතාවට සලසා දිය යුතුයි. පසුගිය වසර 20 පුරාවට අප සතුව බලයක් තිබුණේ නැහැ. රාජපක්‍ෂ රෙජිමය ප්‍රාදේශීය සභා තුළ වසර 15ක් බලයේ සිටියත් ඔවුන් බිම් මට්ටම වෙනුවෙන් කළ දෙයක් නොමැති තරම්. බිම් මට්ටමේ රැකියා බිහි කරමින් ආර්ථිකය දියුණු කර ගැනීම කළ යුතුයි. ජනතාවට රැකියා ලබාදීමේ ගැටලුවෙන් ආණ්ඩුවක් ලෙස අපට මඟහැර යා නොහැකියි.

ගම්මානවලට අවශ්‍ය විදුලි බලය, මාර්ග පද්ධති ලබා දී තිබුණත් රැකියා අවස්ථා තව තවත් ලබා දිය යුතු වෙනවා. නමුත් බිම් මට්ටමේ බොහෝ දෙනා තවමත් සාමාන්‍ය පෙළ මට්ටම දක්වා හෝ අධ්‍යාපනය ලබා නැහැ. නමුත් ඒවාට විසඳුම් ලබාදෙමින් අප ඉදිරියට යා යුතුයි. එසේ නොමැති වුවහොත් රටේ විරැකියාව ඉහළ යනවා. එක් කාලයක දී රටේ රැකියා ප්‍රශ්නයට සිවිල් ආරක්‍ෂක සේවයත්, හමුදාවත් විසඳුම් ලබාදුන්නා. නමුත් දැන් සිවිල් ආරක්‍ෂක සේවයෙන් හෝ හමුදාවෙන් රැකියා වැඩි ගණනක් ලබාදිය නොහැකියි.

මේ සියලු දේ පිළිබඳ අවධානය යොමු කරමින් මේ වනතුරු ග්‍රාමීය මට්ටමෙන් අපි ජනතාවට ලබාදුන් දේ පිළිබඳ ජනතාව දැනුම්වත් කළ යුතුයි. එක්සත් ජාතික පක්‍ෂයේත් අඩුපාඩුකම් තිබෙනවා. මහින්ද රාජපක්‍ෂගේ කණ්ඩායම. රුපියල් 10ක් වියදම් කර සිදු කරන කාර්යයට රුපියල් 100ක් වියදම් වූ බව මවා පෑවා. නමුත් අප රු. 100 ක වැඩ කළත් බොරුවට මවා පාන්නේ නැහැ. මෙලෙස අප සිදු කරන කාර්යයන් පිළිබඳ නිසි ප්‍රචාරයක් ග්‍රාමීය මට්ටමෙන් රැගෙන යන්නේ නැත්නම් මැතිවරණය ජයග්‍රහනය කිරීම අපහසුයි.

පසුගිය වසර 02 තුළ ආර්ථිකය ගොඩගැනීමට කටයුතු කරන අතරම, ග්‍රාමීය මට්ටමේ සංවර්ධනය වෙනුවෙන් අපි හැකි තරම් මුදල් මන්ත්‍රීවරුන්ට ලබාදුන්නා. එම මුදල් විවිධ ආකාරයෙන් ඔවුන්ට ලබා දුන්නා. අමාත්‍යාංශ හරහාත්, ජාතික මට්ටමේත් වැඩ කටයුතු ගණනාවක් සිදු කළා. ගැබිනි මවුවරුන්ට රුපියල් 20, 000 ක දීමනාවක් ලබාදුන්නා. රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10, 000 කින් වැඩි කළා. රැකියා අවස්ථා ලක්‍ෂ 04 ක් බිහි කළා. මේ සියල්ල අප සිදු කර අවසන්. ඒ පිළිබඳ දැන් අපට ජනතාව දැනුම්වත් කළ හැකියි.

අප සිදු කර ඇති කාර්යයන් පිළිබඳ සැකසුණු පොතක් ඉදිරියේ දී ඔබට ලබාදෙනවා. මේ වන තුරු අප සිදු කළ සියලු දේ එහි සඳහන් වනවා. මැතිවරණයකට ප්‍රචාරක පත්‍රිකා ලබාදුන් පසු මැතිවරණය අවසන් වීමෙන් පසුවත් ඒවා නිවසේ ඉතිරි කර ගන්නා ආකාරයටම ඉදිරියේ දී ලබාදෙන මේ පොතත් කියවා පසෙකින් තබන්නට එපා. එය කියවා අවබෝධ කර ගනිමින් අපි ජාතික මට්ටමේ රට වෙනුවෙන් කළේ කුමක් දැයි පිළිබඳ ජනතාව දැනුම්වත් කළ යුතුයි. ඒ වගේම තමන් ප්‍රාදේශීය සභා කොට්ඨාසවල සිදු කළේ කුමක්දැයි සටහන් කිරීමට තවත් පොතක් පවත්වාගෙන යන මෙන් සියලුම සංවිධායකයන්ට අප ඉදිරියේ දී උපදෙස් ලබාදෙනවා. අප සිදු කරන සියලුම සංවර්ධන කටයුතු සාර්ථකව ඉටු කිරීමට හැකි වන්නේ ආර්ථිකය සංවර්ධනය කර ගත් නිසයි. එම නිසා එම සියලු කටයුතු පිළිබඳ ජනතාව දැනුම්වත් කළ යුතුයි.

එසේ නම් බිම් මට්ටම හොඳින් සංවිධානයවී අප ඉටු කළ වැඩකටයුතු පිළිබඳ හොඳ ප්‍රචාරයක් ගෙන යනවා නම් මැතිවරණය ජයග්‍රහනය කිරීමේ හැකියාව අප සතුයි. නොවැම්බර් මාසය පමණ වන විට කොමපණ සංඛ්‍යාවක් අපට සහයෝගය දක්වනවා ද, නැත්නම් විරුද්ධ පාර්ශ්වයට සහයෝගය දක්වනවා ද යන්නත් අප මැතිවරණය වෙනුවෙන් සහයෝගය ලබාගත යුත්තේ කුමන පුද්ගලයන් ගෙන් ද යන්නත් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා.

ඇත්ත වශයෙන්ම ප්‍රාදේශීය සභා මැතිවරණය යනු ජයග්‍රහනය සඳහා මුදල් අවශ්‍ය වන මැතිවරණයක් නොවෙයි. ප්‍රාදේශීය සභා මැතිවරණයේ ජයග්‍රහනය වෙනුවෙන් අවශ්‍ය වන්නේ අපේක්‍ෂකයන්ගේ සහ සංවිධායකයන්ගේ දහදිය සහ මහන්සියයි. මේ කරුණු දෙක අපේ සියලුම අපේක්‍ෂකයන් සතුව තිබෙනවා නම් ජයග්‍රහනය කිරීම පහසු කටයුත්තක්.

මම පළමුවෙන්ම ඡන්දය ප්‍රකාශ කළේ කොළඹ නගර සභා මැතිවරණයටයි. ඒ කාලයේ අපේක්‍ෂකයන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ගෙයින් ගෙට පැමිණියා. ඔවුන් එලෙස පැමිණ සිය මැතිවරණ පත්‍රිකා නිවෙස්වලට ලබා දෙනවා. පසු කාලයේ මම බියගම ආසනයෙන් දේශපාලනය කරන විට ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී සියලුම මැතිවරණ කොට්ඨාසවල සංවිධාන කටයුතු එක් එක් පුද්ගලයන් විසින් භාර ගත්තා. මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ගෙයින් ගෙට යන විට ඔවුන් අපට ආහාර සහ තේ පැන්වලින් සංග්‍රහ කළා. එහි දී අපට විශාල වියදම් දැරීමට සිදු වුණේ නැහැ. ඒ වගේම බොහෝ අය ගම්මට්ටමේ රැස්වීම් තම තමන් විසින්ම සංවිධානය කර ගත්තා. පෝස්ටර් සහ ප්‍රචාරක පත්‍රිකා ලබාදීම පමණයි මම සිදු කළේ. රැස්වීම් 03, 04 ක දී පමණක් එම සංවිධායකයන් ශබ්ද විකාශන යන්ත්‍ර මගෙන් ඉල්ලා සිටියා.

ඇත්ත වශයෙන්ම මම කළේ ප්‍රධාන රැස්වීම් දෙක පැවැත්වීමත්, මැතිවරණ ප්‍රචාරණ පත්‍රිකා ලබාදීමත් පමණයි. අනෙක් සියලු කටයුතු එම ගම්මානවල පාක්‍ෂිකයන් සහ සංවිධායකයන් විසින් භාරගෙන වෙහෙසවී ඉටු කළා. නමුත් පසුව මනාප ක්‍රමයක් ඇතිවීමත් සමඟ පැරැණි ක්‍රමය අවසන් වුණා. එහි දී ඇතැම් පිරිසක් මෙරිල් මහතාටත්, තවත් පිරිසක් ඒකනායක මහතාටත්, තවත් පිරිසක් නෙල්සන් මහතාටත් සහයෝගය ලබා දුන්නා. නමුත් දැන් අපි නැවතත් පැරැණි ක්‍රමයට කටයුතු කළ යුතුයි. විශාල වශයෙන් මුදල් වියදම් කරමින් පළමු, දෙවැනි හෝ තුන්වැනි මනාපය ජනතාවගෙන් ඉල්ලමින් දේශපාලනය කිරීමේ දී බොහෝ විට එක් මනාපයක්වත් නොලැබෙන අවස්ථා තිබෙනවා.

එම නිසා මැතිවරණය වෙනුවෙන් වෙහෙසවී වැඩ කරන ලෙසත්, ජයග්‍රහනය වෙනුවෙන් ජනතාව සමඟ පක්‍ෂයෙන් ඉටු විය යුතු වැඩකටයුතු පිළිබඳ කතා බහ කරන ලෙසත් මම ඔබෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අද මම මේ ස්ථානයට පැමිණියේ අපේ ප්‍රධාන ක්‍රියාකාරීන් වන ඔබ හමුවී ඒ හරහා අනෙක් පිරිසත් දැනුම්වත් කරමින් ශක්තිමත් ලෙස මැතිවරණයට ඉදිරිපත්වීමට අවශ්‍ය කටයුතු සැලසීමටයි.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා - අවුරුදු විස්සක් අපි විපක්ෂයේ සිට ඡන්දවලට මුහුණ දුන්නා. එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරන ප්‍රතිපත්තිගරුක අය අප සමඟ සිටියා. යුද බිමේ සොල්දාදුවා වගේ ඔබ රට පුරා අපේ පක්ෂය ආරක්ෂා කළා. සමහරු අතරමඟ දී පක්ෂය දාලා ගියා. තනතුරු ලබා ගත්තා. නමුත් අපේ පාක්ෂිකයෝ අප සමඟ සිටියා. විපක්ෂයේ අය ගොබෙල්ස් න්‍යාය අනුව බොරුව ආයි ආයි කියමින් සත්‍යය බවට පත් කරන්න හදනවා.

ණය ගෙවන ගමන් රටේ සංවර්ධනය ද වෙනවා. අපේ රජය මේ වසර දෙකහමාර තුළ ප්‍රතිලාභ රාශියක් මහජනතාවට ලබා දී තිබෙනවා. පළාත් සභා බලය අපේ පක්ෂයට ලැබුණු විට අපිට රටේ ජනතාව වෙනුවෙන් කරන්නට හැකි දේ වැඩි වෙනවා. අපේ අගමැතිවරයාගේ දෑත් ශක්තිමත් කර බලය ලබා දීම ඔබේ යුතුකමක්.

විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා-

ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකට මුහුණ දී ජයග්‍රහනය කිරීමට පොළොන්නරුව ජනතාව සූදානම්. අගමැතිවරයා මනා ලෙස ආර්ථික කටයුතු සැලසුම් කර විදේශ ආයෝජන මෙරටට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. අපට ජාත්‍යන්තරයේ සහයෝගය උපරිමයෙන්ම ලැබෙනවා. එය ලැබුණේ රට යළි නිවැරැදි මාර්ගයට ගත් නිසයි.

පොළොන්නරුව දිසා මන්ත්‍රී නාරද ප්‍රසාද් කොලොන්නේ මහතා-

ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා සහ පළාත් පාලන ඡන්දවලින් ජයග්‍රහනය කර එක්සත් ජාතික පක්ෂය රාජ්‍ය බලය ලබා ගත යුතුයි. ගොවියන් නඟා සිටුවීම සඳහා අප ලක්ෂ 60 වැඩසටහන යටතේ වී මිල දී ගැනීම සිදු කරනවා.

මැදිරිගිරිය ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා-

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහනය කරවීමට අපේ පාක්ෂිකයන් සියයට සියයක් ජීවිත දේපල ගැන නොබලා වැඩ කළා. නමුත් අද එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ප්‍රශ්න සියල්ල අපේ කරමත පමණක් පැටවිලා තිබෙනවා. වසර විස්සක් තිස්සේ දුක් ගැහැට විදි අපේ පාක්ෂිකයන් අඩු තරමේ මේ අවුරුදු දෙකහමාර තුළ හොඳින් හුස්ම ගත්තා.

මින්නේරිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක උතුරු මැද පළාත් සභා මන්ත්‍රී එම්. එම්. ඩොනල්ඩ් මහතාද අදහස් දැක්වීය.
« PREV
NEXT »