BREAKING NEWS
latest

728x90

468x60

Thursday, October 05, 2017

“එක්ව නැඟිටිමු – අටුකොටු පුරවමු“ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ජනපති ප්‍රධානත්වයෙන්

“ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය – 2017“ ආරම්භ කරමින් ගොවි දිනය යෙදෙන මේ මස 06 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව තිබ්බටුවැව අසල යායේ වප්මඟුල් උත්සවය පැවැත්වේ.

ඔක්තෝබරයේ මහා වර්ෂාවත් සමග කෘෂිකාර්මික ප්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ මෙම නිෂ්පාදන සංග්‍රාමය ක්‍රියාත්මක කරන බවත් ඔක්තෝබර් 06 වැනිදා සිට 12 වැනිදා දක්වා සතිය තුළ මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (කෘෂි සේවා) අජිත් පුෂ්පකුමාර මහතා පවසයි.

“එක්ව නැඟිටිමු – අටුකොටු පුරවමු“ තේමාව යටතේ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ක්‍රියාත්මක කෙරේ.

ගොවි දිනය දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රධාන උත්සවයට සමගාමීව යන්ත්‍ර මඟින් පැළ සිටුවීම ඇතුලු තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවැසුවේය.

වප් මඟුල් උත්සවයට ගොවීන් 3000 ක් පමණ සහභාගි වන අතර “සිතමු“ ගොවි කාන්තා වැඩසටහන එළිදැක්වීම, වී හා අතිරේක බෝග සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් රුපියල් 40,000 ක වගා හානි රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම, වියළි කලාපයේ නියඟය නිසා හානි වූ වගා අයිතිකරුවන්ට බිත්තර වී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබාදීම, පුරන් කුඹුරු අක්කර 130,000 ක වැඩ පටන් ගැනීම, බඩඉරිඟු හෙක්ටයාර 80,000 ක් වගා කිරීම, ශ්‍රමදාන මඟින් වැව් පොකුණු, ඇලවේලි ප්‍රතිසංස්කරණය යනාදිය සිදු කරන්නේ යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

කන්න තුනකදි දිස්ත්‍රික්ක 14 ක නියං තත්ත්වයක් පැවැතීම නිසා ආහාර නිෂ්පාදනයේ යම්කිසි පසුබෑමක් සිදුව ඇතැයි ද අතිරේක බෝග නිෂ්පාදනය සියයට 50 කින් අඩු වී ඇතැයි ද පුෂ්පකුමාර මහතා පැවැසුවේය.

එයට විසඳුමක් ලෙස ජනාධිපතිවරයාගේ මැදිහත්වීම යටතේ “ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය – 2017“ ක්‍රියාවට නංවන්නේ යැයි ද ඒ මහතා කීය.

මෙම සතිය ක්‍රියාත්මක වන කාලසීමාවේදි සෑම දිස්ත්‍රික්කයකම වැඩසටහනට අදාළව කිසියම් හෝ ව්‍යාපෘතියක් එම දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාවට නැංවිය යුතුය.
« PREV
NEXT »