BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, October 25, 2017

දුප්පත්කමේ අවසන් සටන - ග‍්‍රාම ශක්ති ද?

දුප්පත්කම පිළිබඳ ප්‍රශ්නය ශ්‍රී ලංකාව තුළ නිදහස ලැබූ දා පටන් මේ දක්වාම බරපතළ ලෙස සාකච්ඡාවට බඳුන් වූ මාතෘකාවකි. එදා මෙදාතුර රටේ බලයට පත්වූ සෑම රජයක්ම දිළිඳුකම තුරන් කිරීම තම පාලන තන්ත්‍රයන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය ලෙසින් හඳුනාගෙන තිබුණි. ඒ සඳහා නිදහස ලැබීමට පෙර රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිටම විවිධ ව්‍යාපෘති ක්‍රියාවට නැංවිණ.

අප දන්නා හඳුනන මෑත යුගයේ ජනසවිය, සමෘද්ධි, ගැමිදිරිය හා දිවි නැඟුම වැනි කෙළින්ම දුප්පතුන් ඉලක්ක කරගත් වැඩ සටහන් පසුගිය සමයේ ක්‍රියාත්මක විය. ඒවා කෙළින්ම රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වූ වැඩසටහන් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ වන විට මෙකී ජාතික ව්‍යාපෘති මඟින් ලබා ඇති අත්දැකීම් සම්භාරය ද සුළුපටු නොවේ. මෙම වැඩසටහන්වල විවිධ අඩුපාඩුකම් හා දුර්වලතා තිබිය හැකි නමුත් සමස්තයක් වශයෙන් ගත්කල මේ රටේ දිළිඳුභාවයේ ප්‍රතිශතය 6.5% තරම් අඩු මට්ටමකට ගෙන ඒමට ජනසවිය, සමෘද්ධි, ගැමිදිරිය, දිවිනැඟුම ආදී වැඩසටහන්වල සාර්ථකත්වය හේතු වූ බව පිළිගත යුතුය.

මේ නිසා උග්‍ර දරිද්‍රතාවය සම්බන්ධයෙන් ද ආසියානු රටවල් හා සැසඳීමේ දී ශ්‍රී ලංකාව යහපත් තැනක සිටී. ජාත්‍යන්තර වශයෙන් වුවද ශ්‍රී ලංකාවට මේ සම්බන්ධයෙන් හොඳ පිළිගැනීමක් ලැබී තිබේ. මේ අනුව ආසියාතික රටවල දුගීභාවය පිළිබඳ ප්‍රශ්නයේ දී අප සිටින්නේ යහපත් තැනකය.

දුගීභාවය

2012/13 වන විට ජාතික මට්ටමින් රටේ දුගීභාවය 6.7%ට අඩු කරගනිමින් රජයක් වශයෙන් පෙළහර පාන නමුත් දරිද්‍රතාවයේ ප්‍රාදේශීය විෂමතාවය 3% සිට 29% දක්වා වන බව ද තහවුරු වී තිබේ. ඒ අනුව මන්නාරම 20.1%කි. මුලතිව් 28.8%කි. කිලිනොච්චිය 12.7%කි. මඩකළපුව 19.4%කි. පැවති 30 අවුරුදු සිවිල් යුද්ධය මීට බලපා තිබෙන බව පැහැදිලිය. මේ අතර බදුල්ල 12.3%ක් හා මොනරාගල 20.8%ක් ලෙසින් බලවත් විෂමතාවයක් දැකගත හැකිවීම ද විශේෂත්වයකි.

මෙලෙසින් නිදහසේ සිට මේ දක්වා මෙන්ම, දකුණු ආසියාව ලෙස ගත් කල ද අපේ රටේ දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් සැකසුණු වැඩසටහන් ඔස්සේ නිරාහාරවීමෙන් තොරව ජීවත්වීම සඳහා අත්‍යාවශ්‍ය මූලික අවශ්‍යතා සපුරාගැනීමේ හැකියාව අප සතු වුවද අපේ රටේ දුප්පත්කමේ ප්‍රශ්නයට නිසි පිළිතුරක් ලැබී ඇතැයි මින් අදහස් නොවේ. මින් සෑහීමකට පත්වීමට රටේ රාජ්‍ය නායකයා ලෙසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් නැත. ඊට හේතුව සාපේක්ෂ දුගීභාවය විසඳිය යුතු ප්‍රශ්නයක් ලෙසින් අපේ රටේ තවමත් පැවතීමයි. සමස්ත සමාජ දේහයේ ස්වාධීන ආර්ථික ක්‍රියාවලියක උරුමක්කාරයන් ලෙසින් කටයුතු කිරීමට අපේ රටේ ජනතාවගෙන් 35%කට 40%ක‍ට තවමත් හැකියාවක් ලැබී නැත. ඊට එක් හේතුවක් වන්නේ අපේ රටේ මුළු ගෘහස්ථ ආදායමින් 52.9%ක හිමිකාරිත්වය ධනවත්ම 20% අතර පවතින අතර දිළිඳුම 20% ලබන්නේ 4.5%ක පංගුවකි. එසේම පහළම 40% ලබන්නේ 13.7% පංගුවකි. මේ අතර ශ්‍රී ලාංකික ජනගහනයෙන් 6.7%කගේ (අන්ත දුගීභාවයෙන් පෙළෙන පිරිස) මාසික ආදායම රු.5700/-කි. තවත් 33%කගේ මාසික ආදායම රු.11,400/-කි. තවත් 52%කගේ මාසික ආදායම රු.18,240/-කි. මෙය ඇ.ඩො. 1.25ක, ඇ.ඩො. 2.5කට අඩු හා ඇ.ඩො. 4කට අඩු දෛනික ආදායමක් ලෙසින් වර්ගීකරණය කර ඇත.

රට තුළ දුගීභාවයේ ප්‍රතිශතය අවම වී ඇතැයි අප උදම් අනමින් සිටින්නේ නිරපේක්ෂ දුගීභාවය පිළිබඳ ප්‍රශ්නය ගැනයි. එහෙත් ඉහත සඳහන් සංඛ්‍යාලේඛනවලින් පැවසෙන්නේ සාපේක්ෂ දුගීභාවය රට තුළ ඉහළ අගයක් ගන්නා බව නොවේද? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙය නිවැරදිව තේරුම් ගෙන ඇත.

“අපේ රටේ දුගීභාවය පිළිබඳව තිබෙන්නා වූ සංඛ්‍යාලේඛනවලට අනුව අඩු ආදායම් ලබන ජනතාව 07%ක් පමණ වෙනවා. නමුත් ඔබ අප කවුරුත් දන්නවා මේ රටේ රාජ්‍ය සේවයේ පහළම ශ්‍රේණිවල රාජ්‍ය සේවකයාගේ ආර්ථික තත්ත්වය කුමක්ද කියා. මේ රටේ ගැමිදිරිය, සමෘද්ධි, ප්‍රතිලාභ ලබන ජනතාවගේ ආර්ථික තත්ත්වය කුමක්ද කියලා. මේ කියන ශ්‍රේණි හා කොටස්වලට අමතරව සමාජ ස්ථරයන් තුළ විවිධ ආකාරයේ ගැවසෙන ජනතාවගේ ආර්ථික තත්ත්වය ගත් විට අපට කිසිසේත්ම සතුටුවිය හැකි තැනක අපි නොමැති බව අප කවුරුත් දන්නවා.” (ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - ග්‍රාමශක්ති ජාතික වැඩසටහන එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් කළ කතාව)

මෙහිදී ජනාධිපතිවරයා පසුවන්නේ මෙවන් පසුබිමක දී දේශපාලන වශයෙන් තවත් කෙනෙකුට ඇඟිල්ල දිගු කිරීමට වඩා තමන් දෙසටම ඇඟිල්ල දිගු කරගනිමින් මීට පිළියම් යෙදිය යුතුය යන ස්ථාවරයකය. ග්‍රාමශක්ති ජාතික ව්‍යාපාරය එහි ප්‍රතිඵලයකි. මේ වන විට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙය (ග්‍රාමශක්ති ජාතික ව්‍යාපාරය) දිවයින පුරා ක්‍රියාත්මක වීම අරඹා තිබේ. පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී එය ජනගත කිරීමේ අවස්ථාව අරඹනු ලැබීය.

ග්‍රාමශක්ති යනු දිළිඳුකමින් මිදී දියුණුවේ මාවතට ජනතාව යොමු කර ඔවුන් ඒ සඳහා නඩත්තු කරවනු ලබන ව්‍යාපාරයකි. මේ සඳහා දුගී-දුප්පත් ගම්මාන 5000 ඉලක්ක කරගත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ කාර්යය දැනටමත් අරඹා තිබේ.

මෙතෙක් දිළිඳුකම පිටුදැකීමේ සියලු වැඩසටහන් ක්‍රියාත්මක වූයේ රාජ්‍ය හා පුරවැසියා අතර කරනු ලබන ගනුදෙනුවක් ලෙසිනි. ඊට දේශපාලනය ද ගෑවී තිබුණි. මින් අදහස් කළේ රාජ්‍යය කිසියම් නිර්ණායකයක් පාදක කරගනිමින් සමීක්ෂණයක් මඟින් දිළිඳු ජනතාව තෝරාගෙන ඒ අය සවිබල ගැන්වීමට ක්‍රියාකිරීමයි. මේ සඳහා විවිධ දිරිගැන්වීම්, පුහුණු වැඩසටහන්, සහනාධාර හා ණය ලබාදීම් සිදුවිය. මෙමගින් විවිධ නිෂ්පාදන කාර්යයන් සඳහා ද දිළිඳු ජනයා හා දිළිඳු පවුල් යොමු කරන ලදී.

එහෙත් වෙළෙඳපොළ යනු හුදෙක් සහනාධාර ලබාදීම හෝ තෝරාගත් නිෂ්පාදන අලෙවි කිරීමට දිරිදීම මඟින් ජයගත හැකි සාධකයක් නොවේ. මෙහිදී දිළිඳුකම පිටුදැකීම උදෙසා ඉටුකළ යුතු වෙළෙඳපොළේ කාර්යභාරය නිවැරදිව තේරුම් ගෙන තිබුණේ නැත. දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන්වල ප්‍රධාන අංශයක් ලෙසින් පෞද්ගලික අංශයේ සමාගම් ප්‍රමුඛ සාධකයක් ලෙසින් පිළිගෙන තිබුණේ ද නැත. මේ නිසා සිදුවූ අවාසිය දිළිඳුකම පිටුදැකීමේ කාර්යයන්හි නිරත වන ගම්මානවල ජීවත්වන ජනයා රටේ නිෂ්පාදන ක්‍රියාවලියට සෘජුව දායක නොවීමයි.

ග්‍රාමශක්ති ජාතික වැඩසටහන දිළිඳුකම පිටුදැකීම ලෙසින් දකින්නේ අවශ්‍යයෙන්ම රාජ්‍යය, අදාළ පුරවැසියන් හා පෞද්ගලික අංශය යන ත්‍රිවිධ පාර්ශ්වයන් ගෙන් සැදුම්ලත් එකිනෙකට වගකීම් බෙදී යන ව්‍යාපාරයක් ලෙසිනි. මීට ඉහත පැවැති දිළිඳු ජනයා ඉලක්ක කරගත් වැඩසටහන් හා මෙම වැඩ සටහන අතර පවතින ප්‍රධාන වෙනස මෙයයි.

ආර්ථික සමෘද්ධිය ලබාගත යුතු වන්නේ වෙළෙඳ පොළින් ඉවතට තල්ලු වූ සහ වර්ධනයේ පංගුකරුවන් වීමට හෝ එහි ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වූවන් ඇතුළත් කර ගැනීමට හැකි වන අයුරින්ය. පෞද්ගලික අංශය සමඟ හවුල් වෙමින් ප්‍රාදේශීය මට්ටමේ ණය දෙන ආයතන පුද්ගලයන් හා ව්‍යවසායකයන්ගේ ආයෝජන හැකියාවන් හඳුනාගැනීම මෙහිදී අත්‍යාවශ්‍ය වේ. මෙය යැපුම් මානසිකත්වයක පසු වූ සහනාධාර මත සැලසුම් වූ දුගීභාවය දුරුකරලීමේ වැඩසටහන්වලට ඇබ්බැහි වූ දුගී ජනයාට මුලදී ප්‍රශ්නයක් විය හැකිය. එහෙත් සාපේක්ෂ දුගීබවින් මිදීමට නම් ‘ග්‍රාමශක්ති ව්‍යාපාරය’ යටතේ අලුත් විදියකට කල්පනා කිරීමට අදාළ ප්‍රජාවට සිදුවේ.

රාජ්‍ය ප්‍රතිපත්ති

“රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ ධනවතුන් තවත් ධනවතුන් කරන, ධනවතුන්ට පහසුකම් දීමේ ප්‍රතිපත්තියෙන් බැහැරව ආර්ථික අමාරුකම්වලින් දරිද්‍රතාවයෙන් පීඩාවිඳින ජනතාව එයින් මුදවා ගැනීම සඳහා ඔවුන්ට යහපත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, ඔවුන්ට අවශ්‍ය වරප්‍රසාද ලබාදීම ඔවුන්ට අවශ්‍ය මඟපෙන්වීම රජයක මූලික වගකීම, යුතුකම හා කාර්යභාරය වෙනවා. ඒ බව මා විශ්වාස කරනවා” (ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන)

රජය දුප්පතුන් නගාසිටුවීමේ කාර්යය හා ඊට මැදිහත්විය යුතු ආකාරය නිරවුල්ව හඳුනාගෙන තිබෙන බව ජනාධිපතිවරයාගේ ඉහත සඳහන් ප්‍රකාශයෙන් පැහැදිලි වේ. එය පොහොසතුන් තවත් පොහොසත් කිරීමට මැදිහත්වීමක් නොවේ. දුප්පතුන් දැනට සිටින තැනින් මුදවා ගැනීමට මැදිහත් වන ඊට අවැසි මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන පිළිවෙතකි. ඒ පිළිවෙත තුළ දුගී ජනතාව අධික පොලිය මත ණය ලබා දුන් ආයතනවල ග්‍රහණයට හසුවී තිබේ නම් ඉන් මුදවා ගැනීමට ද සූදානම්ය. ඒ සඳහා 2018 අය-වැය ලේඛනයෙන් සහන ලබා දීමට හා මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමට ද සූදානම්ය. එහෙත් ඒ සියල්ල සිදු වන්නේ දුප්පත්කමින් ජනයා මුදාගැනීමට සහනාධාර හෝ වෙනත් දීමනා ලබාදීමේ සාම්ප්‍රදායික ක්‍රමවේදය ඔස්සේ නොවේ. තමන්ගේ ද කොටස් සහිත රජයේ අරමුදල් ද සහිතව ගොඩනගනු ලබන “ජනතා සමාගම් ඇසුරිනි.”

දුගී ජනයා නිෂ්පාදන ක්‍රියාවලියේ හවුල්කරුවන් කරගනු ලබන්නේ මෙම ජනතා සමාගම් මඟින් කරනු ලබන ආයෝජන හරහාය. නැතිනම් ඵලදායී ව්‍යාපෘති හරහාය. මෙමඟින් බිහිවන ග්‍රාමීය නිෂ්පාදන වෙත්නම් ඊට අවැසි වෙළෙඳපොළ පෞද්ගලික අංශයේ ද මැදිහත්වීමෙන් ග්‍රාමශක්ති ව්‍යාපාරය සූදානම්ය.

මේ නිසා ග්‍රාමශක්ති යනු දුගී ග්‍රාමීය ජනතාව යැපුම් මානසිකත්වයෙන් මුදවාගෙන ධනෝත්පාදනයට යොමු කරන ගම සතු ස්වාභාවික සම්පත්, මානව සම්පත්, මෙන්ම මානව හැකියාවන් තිරසර සංවර්ධන ඉලක්කයක් ඔස්සේ ජාතික හා ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීම තුළින් දුගීභාවයම තුරන් කරනු ලබන ව්‍යාපාරයකි.
« PREV
NEXT »