BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, October 04, 2017

අයිතීන් සීමා කළ අවස්ථාවලදී ප්‍රජාතන්ත්‍රවාදයේ හඬ නැඟුවා - අගමැති රනිල්

පාර්ලි‍මේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් ‍මෙන්ම නීති‍යේ ආධිපත්‍ය තහවුරු කළ යුතු බව ද තනි පුද්ගලයකු සතු බලය සාමූහිකත්වයට ‍යොමුකරමින් ‍සමෘද්ධිමත් රටක් බිහිකිරීමට සියලුදෙනා කැපවීමන් කටයුතු කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03දා) අවධාරණය කළේය.


ජනතා අයිතිවාසිකම් ඉටු කෙරෙන සමෘද්ධිමත් ආර්ථිකයක් බිහිකරන ප්‍රබුද්ධ රාජ්‍යයක් ගොඩනැගීමට පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින්ගේ වගකීම බව ජනාධිපතිවරයා කී‍වේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන බලාපොරොත්තුව තුළ රට නොබෙදෙන ඒකීය රාජ්‍යයක පාර්ලිමේන්තුව තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත්, 2015දී ඇතිකළ පරිවර්තනීය වෙනස මඟින් පාර්ලිමේන්තුව තවත් ශක්තිමත් වූ බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලාංකේය පාර්ලිමේන්තුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් පැවැති විශේෂ සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.30 ට පාර්ලිමේන්තුව ඊයේ (03) රැස්විය.

ශ්‍රී ලං‍කේය පාර්ලි‍මේන්තු ක්‍රියාදාමයට වසර 70ක් සපිරීම නිමි‍තෙන් වි‍‍ශේෂ සැසිවාරය සඳහා වූ ‍යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කළ අතර, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ‍යෝජනාව ස්ථිර ක‍ළේය.

වසර 70ක් සපිරී‍මේ සංවත්සරය සාඩම්බර‍යෙන් සමරන අතර ප්‍රජාතන්ත්‍රවාදී පාලන‍යේ ‍නොබිදුණු වාර්තාවක් ශ්‍රී ලංකා පාර්ලි‍මේන්තුව තබා ඇතැයි පැවසූ අගමැතිවරයා ඡන්ද බල‍යෙන් ‍තේරී පත්වන පැරැණිතම පාර්ලි‍මේන්තු ඉතිහාසය අප රටට ඇති බවත් නීති‍යේ අධිපත්‍ය තවදුරටත් ශක්තිමත් කරමින් ‍‍සමෘද්ධිමත් ‍සෞභාග්‍යමත් රටක් උදා‍‍වේවායි ප්‍රාර්ථනා කරමින් ජනාධිපතිවරයාට සභාව ඇමැතීමට ජනාධිපති ‍මෛත්‍රීපාල සිරි‍සේන මහතාට ආරාධනා ක‍ළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා- ප්‍රබුද්ධ රාජ්‍යයක් ගොඩනැගීමට උත්තරීතර සභාවේ වගකීම සෑම කෙනෙකුටම පැවරෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන බලාපොරොත්තුව තුළ රට නොබෙදෙන ඒකීය රාජ්‍යයක පාර්ලිමේන්තුව තව තවත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජනතා අයිතිවාසිකම් ආර්ථික සමෘද්ධිය ගොඩනැගීමට ප්‍රබුද්ධ රාජ්‍යයක් ගොඩනැගීමට උත්තරීතර සභාවේ වගකීම පැවරෙනවා. මා ඉතාමත් ම සතුටු වෙනවා, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ජනතා පරමාධිපත්‍ය ශක්තිමත් කරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වසර 70ල් සපිරීම කරන අවස්ථාවේ ඇමතීම සම්බන්ධයෙන්. දකුණු ආසියාතික සාර්ක් රටවල කතානායකවරුන්ගේ පැමිණීම පිළිබඳව, මේ අවස්ථාවට සාර්ක් මිත්‍ර රටවල සහයෝගීතාවය ශක්තිමත් කරමින් පැමිණි කතානායකකවරු ජනරජය ජනතාව වෙනුවෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි අද අපේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වසර 70ක ඉතිහාසයක් ගැන කතා කරන්නේ. දශක හතක කාල සීමාව ඉතාමත් ම වැදගත් වෙනවා. සොල්බරී කොමිෂන් සභා ව්‍යවස්ථාව තුළ 1947 පාර්ලිමේන්තුව පළමුවෙන් පිහිටුවීමත්, නිදහස, ප්‍රජාතන්තවාදය ශක්තිමත් කිරීම බලයට පත් වූ සෑම ආණ්ඩුවක් ම ඉටු කළා.

අප පවත්වා ගෙන ආ පාර්ලිමේන්තු ක්‍රමයේ 1972 ව්‍යවස්ථාව යටතේ යම් වෙනස් වීම් සිදු වුණා. 1978 නව ව්‍යවස්ථාවක් සම්මත කළා. 1978 ව්‍යවස්ථාවෙන් අසීමිත බලයක් තිබෙන විධායක ජනාධිපති ක්‍රමය නිසා පාර්ලිමේන්තු ක්‍රමය යම් තරමකට දුර්වල වුණා. 18 සංශෝධනය තුළ පාර්ලිමේන්තුව දුර්වල වුණා. 2015 ජනවාරි 8 මැතිවරණයෙන් වෙනස් කළ පරිවර්තනනීය යුගයක, අප විසින් සම්මතකළ 19 සංශෝධනයෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තුව ශක්තිමත් වුණා.

සාර්ක් රටවල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම, ආර්ථික සමෘද්ධිය, ආධ්‍යාත්මික සමාජයක් මත තිබෙන බලාපොරොත්තු, සම්පත් වර්ධනය කිරීම, ගුණගරුක ප්‍රජාවක් සඳහා ජාත්‍යන්තර සමාජයට පණිවුඩයක් දීමට අප කැපවිය යුතුයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා - මේ රටේ දියුණු ආර්ථිකයක් ඇති කරගත යුතුයි. අපි සමරන්නේ 70 සංවත්සරය පමණක් නොවේ, අවුරුදු 70 ප්‍රජාතන්ත්‍රවාදයේ වාර්තාවක් ඇති කළ අවස්ථාවක්. අද අපි සමරන්නේ 70 සංවත්සරය පමණක් නොවේ, අවුරුදු 70 ප්‍රජාතන්ත්‍රවාදයේ වාර්තාවක් ඇති කළ අවස්ථාවක්. මේ සභාව අයිතීන් සිමා කළ අවස්ථාවලදී හඬ නගලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර තිබෙනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදායේ පුහුණුව අප ලැබුවා. ජනතාවට වගකියන සභාවක් හැටියට ක්‍රියාකරන්න පලපුරුද්දක් ලැබුවා.

ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස් සේනානායක මැතිතුමාට, මොලමුරේ මැතිතුමාට, බණ්ඩාරනායක මැතිතුමාට ඇතුළු සියලු දෙනාට ස්තූතිය පුදකරන්න ඕන. ජනරජ ව්‍යවස්ථා දෙකක් සම්මත කරන්න හැකි වුණා. මේ සභාවේ 2015දි විසි වැනි සංශෝධනය අනුමත කළා. මෛත්‍රිපාල ජනාධිපතිතුමා ගත් පියවර ගැන ස්තූතිවන්ත වෙනවා. නිදහස් ස්වාධීන කොමිෂන් ඇති කර තව දුරටත් පාර්ලිමේන්තුව ශක්තිමත් කළා. අප බලපොරොත්තු වෙන්නේ සමෘද්ධිය සෞභාග්‍ය ඇතිවෙයි කියලා. අපිට කනගාටුවකුත් තිබෙනවා.

ප්‍රධාන ජාතික ප්‍රශ්නය වන ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදිය යුතුයි. දේශපාලන විසඳුමක් ලබාදීමෙන් එකතුවන්න අවස්ථාවක් ලබෙනවා. ජනාධිපතිතුමාත් එයට කැපවී තිබෙනවා.

ශීඝ්‍ර සංවර්ධනය ඇති කරන්න තිබෙනවා. ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. මේ රටේ දියුණු ආර්ථිකයක් ඇති කරගත යුතුයි. ඒවා ඉටු කරන්නයි අප කැපවී සිටින්නේ. 70 සමරන ගමන් 80වන විට රට කොහොමද දියුණු කරන්නේ කියලා. අපේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා සිටිනවා, ශීඝ්‍ර සංවර්ධනයත්, ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමත් ලබාදෙමු.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා - තරුණයකු වශයෙන් මා පෞද්ගලිකව සහභාගී වුණා නිදහස සමරන දිනයේදී. එදා ඩී. එස්. සේනානායක මහතා නිදහස් චතුරස්‍ර‍යේ පැවැති උත්සවය මා නැරඹුවා. අපි එදා එක්සත්වයි සිටියේ. පසුගිය වසර 70 තුළ ප්‍රජාතත්ත්‍රවාදී පාලනය ඡන්ද ක්‍රමය තුළින් ස්ථාපනය කර ‍ගෙන තිබෙනවා. මැතිවරණ ක්‍රමය තුළින් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න බැහැ. බහුවිධත්වයට ගෞරව දැක්වීම තිබිය යුතුයි. එය ඇත්තටම ක්‍රියාත්මක වුණේ නැහැ. බහුතරවාදී මතයක් පමණයක් නියෝජනය වුණේ.

. ඒකීය ශ්‍රී ලංකාවත් තුළ ජිවත්වීමට අපි සියලුදෙනා කැමැත්තෙන් සිටිනවා. අපි ඒ සම්බන්ධයෙන් විසම්මුතියකට එන්නේ නැහැ.

උසස් මාර්ග හා මහා මාර්ග ඇමැති සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - මේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට 2015 ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලතල පාර්ලිමේන්තුවට ලබාදුන්නා. එය ලෝකයේ රාජ්‍ය නයකයෙකු තමන්ගේ බලය පාර්ලිමේන්තුවට ලබාදුන් පළමු අවස්ථාවයි. ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කළා. අගමැතිවරයා අධීක්ෂණ කාරක සභා හඳුන්වා දුන්නා. අපි විපක්ෂයේ සිටින විට කාරක සභාවලට ලැබුණු අවස්ථා විරලයි. අගමැතිතුමා ‍අනුකාරක සභා විපක්ෂයේ මන්ත්‍රීන්ටත් අවස්ථාව ලබාදුන්නා. තොරතුරු දැනගැනීමේ පනත සම්මත කළා. අපේ යුතුකම වෙලා තිබෙනවා පාර්ලිමේන්තු ශක්තිමත් කිරීම සහ මන්ත්‍රීවරුන්‍ ගේ දායකත්වය ලබා ගැනීම. නව ව්‍යවස්ථා සකස් කිරිමට සියලුම මන්ත්‍රීවරුන් සහභාගී වෙනවා. නිදහස ලබන විට අපි ජපානයට විතරයි දෙවැනි වුණේ. එයට හේතු‍වුණේ පක්ෂ දේශපාලනය නිසයි. දැන්වත් අපි එකතු වෙලා මේ රට ගොඩනැගීමට කටයුතු කළ යුතුයි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා -

මැතිණිය පාලනය කරන කාලයේ හමුදා කුමන්ත්‍රණයක් පවා ආවා. නමුත් ඒ සියල්ල පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විසින් පරාජය කරනු ලැබුණා.

ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා - ජනතාවගේ විශ්වාසය පළ කරන ස්වර්ණමය අවස්ථාවක් අද අපි සමරනවා. ශ්‍රී ලංකාව සුබසාධන රාජ්‍යයක් ලෙස ගොඩනැගීමේදී පාර්ලිමේන්තුවෙන් ලැබුණු දායකත්වය අතිවිශිෂ්ඨයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානයක මහතා - මේ ප්‍රජාතන්ත්‍රවාදී කේන්ද්‍රස්ථානයක් බව කිව්වා. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රස්ථානයම තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙල සිඳදැමුවේ.

ජලසම්පාදන හා නගර සැලසුම් ඇමැති රාවුෆ් හකීම් මහතා - ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමක් කළා කිව්වත් ජාතීන් අතර සමඟිය ඇති කර ගැනීමට අප තවමත් සමත්ව නැහැ.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවාන්නද මහතා (ඊපීඩීපී) - පාර්ලිමේන්තුව ශක්තිමත් කිරිමට හා හිටපු වර්තමාන නියෝජනය කරන මන්ත්‍රීවරු කටයුතු කර තිබෙනවා

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා - වසර 70ක් වන පාර්ලිමේන්තු ඉතිහාසයේ කළ පැල්ලමක් හමුවේ අප සිටිනවා. . මැතිවරණයක් නොමැතිනම් පාර්ලිමේන්තු හෝ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන්නේ නැහැ.

කතානායකවරයා - 1947 දී ශ්‍රි ලංකා ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුව පත් කළා. එය අාසියාවේ පැරැණිතම පාර්ලිමේන්තුවයි. දශක හතකට වඩා අපේ පාර්ලිමේන්තු ඉතිහාසයක් තිබෙනවා. එහිදී අපි විශාල ජයග්‍රහණ රැසක් අත් කරගෙන තිබෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කිරිමට ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කිරීමත් කර තිබෙනවා.

තොරතුරු දැනගැනීමේ පනත සම්මත කර තිබෙනවා. ආංශික අධීක්ෂණ කාරක සභාවල සභාපතිත්වය ආණ්ඩු පක්ෂය මෙන්ම විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන්ට ලබාදී තිබෙනවා. අගමැතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමට මසකට වරක් ලබාදී තිබෙනවා. එය අපි ලැබූ ශ්‍රේෂ්ඨ අභිමානයක්. නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමට නව නීති සම්පාදනය කිරීමටත් කාන්තා නියෝජනය වැඩි කිරිමටත් අප නීති සම්පාදනය කර තිබෙනවා. මන්ත්‍රීවරුන් සඳහා චර්යාධර්ම සංග්‍රහයක් අපි ඉදිරිපත් කර තිබෙනවා. එය ඉතාම සුවිශේෂීයි.

තොරතුරු තාක්ෂණය සමග සමගාමීව ඉදිරියට යමින් පරිගණක තාක්ෂණක් හඳුන්වාදීම, විද්‍යුත් ඡන්ද ක්‍රමයක් ඇතිකිරීමට පියවර ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු ජාත්‍යන්තර සබඳතා ගොඩගැනීමට කටයුතු කරගෙන යනවා. විවිධ පරිවර්තන රාශියක් හමුවේ අප පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිමට කටයුතු කර ඇත්තෙමු. ඔබ සියලුදෙනාටම සෞභාග්‍යතමත් අනාගතයක් පතමි.

පාර්ලිමේන්තු‍ව ලබන 09 වැනිදා පස්වරු 1.00ට යළි රැස්වේ.
« PREV
NEXT »