BREAKING NEWS
latest

728x90

468x60

Sunday, October 29, 2017

නිධන් කොල්ලයක්‌ - ඇමැති දෙන්නෙක්‌ - STF පාතාල ගැටුමේ ඇත්ත කතාව මෙන්න

රන්දීර් වත්තල, හැඳල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ ඥති නැන්දනියක විවාහ වී සිටියේ ගම්පහ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන එජාපයේ ප්‍රබල ඇමැතිවරයකු සමඟයි. මෙම ඇමැතිවරයා නිරන්තරයෙන්ම ජනතාව සහ මාධ්‍ය අතර කතාබහට ලක්‌වන පුද්ගලයෙකි. සමහරු වයාග්‍රා යන අන්වර්ථ නාමයෙන්ද මොහුව හඳුන්වති.

ඥති සම්බන්ධතාව අනුව රන්දීර් එම ඇමැතිවරයා සමඟ ඉතා සමීප සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගත්තේය. එලෙස කලක්‌ ගතවෙද්දී ඇමැතිවරයාගේ සුවච කීකරු ගෝලයා බවට පත්වූයේ රන්දීර් ය. ඉන්පසු එම ඇමැතිවරයාගේ සියලුම දහජරා වැඩ සිදු කළේ මොහුය. 

කලක සිට මොහුට දැඩි පාතාල උණක්‌ සෑදී තිබුණි. ඔහු පාතාල අපතයන් ඇසුරු කිරීමට විශාල කැමැත්තක්‌ දැක්‌විය. ඇමැතිවරයාට සමීපවීමත් සමඟ මොහු

ගේ පාතාල උණ තව තවත් වැඩිවිය. ඒ අනුව මොහු ඇමැතිවරයාගේ දේශපාලන බලයද පාවිච්චි කරමින් පාතාල අපතයන් ඇසුරු කිරීමට පටන් ගත්තේය. 

බන්ධනාගාර බස්‌ රථයක ගමන් කරමින් සිටියදී "දෙමටගොඩ චමින්ද" නමැති පාතාල නායකයාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ "මාකිලන්ගමුවේ

සංජීව" ගේ කල්ලිය, "සමයං" නමැති පාතාල නායකයා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන අංගොඩ ලොක්‌කාගේ කල්ලිය සහ දරුණු ගණයේ අපරාධ රැසකට සම්බන්ධ "කොලොන්නාවේ චාමර" ගේ කල්ලිය සමඟ මොහු සමීප සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගත්තේය. 

එම පාතාල අපතයන්ද රන්දීර් ඉතා ළඟින් ඇසුරු කළහ. ඒ ඔහුට තිබුණ දේශපාලන හයිය නිසාය. එම අපතයෝ සිදු කරන බොහෝ අපරාධ කල්තියාම රන්දීර් දැන සිටියහ. එම සමහර අපරාධ සිදු කිරීම සඳහා මොහු නන් අයුරින් උදව් උපකාර පවා සිදු කළේය.

කලක සිට එම ඇමැතිවරයාට විශාල උවමනාවක්‌ තිබුණි. ඒ තමාගේ සියලු බැල මෙහෙවරකම් කරන ඥති බෑණා වන රන්දීර්ව දේශපාලනයට ගෙන ඒමයි. ඒ අනුව බස්‌නාහිර පළාත් සභාවට එජාපයෙන් තරග කිරීම සඳහා රන්දීර්ට අවස්‌ථාව සලසා දුන්නේය. එම අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් රන්දීර් පළාත් සභා මන්ත්‍රීවරයකු බවට පත්වූවේය. 

පළාත් සභා මන්ත්‍රීවරයකු වූ පසු රන්දීර්ගේ මැරකම් තවත් වැඩිවිය. ගම්පහ ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමටද මොහු අත ගහන්නේ ඒ අනුවයි. තිබෙන දේශපාලන බලය නිසා සමහර පොලිස්‌ නිලධාරීන්ද මොහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකරති. 

ගම්පහ ඔස්‌මන් ව්‍යාපාරිකයෙකි. කලක්‌ ඔහුද පාතාල ලෝකය සමඟ සමීප සම්බන්ධතා තිබූ අයෙකි. දැන් එයින් මිදී ඔහු ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරයි. හෙරොයින් ජාවාරමට ඔහු දැඩි විරෝධයක්‌ දක්‌වන පුද්ගලයෙකි. ගම්පහ නගරයේ හෙරොයින් ජාවාරම්කරුවන්ට විරුද්ධව ඔහු ප්‍රසිද්ධියේ විරෝධය පළ කරයි. 

රන්දීර්ගේ හෙරොයින් ජාවාරමටද ඔහු තදබල ලෙස විරෝධය පළකරයි. එම නිසා රන්දීර්ගේ ගෝල බාලයන්ට ගම්පහ නගරයේ හෙරොයින් විකිණීමට නොහැකි තත්ත්වයක්‌ උදාවිය. එම නිසා රන්දීර් සිටියේ ඔස්‌මන් සමඟ බද්ධ වෛරයකිනි. 

එන්න එන්නම රන්දීර්ගේ හෙරොයින් ජාවාරමට ඔස්‌මන්ගෙන් විවිධ ආකාරයේ බාධා එල්ල විය. අවසානයේ ඔස්‌මන්ව ඝාතනය කිරීමට රන්දීර් තීරණය කළේය. ඒ අනුව තමාගේ සමීප පාතාල අපතයෙක්‌ වන මාකිලන්ගමුවේ සංජීවට ඔස්‌මන් ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව රන්දීර් ලබා දුන්නේය. ඒ අනුව එම පාතාල අපතයා මාස කිහිපයකට ඉහතදී ගම්පහ ප්‍රදේශයේ දී ඔස්‌මන්ට වෙඩි තැබුවේය. එහෙත් කිසිදු තුවාලයක්‌ නොලබා ජීවිතය බේරා ගැනීමට ඔස්‌මන්ට හැකිවිය. 

මාකිලන්ගමුවේ සංජීව නමැති පාතාල අපතයා දරුණු ගණයේ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකි. දැනට මරණීය දණ්‌ඩනයට ලක්‌ව ඇති දෙමටගොඩ චමින්ද නමැති පාතාල නායකයා රැගෙන යමින් තිබූ බස්‌ රථයට වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වූයේද මොහුය. 

දැනට වසර හතකට පමණ ඉහතදී පෑලියගොඩ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් රුපියල් කෝටි හතකට අධික මුදලක්‌ මංකොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේද මාකිලන්ගමුවේ සංජීව නමැති මෙම පාතාල අපතයාය. මෙම අපරාධ සඳහා මොහුව පොලිස්‌ ත්‍රස්‌ත විමර්ශන කොට්‌ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. 

පොල්වත්තේ නිශාන්ත නමැති පාතාල අපතයාද රන්දීර්ගේ ගජ මිතුරෙකි. ඔහුද අවස්‌ථා ගණනාවකදී රන්දීර්ගේ තක්‌කඩි වැඩවලට උදව් කළ අයෙකි. කළුතර එතනමඬල ප්‍රදේශයේ දී පාතාල නායක "සමයං" ඇතුළු පිරිස ඝාතනය කිරීමටද මෙම පාතාල අපතයා සහභාගි වී තිබුණි. එයට අමතරව තවත් අපරාධ රැසකට මොහු සම්බන්ධ වූවෙකි. 

පාතාල අපතයන් ඇසුරු කිරීම සහ හෙරොයින් ජාවාරම ආදී දහජරා කටයුතුවලද නිරත වෙමින් ඥති ඇමැතිවරයාගේ බැල මෙහෙවරකම්ද රන්දීර් අකුරටම සිදු කළේය. 

කලක්‌ මෙරට විශිෂ්ට ගණයේ යුද සෙන්පතියකු වී සිට පසුව දේශපාලන කටයුතුවල නිරත වෙමින් තම ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම වෙනස්‌ කර ගත් එජාපයේ තවත් එක්‌ ඇමැතිවරයෙක්‌ව රන්දීර් ළඟින්ම ඇසුරු කරයි. වෙල් විදානේ යන නමින්ද එම ඇමැතිවරයාව සමහරු හඳුන්වති. ඔහුගේ ඕනෑ එපාකම් රාශියක්‌ ඉටු කරන්නේද රන්දීර්ය. 

මෙයට අමතරව එජාපයේ තවත් තරුණ මහළු මන්ත්‍රීවරුන් රැසක්‌ මොහුගේ හිතවතුන් වෙයි. එම ඇසුරුකම් මත වර්තමාන ආණ්‌ඩුව තුළ විශාල දේශපාලන හයියක්‌ මොහුට තිබේ. එම දේශපාලන බලයද උපයෝගී කර ගනිමින් ඇතැම් අවස්‌ථාවලදී මොහු පාතාල අපතයෝ සමඟ විවිධ සමාජ විරෝධී ක්‍රියාවල නිරත වෙති. 

නිශ්ශංකමල්ල රජුන්ට අයත් යෑයි කියන නිධානයක්‌ දැනට සති කිහිපයකට ඉහතදී යම්කිසි පිරිසක්‌ ගොඩගෙන තිබුණි. එම නිධානය ගොඩගත් පිරිස පසුගිය ආණ්‌ඩුව සමයේ කැලණිය ආසනය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ගෝලයන් බවට සැක කරති. හිටපු එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දැන් දේශපාලන අතින් නන්නත්තාර වී නිවසට වී කාලය ගත කරයි. 

එලෙස ලබාගත් නිධානය එම පිරිස විසින් දිවුලපිටිය නිවසක තබා තිබුණි. ඒ වැඩිදුර ආරක්‌ෂාව සඳහා ය. මාකිලන්ගමුවේ සංජීව නමැති පාතාලයාට මෙම නිධානය ගැන තොරතුරු අනාවරණය විය. ඒ ඔහුගේ ගෝලයෙක්‌ හරහා ය. ඉන්පසු ඉතා සූක්‍ෂම ලෙස මෙම පාතාලයා එම නිධානය ගැන තොරතුරු සොයන්නට විය. ඒ අනුව නිධානය දිවුලපිටියේ නිවසක්‌ තුළ ස්‌ථීර ලෙසම තිබෙන බව මොහු දැන ගත්තේය. 

නිධානය පිළිබඳව සියලු තොරතුරු දැනගත් සංජීව, රන්දීර් මුණ ගැසීමට ගියේය. "ලොක්‌කා නියම වැඩක්‌ තියෙනවා කරනව නම්. පොඩි දෙයයි කරන්න තියෙන්නේ. ඉන් පස්‌සේ කෝටි ගාණක්‌ අපේ අතේ" යෑයි පවසමින් නිධානය ගැන සියලු විස්‌තර පැවසුවේය. 

සල්ලි වෙනුවෙන් ඕනෑම වැඩක්‌ කිරීමට රන්දීර් සූදානමින් සිටියේය. ඒ නිසා නිධානය ලබා ගැනීමට මොහු එකහෙළාම කැමැති විය. 

කල් යවන්නේ නැතිව මේ ගේම් එක ඉක්‌මනට ගහලා දාමු. උඹ හොඳ ටීම් එකක්‌ සෙට්‌ කරගනින්. ඉතිරි ටික මම බලා ගන්නම්" රන්දීර සංජීවට පැවසුවේය. 

සංජීව ගේම් එක ගැසීම සඳහා හොඳම ගෝලයන් පිරිසක්‌ තෝරා ගත්තේය. ඒ අය අතර මිනුවන්ගොඩ කුරේ, ගම්පහ ඔස්‌මන්ට වෙඩි තැබීම සඳහා සහභාගි වූ කිහිප දෙනෙක්‌ සහ කොළොන්නාවේ චාමරගේ කල්ලියේ කිහිප දෙනෙක්‌ද සිටියහ. 

ඒ අනුව රන්දීර්, සංජීව ඇතුළු මෙම කල්ලියේ දහ දෙනෙක්‌ සිටියහ. රහසිගත ස්‌ථානයක හමුවී ඔවුහු නිධානය කොල්ල කන අයුරු ගැන අවසන් සාකච්ඡාවකද නිරත වූහ. ඒ පසුගිය 21 වැනිදාය. 

කෙතරම් රහසිගතව සාකච්ඡා කළත් මොවුන්ගේ මේ අපරාධ සැළසුම පිළිබඳව පොලිස්‌ විශේෂ කාර්ය බළකායට තොරතුරු ලැබී තිබිණි. ඒ අනුව ක්‍රියාත්මක වූ එම නිලධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූහ. 

නිධානය කොල්ල කෑම සඳහා යන දිනය උදාවිය. ඒ පසුගිය 23 වැනිදාය. ගේම් එකේ ප්‍රධානීන් ලෙස කටයුතු කළේ රන්දීර් සහ සංජීවයි. ඒ අනුව ඔවුන් විශේෂ අංක යෙදූ ඩොල්පින් වර්ගයේ වෑන් රථයක පිස්‌තෝල දෙකක්‌, සෙල්ලම් පිස්‌තෝලයක්‌ සහ ජීව අත් බෝම්බයක්‌ රැගෙන දිවුලපිටිය බලා යැමට පිටත් විය. එවිට වේලාව දොළහ පසුවී තිබුණි. 

වෑන් රථයේ සිටි සියලු දෙනාම කිසිම කරදරයකින් තොරව නිධානය රැගෙන ඒමට පුළුවනැයි සිතූහ. පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මෙ සැලසුම ගැන කල්තියා දැනගෙන සිටි බව මොවුහු නිකමටවත් නොසිතූහ. 

ඒ වන විටත් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මෙම පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබිණි. ඒ අනුව පොලිස්‌ නිලධාරීහු පිරිසක්‌ බල්ලපාන - දූනගහ මාර්ගයේ රැකවල්ලා සිටියහ. 

අධික වේගයෙන් පැමිණි රන්දීර්ලා රැගත් වෑන් රථය එම ස්‌ථානයට ළඟා විය. දුරතියාම එම පිරිස පොලිස්‌ නිලධාරීන් සිටිනු දුටුවෝය. 

"ලොක්‌කා පොඩි අවුලක්‌ තියෙනවා. එස්‌.ටී.එෆ්. එක ඉන්නවා ඉස්‌සරහින්. නැවැත්තුවොත් අවුලක්‌ වෙනවා. මොකද කරන්නේ අපි" සංජීව පැවසුවේය. 

"මොනම හේතුවකටවත් නවත්වන්න එපා. අපි කඩාගෙන යමු. බැරි වුණොත් වෙඩි දෙක තුනක්‌ තියලා පැනලා යමු" රන්දීර් පැවසුවේය. 

දුරතියාම එම වෑන් රථය නවතන ලෙස පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු සංඥ කළහ. එහෙත් රන්දීර් ඇතුළු පිරිස එම අණ නොතකා වෑන් රථය තුළ සිටම එම නිලධාරීන්ට වෙඩි තැබූහ. එන තත්ත්වය හොඳ නැති බව තේරුම්ගත් එම නිලධාරීහු ක්‍ෂණිකව ප්‍රති ප්‍රහාර එල්ල කළහ. ඒ සමඟම වෑන් රථයේ සිටි රියදුරු අන්දමන්ද විය. වෑන් රථය ඔහුට පාලනය කර ගැනීමට නොහැකිව මීටර් කිහිපයක්‌ ඉදිරියට ගොස්‌ නැවතුණි. 

වෑන් රථයේ සිටි කිසිවකුත් යටත් වීමට කැමැති වූයේ නැත. ඔවුන් පොලිස්‌ නිලධාරීන්ට වෙඩි තබමින් කැලෑබද ප්‍රදේශයට පැන යැමට සැරසුණේය. එම නිලධාරීන්ද සැකකරුවන් දෙසට ප්‍රති ප්‍රහාර එල්ල කළේ කෙසේ හෝ ඔවුන්ව අල්ලා ගැනීමටය. 

තත්ත්වය එන්න එන්නම දරුණු විය. එම ප්‍රදේශය පුංචි යුද පිටියක ස්‌වරූපය ගත්තේය. සැකකරුවන් සහ පොලිස්‌ නිලධාරීන් අතර දිගින් දිගටම වෙඩි හුවමාරු විය. 

සැකකරුවකු එල්ල කළ එක වෙඩි පහරක්‌ එස්‌.ටී.එෆ්. නිලධාරියකුගේ පපුවට වැදුණි. එහෙත් ඔහුට හානියක්‌ සිදු නොවූයේ වෙඩි නොවදින ආරක්‌ෂිත කබා පැළඳ සිටි නිසාය. 

සැකකරුවන් දෙදෙනකුට වෙඩි වැදුණි. ඉන් එක්‌ සැකකරුවෙක්‌ එම ස්‌ථානයේදීම මියගිය අතර වෙඩි වැදුණු අනෙක්‌ සැකකරු පලා ගියේය. ඒ අතර තවත් සැකකරුවන් කිහිප දෙනෙක්‌ පැන යැමට සැරසුණු අතර ඉන් කිහිප දෙනෙක්‌ අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන්ට හැකි විය. 

පලාගිය සැකකරුවන් පසුපස හඹා ගිය එම නිලධාරීහු තවත් කිහිප දෙනෙක්‌ අත්අඩංගුවට ගත්හ. ඒ අතර තවත් සැකකරුවකු අත්හැර දැමූ ළිඳක වැටී සිටියදී අත්අඩංගුවට ගත්තේය. 

මාකිලන්ගමුවේ සංජීව සහ සමයං ඝාතනයට පැමිණි පාතාලයන් දෙදෙනා එම නිලධාරීන්ට සොයා ගැනීමට නොහැකිවන අයුරින් පලාගියහ. වෙඩි වැදුණු අනෙක්‌ සැකකරු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් වූ අවස්‌ථාවේදී අත්අඩංගුවට පත්විය. පසුව ඔහුගේ තත්ත්වය බරපතළ නිසා ගම්පහ මහ රෝහලට මාරුකර යවන ලදී.

වෙඩි වැදී මියගියේ මාකිලන්ගමුව සංජීවගේ හොඳම ගෝලයකු වූ මිනුවන්ගොඩ කුරේ හෙවත් නාවලගේ කුෂාන් තක්‍ෂිල කුරේ ය. ඔහු මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය එක සැකකරුවකු අසල තිබී පිස්‌තෝලයක්‌ද එම නිලධාරීන් සොයාගෙන තිබුණි. ඒ අනුව මංකොල්ලය සඳහා සහභාගි වූ සැකකරුවන් දස දෙනාගෙන් හත් දෙනකු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීහු සමත් වූහ. 

එම මෙහෙයුමෙන් අනතුරුව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සැකකාර එජාප පළාත් සභා මන්ත්‍රී රන්දීර් රුද්‍රිගුගේ නිවස වැටලූහ. එහිදී එම නිවසේ සිවිලිමේ සඟවා තිබූ උණ්‌ඩ 115 ක්‌, වෙඩි නොවදින ඇඳුමක්‌, පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 68 ක්‌, කඩුවක්‌ සහ කිනිස්‌සක්‌ සොයාගෙන තිබුණි. 

එයට අමතරව එම සැකකාර එජාප පළාත් සභා මන්ත්‍රීවරයාගේ බිරිඳවද අත්අඩංගුවට ගෙන තිබුණි. ඇය ඉන්දියානු ජාතික කාන්තාවකි. 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සැකකාර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රුද්‍රිගු ගැන වහාම පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස එජාපයේ මහ ලේකම් කබීර් හෂීම් මහතාට පවසා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් සියලු දෙනාව රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය. පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එච්. ආර්. ලතීෆ් මහතාගේ අධීක්‍ෂණය සහ උපදෙස්‌ මත වැඩිදුර විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරේ. 

මෙම පාතාලය සම්බන්ධ පළාත් සභා මන්ත්‍රීවරයා බේරා ගැනීම සඳහා වත්මන් ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරු දෙදෙනෙක්‌ බලපෑම් එල්ල කරන බව "දිවයින" පුවත්පත මගින් අපි තරයේ කියා සිටියෙමු. එහෙත් පොලිස්‌පති පූජිත් ජයසුන්දර සහ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා තරයේ කියා සිටිනුයේ කිසිදු ඇමැතිවරයෙක්‌ එම පාතාල සාමාජිකයාව බේරා ගැනීම සඳහා තමන්ට බලපෑම් නොකළ බවයි. 

දැනට රක්‌ෂිත බන්ධනාගාරගතව සිටින සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයා බේරා ගැනීම සඳහා එජාපයේ එම ඇමැතිවරු දෙදෙනා ගන්නා උත්සාහය පිළිබඳව රටම දනී. එහෙත් පොලිස්‌පතිවරයා එවැනි බලපෑම් ඇති නොවූ බව පවසා සිටින්නේ හතරවැනි වතාවටත් නීතිය නැමීමට දැයි අපි නොදන්නෙමු.
« PREV
NEXT »