BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, October 24, 2017

දිවුලපිටිය වෙඩි තැබීමේ සිද්ධියේ UNP මන්ත්‍රී රන්දීර්ගේ බිරිඳත් අත්අඩංගුවට

දිවුලපිටිය, දූනගහ, බල්ලපාන මාර්ගයේ හේන්පිටගෙදර ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගූගේ හැඳල නිවසේ තිබී පිස්තෝල උණ්ඩ 100ක වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබේ.


ඊට අමතරව ඔහුගේ බිරිඳ ද ඊයේ (23) රාත්‍රියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හේන්පිටගෙදර ප්‍රදේශයේ දී ඊයේ දහවල් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කොල්ලකරුවන් පිරිසක් අතර සිදු වූ වෙඩි හුවමාරුවේදී පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලැබී ය.

වෑන් රථයයේ ගමන් කරමින් සිටි කොල්ලකරුවන් 07 දෙනෙකු ද විශේෂ කාර්ය බලකාය එහි දී අත්අඩංගුවට ගත් අතර බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්දීර් රොද්‍රගූ ද ඒ අතර සිටී.

කෙසේ වෙතත්, පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැඩිදුර විමර්ශනයේ දී අනාවරණ වී ඇත්තේ ඔවුන් ගමන් ගත් වෑන් රථයෙහි පාතාල සාමාජිකයින් 11 දෙනෙකු පැමිණ ඇති බවයි.

ඉන් දෙදෙනෙකු පළා ගොස් ඇති අතර එක් අයෙකු කළුතර බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව ද අනාවරණ වී තිබේ.

ඔහු පොල්වත්තේ නිශාන්ත නමින් හඳුන්වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කරයි.

එම පිරිස කොල්ලකෑමක් සඳහා පැමිණෙමින් සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ වෙත තොරතුරක් ලැබී තිබූ අතර, අදාල වෑන් රථය පරික්ෂා කිරීමට යාමේ දී කොල්ලකරුවන් වෙඩි තබා තිබේ.

එම අවස්ථාවේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් ද වෙඩි තබා ඇති අතර, එහි දී ජීවිතක්ෂයට පත්වුණේ නාවලගේ කුෂාන් තක්ෂිල කුරේ නැමැති මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පමණ පුද්ගලයෙකි.
ඔවුන් ගමන් ගත් වෑන් රථයේ තිබී පිස්තෝල දෙකක්, අත්බෝම්බයක් සහ ප්ලාස්ටික් පිස්තෝලයක් පොලිස් විශේෂ කාර්යබලකාය සොයා ගනු ලැබී ය.

සැකකරුවන් අතර ගම්පහ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකුවන ඔස්මන් ගුණසේකරට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ මාකිලන්ගමුවේ සංජීව නමැති පාතාල නායකයාගේ අනුගාමික පිරිසක් ද සිටින බව පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ය.
« PREV
NEXT »