BREAKING NEWS
latest

728x90

468x60

Sunday, November 26, 2017

යලි රැවටෙන්නේ නෑ - මහින්ද

ඒකාබද්ධ විපක්‌ෂය මේ වන විට වෙනම පෙරමුණක්‌ බවට පත් වෙමින් පොහොට්‌ටුව ලකුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් එළිදැක්‌වී සිටී. ශ්‍රී ලංකාවේ පස්‌ වෙනි ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා එහි නිල නොවන නායකයා ලෙස රට හඳුනාගෙන තිබේ. පසුගිය සති අන්තයේ අනුරාධපුර නගරයේ පවත්වන ලද ජන රැලිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියක්‌ සේ බොහෝ දෙනා දුටහ. මේ සියලු කාරණා අතුරෙන් ඉදිරියට ඇදෙමින් තිබෙන්නේ, එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී මහින්ද රාජපක්‌ෂ මහතා නායකත්වය දෙන බලවේගය තරග කරන්නේ කෙසේද යන්නය. අත සමග පොහොට්‌ටුව එකතු වෙනවාද…? නැතිනම් තනිවම තරග කරනවාද…? මේ ප්‍රධාන ප්‍රශ්න දෙක සහ වර්තමාන දේශපාලනයේ කරුණු කාරණා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සමග කරන ලද සාකච්ඡාව මතු දැක්‌වේ.

ප්‍රශ්නය – අයවැය වාර්තාව ඉදිරිපත් කරන අවස්‌ථාවේ පාර්ලිමේන්තුවට බයිසිකලයෙන් පැමිණිය නිසා, ඔබ බයිසිකලයට වැටිලා කියලා සමහර ප්‍රතිවාදීන් චෝදනා කරන්න පටන් අරගෙන තිබුණා… ඒ නිසා ඔබගෙන් අපි මුලින්ම දැනගන්න කැමතියි, ඔබගේ දේශපාලන බලවේගය පිළිබඳව ඔබට තිබෙන තක්‌සේරුව

පිළිතුර – තව ටික දවසක්‌ ගියා නම් මුළු රටටම යන්න වෙන්නේ බයිසිකලයෙන් හරි, කරත්තෙන් හරි, පයින් හරි, තමයි. රටට තෙල් ටික ගෙන්න ගන්න සැලසුමක්‌ නැති ආණ්‌ඩුවක ඉඳන් අපි බයිසිකලයට වැටිලා කියලා කියන පිරිසකුත් ඉන්න එක ගැන තමයි මට තියෙන පුදුමේ… මේ ආණ්‌ඩුව මේ රට වට්‌ටපු තැන ගැන රටේ ජනතාව දන්නවා… අපිට හොරු කියලා කියපු අය කරපු හොරකම් අද එළියට ඇවිල්ලා තියෙනවා. මේ සියල්ල දෙස ජනතාව බලාගෙන හිටියා. ඒ නිසා තමයි, අද වෙනකොට වෙනස වෙනස්‌ කරමු කියන සටන් පාඨය මේ රටේ ජනතාව අතට අරගෙන තියෙන්නේ… අද ගොඩනැඟිලා තියෙන ආණ්‌ඩු විරෝධය මේ රටේ ජනතාව විසින් ඇති කරපු එකක්‌… එදා ජනවාරි අට වෙනිදා අපිව පරාජයට පත් කළේ, ජනතා විරෝධයකින් නෙමෙයි. කුමන්ත්‍රණයකින්… නමුත් අද ගොඩනැගිලා තියෙන්නේ ජනතා විරෝධයක්‌… අපි ඒකට නායකත්වය දෙනවා… ඒ සඳහා සංවිධානත්මකභාවයක්‌ ලබා දෙනවා. එදා රාජපක්‌ෂලා ඉවරයි කිය කියා ගියපු අයට අපි පිටිපස්‌සෙන් එන්න වෙලා තියෙන්නේ, ඒකෙන්ම පේනවා, අපි ඉන්නේ කොතැනද කියලා. දේශපාලනයේදී කවදාවත් හිතන්න නරකයි, සතුරාව සදාකාලිකව පරාජය කරලා හෝ යටපත් කරලා තියන්න පුළුවන් කියලා… ජනතා බලවේගය කියන එක නැගිටපු දාට ආණ්‌ඩු බලයට හෝ වෙන යම් බලයකට ඒක පරාජය කරලා යන්න බැහැ. පනස්‌ හයේ මහජන එක්‌සත් පෙරමුණ දිනපුවහම, එදා හිටපු නායකයෝ කිව්වේ, එජාප මිනි පෙට්‌ටියට ඇන ගහලා, වළ දැම්මා කියලයි. එදා ආසන අටක්‌ අරන් පරාජය වෙච්ච එජාපය, හැත්ත හතේදී ශ්‍රීලනිපය ආසන අටට වැට්‌ටුවා. එදා එජාපය හිතුවා, දැන් අපි තමයි දිගටම ආණ්‌ඩු කරන්නේ, ශ්‍රීලනිපය ඉවරයි කියලා. එහෙම තිබ්බ ශ්‍රීලනිපය අනු හතරේදී බලයට ගෙනාවේ අපි. එදා අපි පාද යාත්‍රා ගියා. ජනඝෝෂා කළා. අත්වැල් ඇල්ලුවා… එහෙම කරන කොට එදා ආණ්‌ඩුවේ හිටපු අය අපෙන් ඇහැව්වේ ‘මෙහෙමද ආණ්‌ඩු පෙරළන්නේ…’ කියලයි. අනූහතරේදී අපි ආණ්‌ඩුව පෙරලුවේ නැද්ද…? අපි අද බයිසිකලයට වැටිලද කියලා අහන අයට මම ඒක මතක්‌ කරන්න කැමතියි…

ප්‍රශ්නය – බයිසිකලයෙන් ආවාට අයවැය පරද්දන්න හෝ ආණ්‌ඩුවට දැනෙන දෙයක්‌ කරන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නය…?

පිළිතුර – විපක්‌ෂයක්‌ විදිහට නායකකම් නැතිවුණාට, සංවිධායකකම් නැතිවුණාට, මේ රටේ ප්‍රධාන විපක්‌ෂය අපි බව ලෝකයම දන්නවා. ඒ නිසා තමයි දේශපාලන ශබ්ද කෝෂයට ඒකාබද්ධ විපක්‌ෂය කියලා වචනයක්‌ ආවේ… එකේ ඇත්ත තේරුම තමයි සැබෑ විපක්‌ෂය කියන එක… එහෙම නැතුව ජනවාරි අට වෙනිදා වෙනකම් හිටපු හංස කණ්‌ඩායම ආණ්‌ඩුවක්‌ විදිහට කොටසකුත්, විපක්‌ෂය විදිහට තව කොටසකුත් අසුන් ගැනීම විපක්‌ෂයේ භූමිකාව නෙමෙයි. ඒ තරමට මේ අය අධිතක්‌සේරුවකයි හිටියේ… අද මොකද වෙලා තියෙන්නේ… අද මේ සියලු දෙනාම දවල් රෑ නැතුව කල්පනා කරන්නේ ඒකාබද්ධයේ බලවේගය පරාජය කරන්නේ කොහොමද කියලයි. ඒ කියන්නේ අපේ තරම මේ අයට හොඳට දැනිලා කියන එකනේ… හිරගෙවල් වල දාලා, තව තවම දඩ ගහලා අපිට රිද්දන්න හදන්නේ… අපිට බය නැත්නම්, අපි බලවේගයක්‌ නෙමෙයි නම් ඡන්දය තියන්න කියන්නකෝ… කොහොම හරි ඇදලා, ඇදලා පළාත්වල සීමා නිර්ණය ගැසට්‌ කළා. එහෙම කරලා මොකද කළේ, දැන් මේ අයම තමන්ගේ හෙන්චයියලා දමලා ඡන්දය කල් දාන්න කියලා අධිකරණයට පෙත්සම් දානවා. ඔහොම බය තිබ්බාම මදැයි…

ප්‍රශ්නය – අනුරාධපුරේ රැලියේදී ඔබ ප්‍රකාශ කළේ ‘මම කා එක්‌කවත් ඩීල් දාන්නේ නැහැ. මගේ ඩීල් එක තියෙන්නේ ජනතාවත් එක්‌ක විතරයි’ කියලා. එහෙම කිව්වට දැන් කතා පැතිරෙන්නේ, ඔබ සහ ශ්‍රීලනිපය අතර ඩීල් එකක්‌ තියෙනවා කියලයි. පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අත සහ පොහොට්‌ටුව අතර සන්ධානයක්‌ ඇතිවෙන්න යනවාද…?

පිළිතුර – ඒවා කියන්නේ ඒ අයනේ… මම රනිල් එක්‌ක ඩීල් දානවා කියලා කිව්වේ, ඔය අයමනේ… මම එයාලත් එක්‌ක ඩීල් දානවා කියලා දැන් කියනවා. ඔය දේශපාලනයේ හැටි… ඔහොම කටකතා යනවා. අපි ඉටු කරන්නේ ජනතාවගේ වුවමනාව… මම කලින් කිව්වා වගේ ඒකාබද්ධ විපක්‌ෂය කියන්නේ ජනතාවගේ බලවේගයක්‌… ඒක හැදුවේ ජනතාව. මම පරාජය වුණහම නුගේගොඩට එක්‌ රැස්‌ වෙලා නිර්මාණය වෙච්ච් බලවේගය තමයි, අද ඔය ඒකාබද්ධ විපක්‌ෂය කියලා නැත්නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා තියෙන්නේ… එකේ තීන්දු තීරණ ගන්නෙත් ඒ බලවේගය හදපු ජනතාවමයි.

ප්‍රශ්නය – ඒ කියන්නේ ඔබගේ නායකත්වය තුළින් මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ පොහොට්‌ටුවෙන් කියලද…?

පිළිතුර – වෙනම ඉල්ලනවා නම් ඉල්ලන්න වෙන්නේ පොහොට්‌ටුවෙන් තමයි. වෙන තැනක්‌ නැහැනේ. රටේ දේශපාලන තත්ත්වය අනුව මට පේන්නේ පොහොට්‌ටුවෙන් ඉල්ලන පාටත් තියෙනවා… දිනන පාටත් තියෙනවා. අපි ඉන්න තැනට ජනතාව ඇදගෙන එන්න බැහැ… ජනතාව ඉන්න තැනට අපි යන්න ඕනේ…

ප්‍රශ්නය – මෙතැනදී මත දෙකක්‌ තිබෙනවා. මහ මැතිවරණයේදී වගේ ආයෙත් ඔබ රැවටෙනවා ද කියලා, සමහරු අහනවා. ශ්‍රීලනිපය දෙකට කඩනවා ද කියලා.

පිළිතුර – පක්‌ෂය දෙකට කඩන්නේත් නැහැ… රැවටෙන්නෙත් නැහැ.

ප්‍රශ්නය – මේ දෙකම එකට කරන්න බැහැනේ…

පිළිතුර – පක්‌ෂය කියන්නේ මොකක්‌ද…? පක්‌ෂය කියන්නේ නමක්‌වත්, පාටක්‌වත් ලකුණක්‌වත් නෙමෙයිනේ… ඔයාට කඩයක්‌ තියෙනවා කියලා හිතමුකෝ… එකේ බෝඩ් එක හොරෙක්‌ අරගෙන ගියොත්, කඩේ අයිති වෙන්නේ හොරාට ද…? බෝඩ් එක නැති වුණ නිසා අපි අලුත් බෝඩ් එකක්‌ ගහගත්හම ඒ කියන්නේ වෙන කඩයක්‌ කියන එක නෙමෙයිනේ… අලුත් බෝඩ් එකක්‌ කියන එක විතරනේ… මෙතැනත් වෙලා තියෙන්නේ එකමනේ… දැන් පක්‌ෂය අරගෙන ඉන්නේ වෙන කට්‌ටියක්‌නේ… ඒගොල්ලෝ කියනවා නම්, පක්‌ෂය ඒගොල්ලන්ගේ කියලා, ඒ අය දැනගන්න ඕනේ පක්‌ෂය රැකගන්න. මම පක්‌ෂයේ නායකත්වය දරපු කාලේ පක්‌ෂය රැක ගත්තේ මමනේ… මේ අය මාව පක්‌ෂ නායක කමෙන් අයින් කරවලා, දැන් කියනවා මම පක්‌ෂය කඩනවා කියලා. මම පක්‌ෂය කඩනවා කියන්නේ පක්‌ෂයේ මතය තියෙන්නේ මමත් එක්‌ක කියන එකනේ. ඒ කියන්නේ ශ්‍රීලනිපය තියෙන්නේ අපි වටා බව ඒ අයත් පිළිගන්නවා. අපි එජාපයත් එක්‌ක ආණ්‌ඩු හදලා පක්‌ෂය පාවලා දුන්නේ නැහැ. අපි තමයි ශ්‍රීලනිපය රැක ගත්තේ… අද පක්‌ෂයේ අයිතිකාරයෝ කියලා කියන උදවිය පක්‌ෂයට කරපු දේ ජනතාව දන්නවා.

පක්‌ෂය ඒගොල්ලොන්ගේ නම් ඒක රැක ගන්න ඕනෙත් ඒ අය. මම ඒකට මහන්සි වෙන්න ඕනේ නැහැනේ…

ප්‍රශ්නය – ඔබ මේ කියන දෙයින් පැහැදිලි වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම ඉල්ලනවා කියන එකනේ…

පිළිතුර – මෙතැනදී තේරුම් ගන්න ඕනේ එක දෙයයි… ආණ්‌ඩුවේ ඉන්න ශ්‍රීලනිපයේ පිරිස, පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්නේ මට. ඒ අය විවිධ හේතු නිසා වෙන තැන්වලට ගිහිල්ලා හිටියාට එයින් බොහෝ දෙනෙක්‌ ඉන්නේ මා එක්‌ක… ඔය සමහර මැති ඇමතිවරු ගත්තත් එහෙමයි. මට මේ අය පාර්ලිමේන්තුවේදී හම්බුවෙනව නේ… ඒ සියලු දෙනා අපේ අය ලෙසයි අපි හඳුනා ගන්නේ. එජාපයත් එක්‌ක ආණ්‌ඩු හැදුවාට මෙයින් බහුතරයක්‌ විරුද්ධයි. ඒ අය වෙනුවෙනුත් අපි පෙනී සිටින්න ඕනේ… පක්‌ෂයේ තියෙන එකමුතුව අපි කඩාගන්න ඕනේ නැහැ. නමුත් ශ්‍රීලනිපයේ ප්‍රතිපත්තිය අද පක්‌ෂය තුළ නැහැ. ඒ වෙනුවට පක්‌ෂය තුළ ක්‍රියාත්මක වෙන්නේ එජාපයේ සහ බෙදුම්වාදයේ ප්‍රතිපත්ති. මෙහෙම් රාජ්‍ය ආයතන විකුණන කොට ශ්‍රී ලංකාකාරයන්ට ආණ්‌ඩුව ඇතුළේ ඉන්න පුළුවන්ද…? මේ ප්‍රතිපත්තිය රැක ගන්නත්, සම්මුති ආණ්‌ඩු ගහන්න ගිහිල්ලා ශ්‍රීලනිපය විනාශ වීම වළකා ගැනීම සඳහාත් එකාබද්ධයේ හිටියා කියලා හරි, ආණ්‌ඩුවේ හිටියා කියලා හරි වෙනසක්‌ නැතුව අපි එකතුවෙන්න ඕනේ. පක්‌ෂ ප්‍රතිපත්තිය තමයි අපේ එකමුතුව තියෙන තැන… අද ශ්‍රීලනිප ප්‍රතිපත්තිය තියෙන්නේ පොදුජන පෙරමුණේ… ඒක නිසා තමයි පොහොට්‌ටුව වටා ශ්‍රීලනිපයේ අති බහුතරය එකතුවෙලා තියෙන්නේ… මේක ඇත්තටම ශ්‍රීලනිපය බේරා ගැන්මේ සටනක්‌ කියන්නත් පුලුවන්. ඒ වගේම රට බේරා ගැනීමේ සටනත් මේක… අද රටේ කළමනාකරණය බිමටම වැටිලා ඉවරයි. මහ බැංකු කොල්ලය නිසා රටට වෙච්ච පාඩුව තවම ගණන් හදලා ඉවර කරගන්න බැහැ. රටේ කිසිම දෙයකට අවසාන වගකිව යුත්තෙක්‌ නැහැ. එකිනෙකාට වරද පටවා, පටවා ඒ අය ඉන්නවා.

ප්‍රශ්නය – රටට නිසි කළමනාකරණයක්‌ නැති බව ඔබ කියනවා… ඒ සඳහා බලපාලා තියෙන හේතුව ඔබ බවයි ආණ්‌ඩුවේ සමහරු සඳහන් කරන්නේ. රාජ්‍යයේ සමහර ක්‍රියාවන්හි අදිසි හස්‌තය ඔබ කියලා බොහෝ තැන්වලදී චෝදනා එල්ල වෙනවා. තෙල් ප්‍රශ්නයේදී පවා ඔබට චෝදනා එල්ල වුණේ මේ පදනමින්…

පිළිතුර – මට එහෙම බලයක්‌ තියෙනවා කියලා, ඒ අයම කියනවා. තව තැනකදී මට බලයක්‌ නැහැ කියලා කියන්නෙත් ඒ අයමයි. අද ආණ්‌ඩුවට කළමනාකරණයක්‌ නැති වීමට මූලික හේතුව, මේ පළිගැනීම් ක්‍රියාවලිය. ආණ්‌ඩුවේ සියලු වැඩ නවත්වලා, සංවර්ධන කටයුතු නවත්වලා, වෙන කිසි දෙයක්‌ කරන්නේ නැතුව අවුරුදු තුනක්‌ පමණ කරගෙන ගියේ පළිගැනීම විතරයි. හම්බන්තොට අපි වරායක්‌ හැදුවා, ගුවන්තොටුපළක්‌ හැදුවා… ඒවා හැදුවේ රටේ සංවර්ධන ඉලක්‌ක සදහා. ඒක සමස්‌ත වැඩපිළිවෙළක්‌… ඒ සියල්ල අද විකුණලා දාලා ඉවරයි. මේ අයට එහෙම දැක්‌මක්‌ නැහැ. මේ අය කරන්නේ පළිගැනීමේ වැඩපිළිවෙළ දියත් කරන එක විතරයි. මම චන්ද්‍රිකාගේ ආණ්‌ඩුව ගැන කතා කර කර හිටියා නම් යුද්ධය ඉවර කරන්න පුළුවන්ද…? රට සංවර්ධනය කරන්න පුළුවන්ද…?

මේ අයට වෙලා තියෙන්නේ ඒකයි. හැම දර්ශකයකින්ම පේන්නේ මොකක්‌ද…? රටේ කඩා වැටීම.

ප්‍රශ්නය – ආණ්‌ඩුවේ චෝදනාව තමයි ඔබගේ ආණ්‌ඩුව රටට පටවලා ගිය ණය ප්‍රශ්නය ආණ්‌ඩුවට විසඳීමට සිදුවීම නිසා, මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවී තිබෙන බව.

පිළිතුර – මගේ අයවැය කතාවේදී මම ඒ ගැන කිව්වා. අවුරුදු 9 ක්‌ තිස්‌සේ අපේ ආණ්‌ඩුව විසින් මනාව කළමනාකරණය කර තිබු රාජ්‍ය ණය, ඉතා කෙටි කාලයකින් ආපස්‌සට හරවා ගන්නට මේ රජය කළ විනාශය, ඇත්ත වශයෙන්ම අපරාධයක්‌. මෙහිදී ඔවුන් කළ මූලික වරද වූයේ, දේශපාලන වාසීන් ගැනීමට, රාජ්‍ය වියදම ඉසිලිය නොහැකි ආකාරයට විහින් ඉහළ දමා ගත්තා. ඊට පස්‌සේ භාණ්‌ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සදහා ගෙවන පොලී අනුපාත සියල්ලම බැඳුම්කර මගඩිය හරහා අනවශ්‍ය සහ වංක ලෙසද ඉහළ දමා ගත්තා. මෙම ක්‍රියා දෙක හරහා, රටේ ණය කළමනාකරණයට දැවැන්ත පහරක්‌ එල්ලවී, මෙම රජය, මුළු රටම ණය උගුලකට ගොදුරු කළා.

2015.01.01 සිට 2017.06.30 දක්‌වා, වත්මන් රජය යටතේ වැඩිවූ ණය, මෙතෙක්‌ අප රටේ ඉතිහාසය පුරාවටම වසර දෙක හමාරක්‌ තුළ වැඩි වූ උපරිම ණය ප්‍රමාණය වුණා. එම ණය ප්‍රමාණය වන රුපියල් බිලියන 2,773, අපගේ රජය 2009 අවසානයේ සිට 2014 අවසානය දක්‌වා, දැවැන්ත වැඩ කොටසක්‌ ඉටු කළ, අවුරුදු 5 ට ලබා ගත් ණය ප්‍රමාණයෙන් 86%යයි.

අද අප රටේ සියලු දෙනා දන්නා පරිදි, මෙපමණ විශාල ණය ප්‍රමාණයක්‌ මෙම රජය අරගෙන තිබ්බත් , මහ ජනතාවට පෙනෙන, දැනෙන කිසිදු යටිතල පහසුකමක්‌ රටේ නැහැ. මහා පරිමාණයේ සංවර්ධන කටයුතු පමණක්‌ නෙමේ, පියවි ඇසට පෙනෙන ග්‍රාමීය මට්‌ටමේ හෝ සංවර්ධනයක්‌වත් රටේ නැහැ.

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සහ එයාගේ ගෝලයන් අපට චෝදනා කළේ, අපි රුපියල් බිලියන ගණනක්‌ ණයට අරගෙන, හම්බන්තොට වරාය, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය, සහ මත්තල ගුවන්තොටුපළ ඉදිකළා කියලයි. මේ අයට ලොකු ගණන්වලට විකුණන්නට හෝ ඒවා අද මහ පොළවේ පෙනෙන්නට තියනවා. මේ ආණ්‌ඩුව ගත්ත ණය කන්දෙන් මහ පොළවේ පුංචි පිහිනුම් තටාකයක්‌වත්, පොඩි ජෙනරේටරයක්‌වත්, අඩි පාරක්‌වත් හදලා තියනවද? එහෙනම්, අපට දැන් අහන්න තියෙන්නේ, මේ ණයට ගත් සල්ලිවලට මොකද වුණේ? බැඳුම්කර මගඩියේ මුදල් ගිල්ලා වගේ, කවුරු හරි ඒ මුදල් ගිලගත්තද?

මේ දූෂිත, වැඩ බැරි ආණ්‌ඩුව ශ්‍රී ලංකාවේ ණයබරතාවය භයානක උගුලකට ඇද දමලා ඉවරයි. රජයේ සමහර නායකයන්ගේ පෞද්ගලික වාසිය සඳහා, අප රටේ සමස්‌ත පොලී අනුපාතය වැඩි කළා. රුපියලේ අගය අවප්‍රකාර කරමින් ණයබරතාවය සීග්‍ර ලෙස වැඩි කළේ මේ ආණ්‌ඩුවයි. මේ ණය උගුලෙන් ගොඩ ඒම සදහා කියමින් , රටේ බැංකු මත සෑම රුපියල් 10,000 කම ගනුදෙනු සඳහා රුපියල් 2 ක නව බද්දක්‌ මුදල් ඇමති මේ අයවැයෙන් හඳුන්වා දුන්නා. අප රටේ බැංකු ක්‍ෂේත්‍ර ප්‍රවීණයන්ට අනුව, මෙම බද්ද හරහා සියලුම රාජ්‍ය බැංකු දුර්වල වනු ඇතැයිද, එම දුර්වලවීම ඉස්‌මතු කරමින්, බැංකු පුද්ගලීකරණයට යොමු කරන්නට රජයේ යටි අදහසක්‌ තියෙනවා ද කියන සැකය දැන් අපිට තියෙනවා. එම බද්දෙන් වසරකට එකතු කරන්නට බලාපොරොත්තු වන රුපියල් බිලියන 20 මුළුමනින් වෙන් කළත්, එම ණය පමණක්‌ ගෙවීමට අවුරුදු 139 ක්‌ ගත වෙනවා. ඒ නිසයි අපිට මේ සැකය ඇතිවෙන්නේ.

ප්‍රශ්නය – ආණ්‌ඩුව දේශපාලන පළිගැනීම් කරනවා කියලා ඔබ කිව්වත්, තම ආණ්‌ඩුව යටතේ සිදුවූ බැඳුම්කර සිද්ධිය පිළිsබදව පරීක්‌ෂණ පවත්වන්නේත් මේ ආණ්‌ඩුවමයි.

පිළිතුර – මේවා මුලින්ම යට ගහන්න තමයි කවුරු කවුරුත් බැලුවේ… අපේ විරෝධය සහ හෙළිකිරීම් නිසා ඒවා යට ගහගන්න බැරිවුණා. අද වන කොට, සියලු දෙනාම පිළිගෙන ඇති ආකාරයට මෙම මගඩිය නිසා, රටේ පොලී අනුපාත සියල්ලම කෘතිම ලෙසත්, වංචාකාරී ලෙසත්, දැවැන්ත ලෙසත් වැඩිවෙලා තිබෙනවා.

මේ මගඩිය නිසා රජයට සහ ජනතාවට සෘජු සහ වක්‍ර ලෙස සිදුව ඇති සමස්‌ත පාඩුව රුපියල් බිලියන 1,000 ක්‌ ඉක්‌මවා ඇති බව හිටපු රාජ්‍ය මුදල් ඇමති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධනම කිව්වනේ. අපේ ආණ්‌ඩුව 2014 දී සමස්‌ත බදු හරහා ජනතාවගෙන් අය කරගත්තේ රුපියල් බිලියන 1,050 ක්‌ විතරයි. ඒ මුදල් වලින් අපි කරපු සංවර්ධනය මම ආයේ ආයේ කියන්න ඕනේ නැහැනේ. 2018, දී මේ ආණ්‌ඩුව එම මුදලට සමාන මුදලකට අමතරව, තවත් රුපියල් බිලියන 984 ක්‌, එනම් දෙගුණයකින් පමණ වැඩි මුදලක්‌ වන රුපියල් බිලියන 2,034 ක්‌, ජනතාවගෙන් අයකරගන්න බලාපොරොත්තු වෙන බව අය වැයේ සඳහන් වුණා. ඒ කියන්නේ ඒ දැවැන්ත බදු මුදලටත් වැඩි මුදලක්‌ මේ ආණ්‌ඩුව බැඳුම්කරෙන් හොරා කාලා කියන එකනේ.

– දිවයින
« PREV
NEXT »