BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, November 29, 2017

ගෝඨාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්


රාජ්‍ය දේපළ පනත යටතට කිසිසේත්ම නොගැනෙන කරුණක් සම්බන්ධයෙන් එම පනත යටතේ පැමිණිල්ලක් ගොනුකරමින් නීති විරෝධී ලෙස තමා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් සිර භාරයට පත්කිරීමට දේශපාලන උසිගැන්වීම් මත...පොලිස්පතිවරයා මූල්‍ය අපරාධ විමර්ශන අංශය හරහා ක්‍රියා කරමින් සිටින බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (28දා) අභියාචනාධිකරණයට පැමිණිලි කරමින් 'රිට්' පෙත්සමක් ගොනු කළේය.

එලෙස ක්‍රියා කිරීම වළක්වාලමින් හා එකී ක්‍රියාදාමයම අත්හිටුවමින් 'සර්ටියෝරාරි' හා 'මැන්ඩාමුස්' රිට් ආඥා දෙකක් වගඋත්තරකරුවන්ට නිකුත් කරන ලෙසද එමඟින් ඉල්ලා ඇත.



තවද පොලිස්පති පූජිත් ජයසුන්දර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර, එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි කමල් පලිස්කාර යන වගඋත්තරකරුවන් හෝ ඔවුන්ගේ කුමන හෝ නියෝජිතයකු හෝ බලය පවරන්නකු විසින් එම නීති විරෝධී ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීම හෝ පවත්වාගෙන යෑම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කරන ලෙසත් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සම අද (29දා) පෙරවරු 10.00ට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණිය හා විනිසුරු ශිරාන් ගුණරත්න යන ද්විපුද්ගල අභියාචනාධිකරණයේ විනිශ්චය මණ්ඩලය හමුවේ කැඳවීමට නියමිතය.
එහිදී ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, එම්. ඒ. එම්. අලිසබ්රි, සුගත් කල්දේරා, රුවන්ත කුරේ යන මහත්වරුන් ජේ‍යෂ්ඨ නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමටද නියමිතය.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මඟින් ගොනුකරන ලද පෙත්සමෙන් මෙසේද ප්‍රකාශ විය.
වසර 30ක් තිස්සේ මේ රට තුළ පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අවසන් කරමින් 2009 මැයි මස 17 දින එහි නායක ප්‍රභාකරන් පවා අල්ලා ගනිමින් යුද ජයග්‍රහණයක් ලබාගැනීම නිසා තමාත් තම සහෝදරයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් සමඟ උරණව සිටින කණ්ඩායම් හා සංවිධාන 2015දී එම රජය පරාජය කරවීමට සියලු ආකාරයෙන් ක්‍රියා කළ බව ලොවටම අද නොරහසක් බවත් වත්මන් රජයේද හවුල්කරුවන්ව සිටිමින් ඔවුන් තමා මෙලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රැඳවීමට මෙලෙස ක්‍රියා කරන බවත්ය.

1982 අංක 12 දරන රාජ්‍ය දේපොළ පනතේ 8(1) ඡේදය වැරැදි ලෙස යොදාගනිමින් වගඋත්තරකරුවන් මෙලෙස තමා සිර අඩස්සියට පත්කරලීම සඳහා කරුණු 4ක් යටතේ මේ වනවිටත් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අංක 32528/15/ර්ඛ්/ට්චතතඥ හා බී.60485/4/15 දරන වාර්තා ඉදිරිපත්කොට ඇති බවද පෙත්සමෙන් වැඩිදුරටත් අභියාචනාධිකරණයට දන්වා ඇත.

තවද මීට ඉහතදී 2015 වත්මන් රජය බලයට පැමිණි වහාමද මෙවැනිම උත්සාහයක් පැවැති බවද එහිදී 2015 මැයි 11 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 'පාවෙන අවි ගබඩාවක් නීතිවිරෝධී අන්දමින් පවත්වාගෙන යන ලදැයි' අභූත චෝදනාවක් නඟමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ම තමා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කිරීමට උත්සාහ කළ බවද ඒ අවස්ථාවේදී ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවට පැමිණිලි කිරීමෙන් තත්ත්වය මඟහරවා ගත් බවද පෙත්සමෙන් වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.
ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් එම අවස්ථාවේදී දෙන ලද නියෝග මඟහරවමින් ඊට පරිබාහිර කරුණු ඔස්සේ චෝදනා ගොනුකරමින් මෙවර තමා අත්අඩංගුවට ගැනීමට දේශපාලන පෙලඹවීම් මත වගඋත්තරකාර පොලිස්පතිවරයාත්, නියෝජ්‍ය පොලිස්පතිවරයාත් ඇතුළු වගඋත්තරකරුවන් ක්‍රියා කරමින් සිටින බවද පෙත්සම්කරු පවසයි.

තම පියාණන් වන කීර්තිමත් දේශපාලනඥයකු මෙන්ම කීර්තිධර ජාතික හා සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ අනුස්මරණය වෙනුවෙන් වීරකැටියේ ඉදිකරන ලද සිහිවටනයක් ඉදිකිරීමේ කටයුතු සඳහා පහත්බිම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලය සහභාගි කරවා ගැනීමද එක් චෝදනාවක් වශයෙන් වගඋත්තරකරුවන් යොදාගෙන ඇති බවද පෙත්සමෙන් පෙන්වා දී ඇත.

මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසත්, ඉහතින් ඉල්ලා ඇති 'රිට්' ආඥාවක් සහ අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත්, එමඟින් පෙත්සම් විභාගය අවසන් වනතුරු පෙත්සම්කරුට එරෙහිව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති නීති විරෝධී නඩු පැවරීම් හා අත්අඩංගුවට ගැනීම් වළක්වාලන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.


කෙසේ වෙතත් මිග් ගණුදෙනුව එලිදරවු කල නිසා ගෝටාභය ලසන්ත වික‍්‍රමතුංග මැරුවා  යයි රාජිත සේනාරත්න මහතා පසුගිය දිනක පවසා තිබුනි.

« PREV
NEXT »