BREAKING NEWS
latest

728x90

468x60

Monday, December 18, 2017

අසිරිමත් නත්තල සංහිඳියාව ශක්තිමත් කිරීමට වැදගත් අවස්ථාවක් - ජනපති

සාමයේ සහ ප්‍රේමයේ පණිවිඩය ලොවට රැගෙන යන නත්තල ජාතින් අතර සංහිඳියාව සහ සහජීවනය ශක්තිමත් කිරීමට ඉතා වැදගත් අවස්ථාවක් බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව ප්‍රකාශ කළේ පෙරේදා (16) පස්වරුවේ ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති රාජ්‍ය නත්තල් උත්සවය අමතමිනි.

එකම රටක වෙසෙන එකම ජනතාවක් ලෙස නත්තලේ අරුත ගැඹුරින් බෙදාහදා ගැනීමේ අරමුණින් ,ප්‍රේමයේ උපත නත්තලයි, තේමාව යටතේ මෙවර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් රාජ්‍ය නත්තල් උත්සවය සංවිධානය කර තිබිණි.

මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මනුෂ්‍යත්වයේ ආලෝකය සෑමවිටම නත්තල සමග උදා වන බවයි.

නත්තලේ අරමුණ වන දුප්පතුන් වෙනුවෙන් පහන් ආලෝකය දැල්වීම සඳහා අප සියලු දෙනා වෙත වගකීමක් පැවරී ඇති බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමක් බව ද කියා සිටියේය.

රටේ අනාගතය සඳහා සෑම විටම ජාතින් අතර සාමය සහ සංහිඳියාව ශක්තිමත් විය යුතු අතර, නැවත රට තුළ යුද්ධයක් ඇතිවීමට ඉඩ නොතබා සියලු ජාතින් සහ ආගමිකයන් අතර සංහිඳියාව ගොඩ නැඟීමට එක් වන ලෙස මෙම උතුම් නත්තලේදී තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

බැතිසිතින් අසිරිමත් නත්තල සැමරීමට සූදානම් වන සියලු කිතුනු බැතිමතුන් වෙනුවෙන් මෙහිදී ජනාධිපතිතුමා සිය සුභාශිංසන එක් කරනු ලැබීය.

කැරොල් ගායනා ඇතුළු විචිත්‍රාංග රැසකින් රාජ්‍ය නත්තල් උත්සවය වර්ණවත් වූ අතර 2017 රාජ්‍ය නත්තල් උත්සවයට සමගාමීව පැවති නිර්මාණ තරගවල ජයග්‍රාහකයන්ට තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

අපෝස්තලික තානාපති පියරේ නුයෙන් වෑන් වොට් රදගුරු හිමිපාණන්, ශ්‍රී ලංකා රදගුරු සංගමයේ සභාපති හා බදුල්ල පදවි රදගුරු දේවධර්මාචාර්ය වින්සන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්, ත්‍රිකුණාමලය රදගුරු දේවධර්මාචාර්ය නොයෙල් එම්මානුවෙල් හිමිපණන් ප්‍රමුඛ හිමිපාණන් වහන්සේලා ද, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් මහරුෆ්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන්, ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.ආර්. ගුණවර්ධන, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප-සුදත් සිල්වා
« PREV
NEXT »