BREAKING NEWS
latest

728x90

468x60

Monday, January 01, 2018

විල්පත්තු ඇතා මරා දළ යුගල එස්‌පීට විකුණන්න ගිය 3ක්‌ රිමාන්ඩ්

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වාසය කළ දැවැන්ත දළ ඇතකු අමානුෂිකව වෙඩි තබා මරාදමා අඩි පහකට ආසන්න උසින් යුත් දළ යුගලය කපාගෙන එය රුපියල් ලක්‍ෂ පනහක මුදලකට මැණික්‌ ව්‍යාපාරිකයකු ලෙස වෙස්‌වලා ගත් අනුරාධපුර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරිවරයාට අලෙවි කිරීමට උත්සාහ කළ මුස්‌ලිම් මවුලවිවරයකු ඇතුළු තිදෙනකු ජනවාරි මස 12 වැනිදා දක්‌වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා පෙරේදා (30 වැනිදා) නියෝග කළේය.

අනුරාධපුර කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය මගින් පසුගිය 29 දා මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් තිදෙනා ඇත් දළ යුගලයත් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් තිදෙනා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ඇත් දළ යුගළයේ බර කිලෝ ග්‍රෑම් පනහකට ආසන්න අතර එහි එක්‌ දළයක්‌ අඩි හතරයි අඟල් දෙකක්‌ උසින් යුතුවේ. අනෙක්‌ දළයේ උස අඩි හතරයි අඟල් හතරකි. එහි වට ප්‍රමාණය අඟල් 14 ක්‌ වන බවත් සැකකරුවන් මීට මාස තුනකට පමණ ඉහතදී විශාල දළ ඇතා විල්පත්තුව වනෝද්‍යානයේදී වෙඩිතබා මරා අනතුරුව යාන්ත්‍රික කියතකින් දළ දෙක කපා පොළව යට වළලන්නට ඇති බවටත් පොලිසිය සැකකරයි.

අනුරාධපුර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාට ලැබුණු තොරතුරකට අනුව ඒ මහතා යටතේ ක්‍රියාත්මක කොට්‌ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් දෙදෙනකු විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ තන්තිරිමලය සීමාවේ කැලෑවක වළ දමා තිබූ දළ යුගලය මිලදී ගැනීම සඳහා එහි ගොස්‌ තිබෙන අතර සැකකරුවන් සඟවා තිබූ දළ දෙක ඔවුන්ට පෙන්වූ අවස්‌ථාවේ එහි ඡායාරූප ලබාගෙන පොලිස්‌ අධිකාරිවරයාට ලබාදීමට කටයුතු කර තිබේ.

දළ යුගලය බැලීම සඳහා මැණික්‌ ව්‍යාපාරිකයා පැමිණිය යුතු බවත් ඒ අවස්‌ථාවේ දළ යුගලය රැගෙන යැමට නොහැකි බවත් පවසා පොලිස්‌ උපාය දූතයන් නැවත අනුරාධපුරයට පැමිණ තිබේ. පොලිස්‌ අධිකාරිවරයා රත්නපුරය ප්‍රදේශයේ මැණික්‌ ව්‍යාපාරිකයකු බව අඟවමින් 28 දා මධ්‍යම රාත්‍රියේ එහි ගොස්‌ රුපියල් ලක්‍ෂ 50 කට දළ යුගලය මිලදී ගැනීමට කැමැත්ත පළකර තිබේ. පොලිස්‌ නිලධාරීන් සැකකරුවන්ට පෙන්වීම සඳහා රුපියල් ලක්‍ෂ පනහකට ආසන්න මුදලක්‌ ව්‍යාජ අන්දමින් සකසාගෙන බී්‍රµa කේසයක දමාගෙන එහි ගිය අවස්‌ථාවේ සැකකරුවන් වළදමා තිබූ ඇත් දළ යුගලය පිටතට ගෙන තිබේ. 

සැකකරුවන් දළ යුගලය ගැනුම්කරුවන් ලෙස ගිය පොලිසිය අත තබනවාත් සමඟම පොලිස්‌ නිලධාරීන් වැටලීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මුස්‌ලිම් මවුලවිවරයෙකු ඇතුළු දමිළ ජාතිකයන් දෙදෙනකු සිටින අතර ඔවුන් මරච්චිකට්‌ටු, සිලාවතුර, පාලෛයිකුලම් සිලාවතුර හා එලත්තු මන්නාරම යන ලිපිනයෙහි පදිංචි වයස අවුරුදු 54, 52 හා 38 වියේ පසුවන්නන් බව පොලිසිය පවසයි.

අනුරාධපුර කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නවරත්න අබේකෝන්, උප පොලිස්‌ පරීක්‍ෂක බී. එස්‌. චන්ද්‍රසිරි, පොලිස්‌ සැරයන් (16876) සේනානායක පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන (48059) දිසානායක, (39983) වන්නිනායක, (87270) දමිත් හා පොලිස්‌ සැරයන් රියෑදුරු (33601) උද්ධික යන නිලධාරීන් වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

මිහින්තලේ - රංග චතූ
« PREV
NEXT »