BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, January 24, 2018

පොහොට්‌ටුවේ තවත් පෙත්සම් 5 ක්‌ විසිවෙයි

පානදුර නගර සභාව වැලිගම නගර සභාව සහ අගලවත්ත, මහියංගනය, තිරප්පනේ යන ප්‍රාදේශීය සභාවල මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ද මොරටුව නගර සභා මැතිවරණයට ස්‌වාධීන කණ්‌ඩායමකින්ද තරග කිරීමට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර භාර ගැනීම ප්‍රතික්‍ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ රිට්‌ පෙත්සම් ශේ්‍රෂ්ඨාධිකරණය ඊයේ (23 වැනිදා) නිෂ්ප්‍රභ කළේය.

එම නාමයෝජනා පත්‍ර ප්‍රතික්‍ෂේප කිරීමට අදාළ මැතිවරණ තේරීම් භාර නිලධාරීන් ගත් තීරණ පළාත් පාලන ඡන්ද විමසීම් පනතේ රෙගුලාසිවලට අනුකූලව සිදුවී ඇති බවත් එම තීරණ වෙනස්‌ කිරීමට ප්‍රබල කරුණු පෙත්සම්කාර පාර්ශ්වයෙන් ඉදිරිපත් වී නැති බවත් ශේ්‍රෂ්ඨාධිකරණය ඊයේ සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

බුවනෙක අළුවිහාරේ, කේ. ටී. චිත්‍රසිරි සහ විජිත් කේ. මලල්ගොඩ යන ත්‍රිපුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම් සලකා බැලිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉහත සඳහන් පළාත් පාලන ආයතනවල මැතිවරණ සඳහා භාරදුන් නාමයෝජනා ප්‍රතික්‍ෂේප කිරීමට මැතිවරණ තේරීම් භාර නිලධාරීන් ගත් තීරණවලට අභියෝග කරමින් පෙත්සම් ගොනුකර තිබුණේ පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සහ ඒ පළාත් පාලන ආයතන පහේ නාමයෝජනා භාරදීම සඳහා ඔහු බලය පැවරූ නියෝජිතයන් විසිනි.

මොරටුව මහ නගර සභාවට ස්‌වාධීන කණ්‌ඩායමකින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්‍ෂේප කිරීමට එරෙහි පෙත්සම ගොනු කළේ එම කණ්‌ඩායමේ නායකයා වූ ප්‍රසන්න ජයන්ත මැන්ඩිස්‌ මහතායි.

ඔහුගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්‍ෂේප වීමට හේතුව අපේක්‍ෂකයන්ගේ උප්පැන්න සහතිකවල මුල් පිටපත් නැතිව ඡායාරූප පිටපත් නාමයෝජනා පත්‍රය සමග අමුණා ඉදිරිපත් කර තිබීමයි.

අගලවත්ත පළාත් සභා මැතිවරණයේ පොදුජන පෙරමුණේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්‍ෂේප වී ඇත්තේ පක්‍ෂයේ මහ ලේකම්ගේ අත්සන සාම විනිසුරුවකු විසින් විධිමත්ව අත්සන් කර නොතිබීමයි.

අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ තිරප්පනේ ප්‍රාදේශීය සභා මැතිවරණයට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ පක්‍ෂයේ මහ ලේකම්ගේ අත්සන් සහතික කළ සාමදාන විනිසුරුවරයා එම සහතිකයට වැරදි දිනයක්‌ යොදා තිබීමයි.

පානදුර නගර සභා මැතිවරණයට තරග කිරීමට පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්‍ෂේප වීමට හේතුව මහ ලේකම්ගේ අත්සන සාම විනිසුරු සහතික කළ දිනය සහ ස්‌ථානය සඳහන් නොකිරීමයි.

මෙම පෙත්සම් ඊයේ ත්‍රිපුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්‌ථාවේදී පොදුජන පෙරමුණේ මහ ලේකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලිසබ්රි මහතා දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළේය.

පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, ඒ ඒ පළාත්වල මැතිවරණ තේරීම් භාර නිලධාරීන් සහ නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය කරුණු ඉදිරිපත් කළාය.

සියලුම පෙත්සම්වල පෙත්සම්කරුවන් සිය පෙත්සම්වල සඳහන් කර තිබුණේ නාමයෝජනා පත්‍රවල සිදුවී ඇත්තේ ප්‍රමාද දොaෂයක්‌ නිසා ඇතිවූ සුළු වැරදි බවයි. එවැනි සුළු වැරදි නිසා නාමයෝජනා පත්‍ර ප්‍රතික්‍ෂේප නොකළ යුතුව තිබුණ බවත් තේරීම් භාර නිලධාරීන් ගත් අත්තනෝමතික අසාධාරණ තීරණ නිසා ඡන්ද අපේක්‍ෂකයනට මෙන්ම එම පක්‍ෂවලට ඡන්දය දීමට අපේක්‍ෂාවෙන් සිටි දහස්‌ සංඛ්‍යාත ඡන්ද දායකයන්ගේ ඡන්ද අයිතිය අහිමිවූ බවත් පෙත්සම්වලින් සඳහන් කර තිබිණි.

පෙත්සම්කරුවන් ඉල්ලා සිටියේ මැතිවරණ තේරීම් භාර නිලධාරීන් ගත් තීරණ අහෝසි කර පක්‍ෂවල අපේක්‍ෂකයන්ට මැතිවරණයට තරග කිරීමට අවස්‌ථාව සලසා දෙන ලෙසයි.

නාමයෝජනා භාරදුන් දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා පත්‍ර 6 ක්‌ ප්‍රතික්‍ෂේප වූ අතර ඊට එරෙහිව පැවරූ නඩු 6 ම මේ වන විට ශේ්‍රෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්‍ෂේප වී තිබේ.
« PREV
NEXT »