BREAKING NEWS
latest

728x90

468x60

Friday, January 12, 2018

ජනපතිට වසර හයක්‌ ඉන්න පුළුවන් - නීතිපති කියයි - ඉන්න පුළුවන් වසර පහයි - ජ්‍යෙෂ්ඨ නීතීඥවරු 7 ක්‌ කියති

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිය ධුරය දැරිය හැකි කාලසීමාව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ රෙගුලාසිවලට අනුකූලව වසර 05 ක්‌ද, නැත්නම් 06 ක්‌ද යන ප්‍රශ්නයට අදාළව නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණුවලට ඊයේ (11 වැනිදා) සවන් දුන් පංච පුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඒ සම්බන්ධයෙන් තවත් කරුණු ඇත්නම් ඒවා ලිතව අද (12 දා) දහවල් 12 ට පෙර ඊ-මේල් විද්යුත් තැපෑලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලෙස එම නීතිඥවරුන් සියලු දෙනාටම දැනුම් දුන්නේය.

විනිසුරු මඬුල්ල ඒ සම්බන්ධයෙන් දරන මතය ඊට පසුව එනම් ලබන 14 දාට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දන්වා යවනු ඇත. 

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් හා ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, කේ. ටී. චිත්‍රසිරි, සිසිර ද ආබෲ යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම විභාගය පැවැත්විණි.

ඊයේ මුලින්ම විනිසුරු මඬුල්ල හමුවේ කරුණු ඉදිරිපත් කළේ නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතායි. ඔහු කියා සිටියේ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කිසිදු බාධාවකින් තොරව එම ධුරයේ ඔහු දිවුරුම් දුන් 2015 ජනවාරි 09 දා සිට ඉදිරියට වසර 06 ක කාලසීමාවක්‌ ධුරය දැරීමට නීතියෙන් අයිතියක්‌ ඇති බවයි. 

ජනාධිපතිවරයාට වසර 06 ක්‌ සිය ධුරය දැරිය හැකි බවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ µයිසර් මුස්‌තාපා මහතා ද, දූෂණ විරෝධී කමිටුවේ සභාපති උලපනේ සුමංගල හිමි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්‌ මහතාද කරුණු දැක්‌වූහ.

ජනාධිපතිවරයාගේ ධුර කාලසීමාව වසර 05 කින් අවසන් විය යුතු බව කියා සිටිමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරු 07 දෙනෙක්‌ කරුණු දැක්‌වූහ.

ජනාධිපති නීතිඥවරුන් වන මනෝහර ද සිල්වා, අලි සබ්රි, සවින්ද්‍ර ප්‍රනාන්දු, උදිත ඉහළහේවා යන මහත්වරු සහ අධිනීතිඥ විරාන් කොරයා, කල්‍යානන්ද තිරාණගම, ක්‍රිස්‌මාල් වර්ණසූරිය ඒ 07 දෙනායි. 

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා වෙනුවෙන් පෙනී සිටිමිනි. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වෙන විභාගයට මැදිහත් වී නීතිඥ මහතෙකු මගින් කරුණු ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ද ගොනුකර තිබිණි.

ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ අතර ලංකා සමසමාජ පක්‌ෂයේ නායක ආචාර්ය තිස්‌ස විතාරණ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉහළහේවා මහතාද, පැµරල් සංවිධානය වෙනුවෙන් අධිනීතිඥ විරාන් කොරයා සහ ජනතා විමුක්‌ති පෙරමුණ වෙනුවෙන් ක්‍රිෂ්මාල් වර්ණසූරිය යන මහත්වරු කරුණු ඉදිරිපත් කළහ.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට භාජනය වූ එකී ප්‍රශ්නය යොමුකර තිබුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහුට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම පැවරී තිබූ අයිතියකට අනුවයි.

« PREV
NEXT »