BREAKING NEWS
latest

728x90

468x60

Sunday, January 14, 2018

ඌවේ මහ ඇමැත්තා තමා මැට්‌ටා බව රටට කියු හැටි

ආනන්ද සරත් කුමාර වයඹ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකි. දැනට වසර කිහිපයකට ඉහතදී ඔහු නවගත්තේගම ඉසුරු පාසලේ විනය භාර ගුරුවරිය වූ ප්‍රියානි සුසිලා හේරත්ව පාසල තුළදී දණ ගැස්‌වූවේය. එලෙස දණ ගැස්‌වීමට හේතු වූයේ එම මන්ත්‍රීවරයාගේ දියණියගේ ගවුමේ වාටිය ලිහා ගවුම දික්‌ කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්‌වීමක්‌ දුරදිග යැම හේතුවෙනි. 

එලෙස නීතිය අතටගෙන චණ්‌ඩිපාට්‌ දැමූ මන්ත්‍රීවරයාට අවසානයේ සිදු වූයේ එම ගුරුවරියගෙන් සමාවත් රැගෙන නීතියෙන්ද දඬුවම් විඳීමටයි. ඒ සමඟම ඔහුගේ දේශපාලන ගමනද අඩාල විය.

එම සිදුවීම සිදුවී වසර කිහිපයකට පසු යළිත් එවැනිම ආකාරයේ සිදුවීමක්‌ අපට අසන්නට ලැබිණි. ඒ ඌව පළාතෙනි. මෙවර එලෙස ගුරුවරියක්‌ දණ ගැස්‌වීමේ චෝදනාවට ලක්‌ව ඇත්තේ ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත්ය.

ඌව පළාත් සභාව යටතේ පාලනය වන බදුල්ල ප්‍රදේශයේ එක්‌තරා දෙමළ බාලිකා විදුහලකට සිසුවියක්‌ ඇතුළත් කරදෙන ලෙස කලක සිට මහ ඇමැති චාමරගේ ඡන්දදායකයකු ඉල්ලා සිටියේය. එම ඡන්දදායකයාගේ ඉල්ලීම අහක නොදැමූ මහ ඇමැතිවරයා ඔහුට ලිපියක්‌ දී පැවසුවේ අදාළ විදුහලේ විදුහල්පතිනියට එය භාරදෙන ලෙසයි.

එම බාලිකා විදුහලේ විදුහල්පතිනිය පළාත තුළ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ අකුරට වැඩ කරන කෙනෙක්‌ ලෙසින්ය. ඇය එම විදුහල සංවර්ධනය කිරීම සඳහා විශාල කැපවීමකින් යුතුව කටයුතු කරන බව දෙමාපියෝ පවා පවසති. 

දේශපාලනඥයාගේ ලිපියද රැගෙන අදාළ සිසුවියගේ දෙමාපියෝ පාසලට පැමිණියහ. එලෙස පැමිණි ඔවුහු ආඩම්බර ගතියකින් යුතුව එම ලිපිය විදුහල්පතිනියට දුන්නේ දැන් තම ළමයා පාසලට ඇතුළත් කර ගත්තා යෑයි සිතමින්ය. 

"මේ ලියමන මොකක්‌ද?" එය විවෘත නොකරම විදුහල්පතිනිය එම දෙමාපියන්ගෙන් විමසූවාය. 

"ඕක දුන්නේ අපේ මහ ඇමැතිතුමා. අපේ දුවව පාසලට ගන්න කියලා..." එම දෙමාපියෝ පැවසූහ. 

"මොකක්‌... මහ ඇමැතිතුමා... එයාට බැහැ මෙහෙම ළමයි ගන්න කියලා මට නියෝග දෙන්න. අපි දේශපාලනඥයන්ගේ නියෝග ක්‍රියාත්මක කරන්න බැඳිලා නැහැ. මේක සම්පූර්ණ නීති විරෝධී වැඩක්‌. මම මේ ළමයව පාසලට ගන්නේ නැත්තේ අවශ්‍ය සුදුසුකම් නොමැති නිසා..."

"අපි ගුරුවරු වශයෙන් කිසි දිනක ළමයින්ට අසාධාරණයක්‌ කරන්නේ නැහැ. සුදුසුකම් තිබුණ නම් මම මේ ළමයවත් පාසලට ගන්නවා. ඒකට දේශපාලනඥයන්ගේ ලියුම් මට ඕන නැහැ. ඒක නිසා හොඳට මතක තියා ගන්න ආපසු මේ විදිහේ වැඩ කරන්න එපා. දේශපාලනඥයන්ගේ නියෝග පිළිපදින අයත් ඇති. මම එහෙම කෙනෙක්‌ නොවෙයි. මම වැඩ කරන්නේ නීතියට අනුව. ඒක නිසා මේ ලියමනත් අරන් ආපහු යන්න"

විදුහල්පතිනියගේ ප්‍රකාශයෙන් එම දෙමාපියෝ විමතියට පත්වූහ. ඔවුන් සිතුවේ මහ ඇමැතිවරයාගේ ලිපිය දුටු ගමන් එම විදුහල්පතිනිය තම දුව ව පාසලට ඇතුළත් කර ගනීවි කියා ය. එහෙත් එසේ සිදු නොවුණි. විදුහල්පතිනිය නොබියව මහ ඇමැතිවරයාගේ එම ඉල්ලීම ප්‍රතික්‌ෂේප කළාය. 

සිදුවූ සියලුම දෙය අකුරක්‌ නෑර එම දෙමාපියෝ අදාළ දේශපාලනඥයාට පැවසූහ. එය අසා මහ ඇමැතිවරයාට යක්‍ෂාරූඪ වූවේය. "මගේ ඉල්ලීම ඉටු කරන්න බැරි එකා කවුද? මම ඒක බලාගන්නම් එයත් එක්‌ක. ඔය අය දැන් යන්න. මම කොහොම හරි මේක කරලා දෙනවා. එච්චරයි" මහ ඇමැතිවරයා එලෙස පවසමින් දෙමාපියන්ව පිටත් කර හැරියේය.

අදාළ දෙමළ බාලිකා පාසලේ විදුහල්පතිනිය සමඟ උරණ වූ මහ ඇමැතිවරයා එම පළාතේ අධ්‍යාපන බලධාරීන් හරහා ඇයව බදුල්ලේ පිහිටි තම නිල නිවසට ගෙන්වා ගැනීමට කටයුතු කළේය. එම විදුහල්පතිනියද තමා අතින් කිසිදු වරදක්‌ සිදු නොවී ඇති හෙයින් කිසිදු බියක්‌ සැකක්‌ නොමැතිව ඉහළ අධ්‍යාපන බලධාරීන්ගේ නියෝගවලට අනුව මහ ඇමැතිවරයා මුණ ගැසීමට ගියාය. 

"ඇයි මම කියන ඒවා ඔයාට ක්‍රියාත්මක කරන්න බැරි... ලොකු දෙයක්‌ ඉල්ලුවේ නැහැනේ... මම. ඒ ළමයව පාසලට ගන්න කියලා විතරයි කිව්වේ..." මහ ඇමැතිවරයා උස්‌ හඬින් විමසුවේය.

"ඒක කරන්න බැහැ. ඒ ළමයව පාසලට ගන්න සුදුසුකම් තිබුණේ නැහැ" විදුහල්පතිනිය පැවසුවාය. 

එය ඇසීමෙන් ඇමැතිවරයා තවත් උරණ විය. තමාට වැඳ සමාව ගන්නා ලෙස ඔහු විදුහල්පතිනියට නියෝග කළේය. එහෙත් ඇය එය පිළි නොගත්තාය. එම නිසා එන්න එන්නම තත්ත්වය බරපතළ විය. අවසානයේ විදුහල්පතිනිය අන්ත අසරණ වූවාය. මහ ඇමැතිවරයා බලහත්කාරයෙන් ඇයව දණ ගස්‌සවා වන්දවාගෙන තිබේ. 

පසුදිනම එම සිද්ධිය විවිධ මාධ්‍යවල වාර්තා විය. ඒ අනුව රටේ බහුතරයක්‌ ඌව පළාත් මහ ඇමැතිවරයාගේ එම නීති විරෝධී ක්‍රියාව ගැන දැන ගත්හ. මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ සිදු කරන ලෙස පවසමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මගින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක්‌ද යොමුකර තිබේ.

ගුරුවරිය දණ ගැස්‌සවූ එම සිද්ධිය ගැන ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් ගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, තමන් මේ සිද්ධියට කිසිසේත් සම්බන්ධ නොමැති බවත්, දේශපාලන පළිගැනීමකට වෙනත් පාර්ශ්වයක්‌ විසින් මෙලෙස බොරු ප්‍රචාර කර තමන්ට මඩ ප්‍රහාර එල්ල කරන බවත්ය. මෙලෙස තමන් පිළිබඳව බොරු ප්‍රචාර එල්ල කරන අයට විරුද්ධව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද මහ ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

මහ ඇමැතිවරයා එලෙස පැවසුවත් යම් සිදුවීමක්‌ අනිවාර්යෙන්ම සිදුවී තිබේ. එම නිසා වගකිව යුතු නිලධාරීන් කළ යුත්තේ වහාම මේ පිළිබඳව අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ සිදුකර වැරැදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමයි. එසේ නොවුණහොත් ඉදිරියේ දී මීටත් වඩා බරපතළ සිදුවීම් දේශපාලනඥයන්ගෙන් රජයේ සේවකයන්ට සිදුවිය හැකිය.
« PREV
NEXT »