BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, February 27, 2018

සමූපකාරයේ ගැටලු ඉදිරි මාස 3කින් අවසන්

අපගේ සමූපකාර ක්‍ෂේත්‍රයට සම්බන්ධව සිටින ඔබගේ සංවිධානවල දැනට පවතින ගැටලු ගැනත්, ඔබ ඉදිරිපත් කළ අදහස් යෝජනා ගැනත්, මම අවධානය යොමු කර, ඉදිරි මාස 03 තුළ දී එකී ගැටලු විසඳා දීමට පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා අමාත්‍යාංශයේ පැවති සමූපකාර ක්‍ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ සංවිධාන සමඟ පැවති සාකච්ඡාවේදීය. මෙම සාකච්ඡාව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

සමූපකාර ව්‍යාපාරයට සම්බන්ධ සංවිධාන 14 ක් පමණ මෙම සාකච්ඡාවට සම්බන්ධ විය. ඔවුන්ගේ ඉල්ලීම පරිදි මෙම රජය යටතේ අමාත්‍යවරයාව සෘජු ලෙස මුණ ගැසෙන්නේ ප්‍රථමවතාවටය. මෙහිදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ආරාධනය පරිදි සමූපකාර සංවිධානයන්හි නියෝජිතයින් තමන් මුහුණ පා සිටින ගැටලු එකිනෙක අමාත්‍යවරයා වෙත යොමු කරනු ලැබීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ පැවසීය.

"අද දින සමූපකාර ක්‍ෂේත්‍රයේ ප්‍රධාන වෘත්තීය සමුපකාර සංගම්වල නායකයින් මුණ ගැහෙන්නට ලැබීම ගැන මම අතිශයින් සතුටු වෙනවා. ඒ වගේම මම ඔබගේ ගැටලු මෙන්ම ඔබ සමූපකාර ක්‍ෂේත්‍රයේ දියුණුව උදෙසා ඉදිරිපත් කළ යෝජනා හා අදහස් ගැන හොඳින් අවධානය යොමු කළා. මම අමාත්‍යවරයා වශයෙන් ඔබ සියලු දෙනාට බලපා ඇති ගැටලු විසඳා දීමට බැඳී සිටිනවා. සමහර ගැටලු අපේ කොමසාරිස්තුමාට විසඳා දෙන්න පුලුවන්. තවත් සමහරක් මගේ අමාත්‍යාංශය හරහා විසඳා දෙන්නට පුලුවන්. තවත් සමහරක් වෙනත් අමාත්‍යාංශ සමඟ පළාත් සභා සමඟ විසඳා දීමට පුලුවන්. ඒ වගේම ඔබට මාව හමුවන්න බැරි වුණත්, අපේ කොමසාරිස්තුමා හමුවෙලා ඕනෑම ප්‍රශ්නයක් විසඳා ගැනීමට පුලුවන්. එතුමා දැඩි කැපවීමෙන් යුතුව වැඩ කරනවා. ඒ වගේම ඔබ සංවිධානවල සේවක මහත්ම මහත්මීන්ට පවතින වැටුප්, දීමනා ගැටලු ඇතුළු සමූපකාර ක්‍ෂේත්‍රයට බලපාන සියලුම ගැටලු මම මගේ කාලය තුළ විසඳලා දීලා සමූපකාරය මේ රටේ ජනතාවගේ විශේෂයෙන්ම ගමේ ජනතාවගේ හිත මිතුරා බවට පත් කරන්නට කටයුතු කරනවා. ඒ වගේම ඔබගේ නිෂ්පාදනවලට දෙස් විදෙස් වෙළඳපොල ලබා දෙන්නටත්, එමඟින් අපනයන අවස්ථා වැඩි දියුණු කිරීමටත් මම කටයුතු කරනවා. ඒ වගේම සමූපකාර ක්‍ෂේත්‍රය ගැන ඕනෑම තොරතුරක් ලබා ගත හැකි පරිදි තොරතුරු ජාලයක් හා පර්යේෂණ මධ්‍යස්ථානයක් මෙන්ම ලේඛනාගාරයක් ඇති කරන්නටත් මම පියවර ගන්නවා. ඒ වගේම මම මාස 03 කට වරක් ඔබ හමුවී ඉදිරි දියුණුව සඳහා සාකච්ඡා කිරීමටත් බලාපොරොත්තු වෙනවා." යැයි පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් කතා කළ සමූපකාර සංවර්ධන කොමසාරිස් හා සමූකාර සමිති රෙජිස්ට්‍රාර් එස්.එල්. නසීර් මහතා

"අද ශ්‍රි ලාංකීය සමුපකාර ව්‍යාපාරයේ ඉතාම වැදගත් දවසක් වෙනවා. ගරු විෂයභාර අමාත්‍යතුමාට සමූපකාර ව්‍යාපාරය මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ලබා දීමට මේක වැදගත් අවස්ථාවක් වුණා. මේ හඳුනාගත්තු ගැටළු මාස 03 ක් ඇතුළත විසඳා ගැනීමටත්, දීර්ඝ කාලීන් ප්‍රශ්න තිබෙන ඒවා සම්බන්ධව අවශ්‍ය යෝජනා අදාල අමාත්‍යාංශ ප්‍රතිපත්ති සම්පාදන ආයතනවලට ලබා දීමටත්, මේ සමූපකාර ව්‍යාපාරය සමාජ ආර්ථික සංවර්ධනය සඳහා, සමාජ සුභ සාධනය සදහා, සමූපකාර ව්‍යාපාරය යොදා ගන්නේ කෙසේද කියන එක තමයි අපි මූලික වශයෙන් සාකච්ඡා වුණේ. මං හිතන්නේ මුදුන් මට්ටමේ සමිති 14 ක්, ඒ වගේම ප්‍රබල සමිති 04 ක්, 05 ක් මේ වැඩසටහනට සහභාගී වුණා. වැදගත් කාරණා සාකච්ඡා වුණා. ඉදිරියේදී ලොකු ගැම්මක් සමඟ මේ ව්‍යාපාරය ශ්‍රි ලාංකීය සමාජ ආර්ථික සංවර්ධනය සඳහා භාවිතා වන පරිදි අපිට ශක්තිමත් කරගන්න පුලුවන් කියන විශ්වාසය මා තුළ තියෙනවා."යැයි පැවසීය.

මෙහිදී සමූපකාර වෘත්තිය සංවිධානයන්හි නියෝජිතයින් 14 දෙනෙකු පමණ අදහස් දැක්වීය.
« PREV
NEXT »