BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, February 13, 2018

අගමැති රකින්න ඇමති මංගල සටනට

පළාත් පාලන මැතිවරණයෙන් ලද පරාජය බාරගනිමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට එජාප පසුපෙලින් හා ශ්‍රීලනිප ඇමතිවරුන් ගෙන් එල්ලවී ඇති බලපෑම් මුළුමනින්ම ප්‍රතික්ෂේප කර සිටින මංගල සමරවීර හා රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් මැතිවරණ පසුබැසීම අගමැතිවරයා මත පමණක් පැටවීම යුක්ති සහගත නොවන බව අවධාරණය කර සිටිති.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහවුරු කර ඇති බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාස මහතාට හෝ කරු ජයසූරිය මහතාට නායකත්වය ලබාදිය යුතු බවට එජාපය තුළින්ම ඉල්ලීම් මතුවෙමින් පවතින බවත් 'බීබීසී සිංහල සේවය' වාර්තා කර ඇත.

මේ සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ (12) රාත්‍රී කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ පැවති බවත් ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් නව අගමැතිවරයෙක් පත්කර ගන්නා මෙන් ජනාධිපතිවරයා එම පක්ෂයට දැනුම් දී තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙක් 'බීබීසී සිංහල සේවය'ට පවසා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය පරිදි සිය පක්ෂයේ සංශෝධන සිදුකිරීමට සූදානම් නැති අතර, එවැන්නක් සිදු විය යුත්තේ සිය පක්ෂය තුළින් බව මේ අතර අගමැතිවරයාගේ ස්ථාවරය වී ඇතැයි 'බීබීසී' පවසයි.

ජනාධිපතිගේ ස්ථාවරය මෙන්න :

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන තනි ආණ්ඩුවක් පිහිටුවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අදහසට ප්‍රතිචාර වශයෙන්, එවැනි ශ්‍රීලනිප සාමාජිකයන්ට තමන් අමාත්‍ය පදවි ලබා නොදෙන බව ජනාධිපතිවරයා පවසා ඇතැයි ද 'බීබීසී සිංහල සේවය' වාර්තා කර ඇත.

එජාපය දෙමළ ජාතික සන්ධානය සමග එක්ව නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එවිට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අදහස ඉවත්කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයට සිදුවනු ඇති බව ද ජනාධිපතිවරයාගේ ස්ථාවරය බව 'බීබීසී' ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

'අගමැති තීරණය කල යුත්තේ එජාපයයි' :

කෙසේවුවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ(12දා) රාත්‍රීයේ පැවති සාකච්ඡාවේදී අමාත්‍ය මංගල සමරවීර මහතා, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට දැඩි ලෙස විරෝධය පළකර ඇතැයි වාර්තාවේ.

මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන මංගල සමරවීර, අකිල විරාජ් කාරියවසම්, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, මහින්ද අමරවීර සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරුන්ද සහභාගීවී තිබිණ.

එම රැස්වීමෙන් අනතුරුව එජාප නියෝජිත පිරිස අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසට ගොස් තවදුරටත් දීර්ග වශයෙන් සාකච්ජා පවත්වා ඇති අතර එම අවස්ථාවට එක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද මංගල සමරවීර අමාත්‍යවරයාගේ අදහස මුළුමනින්ම අනුමත කර තිබේ.
« PREV
NEXT »