BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, February 20, 2018

රනිල් අගමැති වුණේ ජාතික ආණ්ඩුව බිහිකිරීමට පෙර - ජයම්පති කියයි

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් වුණේ 2015 අගෝස්තු මස පැවැති මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව බවත් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් දිව්රුම් දී සතියකටත් අධික කාලයකට පසු ජාතික ආණ්ඩුව බිහි කරන ලද බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.


ඒ මහතා මේ බව පැවසුවේ රාජගිරියේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා ඊයේ (19) සහභාගී වෙමිනි.

අගමැතිවරයා ඉවත් කිරීම සහ කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය ගැන අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අගමැතිවරයා ඉවත් කිරීමට නම් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරිය ලෙස සැලකිය යුතු බවයි.

දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලතල නොමැති බවත් එසේ ඉවත් කිරීමට නම් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයක්, අය-වැය ලේඛනයක් පරාජය වීම හෝ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් පැමිණිය යුතු බවත් හෙතෙම පැවැසීය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් වූ පසුව රජය ජාතික ආණ්ඩුවක් දක්වා පුළුල් කිරීමට අවශ්‍ය නිසා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගනිමින් ඇමැතිවරු සංඛ්‍යාව වැඩි කර ගන්නට කටයුතු කළ බවත් මේ අනුව ජාතික ආණ්ඩුව අහෝසි වුවහොත් සිදු වන්නේ ඇමැති මණ්ඩලය අඩු වීම පමණක් බවත් වික්‍රමරත්න මහතා කීවේය.

නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඇමැතිවරයෙක් ඉවත් කිරීමට වුවද ජනාධිපතිවරයාට අගමැතිවරයාගේ උපදෙස් අවශ්‍ය බව කී ඒ මහතා, 19 සංශෝධනයෙන් පාර්ලිමේන්තුව ශක්තිමත් වී තිබෙන බවත් අගමැතිවරයා ඉවත් කිරීමට නම් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරිය ලෙස සැලකිය යුතු බවත් ප්‍රකාශ කළේය.
« PREV
NEXT »