BREAKING NEWS
latest

728x90

468x60

Monday, February 19, 2018

අල්ලස් කොමිසමෙන් විමල්ට නඩු පවරයි

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 71කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවෙක් සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු පවරා ඇත.


එම නඩුව විභාග කිරීමට දින නියම කිරීම සඳහා ලබන මැයි මස 16 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අද (19) නියම කළේය.

අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල විත්ති පාර්ශවයට ලබාදිය යුතු ලේඛණ බාරදී ඇතැයි කියමින් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2009 වසරේ සිට 2014 වසර දක්වා වු වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි 71 කට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ චෝදනා පත‍්‍රයේ සඳහන් වේ.

2009 ජනවාරී මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යානුකූල වත්කම් හා ලැබීම් වලින් උපයාගත නොහැකි රුපියල් 744 80 017 මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස් වලින් බවත් අධිචෝදනා පත‍්‍රයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.

මුදල් උපයාගෙන ඇති ආකාරය හා දේපළ උපයාගෙන ඇති ආකාරය දැක්වෙන උපගොනු දෙකක්ද අධිචෝදනා පත‍්‍රය සමඟ අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සුනේත‍්‍රා ජයසිංහ මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් පැමිණිල්ල විත්ති පාර්ශවයට බාරදිය ලේඛණ තමන් බාරදුන්නේ යැයි කීවාය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් තමන්ට ලැබිය යුතු සියලු ලේඛණ ලබාදී ඇත්ද යන්න දැනුම් දීමට මත්තෙන් මෙම ලේඛණ පරීක්‍ෂා කළ යුතු හෙයින් ඒ සඳහා තමන්ට දිනයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළ අතර මෙම නඩුව ලබන මැයි මස 16 වැනිදා කැඳවීමට ද අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට ද නියම කළේය.



මනෝප‍්‍රිය ගුණසේකර
« PREV
NEXT »