BREAKING NEWS
latest

728x90

468x60

Saturday, March 31, 2018

ආණ්ඩුවේ රතු එලියක් ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්

රජයේ අඩුපාඩු නිසා පසුගිය මැතිවරනයේදී ආණ්ඩුවට රතු එලියක් ජනතාව පෙන්වු බව අමාත්‍ය සජිත් පේමදාස මහතා පැවසීය.


මාතර වැලිගම,මිදිගම යස ඉසුරුගම ජනතා අයිතියට පතකරමින් ඇමතිවරයා මේ බව කීවේය.

අද දින මෙම සහන ලබා දෙන විට දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඔබගේ මතකයට නැ‍‍ගෙනවා ඇති. රණසිංහ ප්‍රේමදාස යුගය තුළ මෙරට නිවාස විප්ලවයක් ඇති කළා. නමුත් සමහරුන්ට දැන් මේවා අමතකයි. එදා සිරිමාවෝ බණ්ඩාරානයක මැතිණියගේ ’70 – ’77 කාලය තුළ වසර 7 ටම ඉදි වුණේ නිවාස 700 ක් පමණයි. ඉන් පසුව ඇති වූ දේශපාලන විප්ලවය සමඟ නිවාස ලක්ෂය, දස ලක්ෂය සහ පහළොස් ලක්ෂය යනාදී වැඩසටහන් හරහා රටේ පවුල් විසිහය ලක්ෂයකට පමණ ප්‍රතිලාභ හිමි වුණා. නමුත් ’94 දී ‍ඇති වූ දේශපාලන වෙනස සමඟ නිවාස සංවර්ධන වැඩසටහන සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. සාමය සහ සමෘද්ධිය ඇති කිරීම සඳහා එදා නිවාස අමාත්‍යංශය විෂයන් 6 කට බෙදා වෙන් කළා. එනම් උතුරු නැගෙනහිර නිවාස, ආපදා නිවාස, වතු නිවාස, ධීවර නිවාස, නාගරික නිවාස සහ ග්‍රාමීය නිවාස ලෙසයි. මින් මා වෙත ඇත්තේ ග්‍රාමීය සහ මධ්‍යම පාන්තික නිවාස විෂයයි. අදටත් රටේ නිවාස ඉදිකිරීමේ වගකීම අමාත්‍යංශ 6 ක් යටතේ පවතිනවා. මේ නිසා රණසිංහ ප්‍රේමදාස මහතාගේ නිවාස ප්‍රතිපත්තිය ’94 න් පසුව සහමුලින්ම යටපත් වුණා.

මා මේ ඇමතිකම භාර ගත්තේ 2015 වසරේ ජනවාරි 12 වැනිදායි. ඒ වන විටත් රටේ පවතින නිවාස අවශ්‍යතාව පිළිබඳව නිවාස අමාත්‍යංශය දැනගෙන සිටියේ නැහැ. ඔවුන් සතුව නිසි සංඛ්‍යා ලේඛන තිබුණේ නැහැ. එනිසා නිසි සංගණනයක් සිදු කිරීමට අපට සිදු වුණා. 1994 ත් 2015 ත් අතර කාලය තුළ රටේ සිදු වූ නිවාස සංවර්ධන වෙනස එයයි. එම සංගණනය සිදු කළ නිසා අද අප සතුව අවශ්‍ය නිවාස දත්ත පැහැදිලිව තිබෙනවා. අද වන විට රටේ පවුල් ලක්ෂ 25 කට පමණ විවිධ නිවාස ගැටලු පවතිනවා. පසුගිය කාලය තුළ සෙවණ හිමි වුණේ රටේ පොඩි මිනිහට නොව රටේ පාලක පන්තියටයි. ඔවුන් සිදු කළේ ජනතාවට සෙවණ සලසා දීම වෙනුවට තම තමන්ට, ඥාතීන්ට සහ හිත මිතුරන්ට සෙවණ සලසා ගැනීමයි. ඔබ ඉදිරි කාලය තුළ රණසිංහ ප්‍රේමදාස නිවාස ප්‍රතිපත්තිය පිළිබදව විශ්වාසය තබන්න. ඒ අනුව යමින් වසර 2025 වන විට රටේ සැමට සෙවණ අප ලබා දෙනවා.

රණසිංහ ප්‍රේමදාස නිවාස ප්‍රතිපත්තිය යටතේ සිදු වුණේ රටේ පොඩි මිනිසාට සෙවණ ලබා දීමයි. එතුමාට ජනතාවගේ ප්‍රශ්න පිළිබදව ප්‍රායෝගික අවබෝධයක් තිබුණා. අද අපේ රජය සෑම විටම උත්සහ කරන්නේ පොඩි මිනිසාගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමටයි. අපේ නායකයින් අපට උපදෙස් ලබා දී ඇත්තේ සෑම විටම අවංක, පිරිසිදු ජනතා සේවයක් සිදු කිරීමටයි. අපේ අමාත්‍යංශය විසි හතර පැයම නොනිදා වැඩ කරන අමාත්‍යංශයක් බව මා සතුටින් ප්‍රකාශ කරනවා. අප සෑම විටම ජනතා සේවය වෙනුවෙන් කැප වී සිටිනවා. අප සතුව කිසි විටක බොරුව, වංචාව, දූෂණය සහ ප්‍රෝඩාව නැහැ. අපේ සේවය සැබැවින්ම පිරිසිදුයි.

අද අප අනුගමනය කරන්නේ දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ නිවාස ප්‍රතිපත්තිය සහ දර්ශනයයි. ඒ අනුව යමින් එතුමා බලාපොරොත්තු වූ දුප්පතුන් නැති ශ්‍රී ලංකාවක්, නිවාස ගැටළු නැති ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම අපගේ ඒකායන අරමුණයි. අද වන විට දේශපාලඥයින් පිළිබඳව රටේ ජනතාව තුළ කළකිරීමක් තිබෙනවා. ඒ නිසාම අප පිළිබඳවත් අප ස්වයං විවේචනයක් සිදු කරමින් සිටිනවා. අපේ රජය ඉටු කළ දේ සහ ඉටු නොකළ දේ පිළිබඳව ජනතාව අද රතු එළියක් ලබා දී තිබෙනවා. ජනතාව ලබා දුන් එම රතු එළිය අප හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා. එම නිසා අපේ පසුබෑම ඉක්මනින් ජයග්‍රහණය කරා ගෙන යාමට අපට හැකියි.

අප යළි නැගිටීමට නම් ජනතාවට පොහොර සහනාධාරය ලබා දිය යුතුයි. පාසල් දරුවන්ට වවුචර් පත් වෙනුවට නිල ඇඳුම් ලබා දිය යුතුයි. ජනතාවගේ පැතුම එයයි. ඒ වගේම රැකියා විරහිත උපාධිධාරීන්ට අනිවාර්යයෙන්ම රැකියා ලබා දිය යුතුයි. ජනතාවට ඉඩම් සහ නිවාස ලබා දිය යුතුයි. අප සැමවිටම කළ යුතු වන්නේ අප හොඳ යැයි සිතන දේට වඩා ජනතාව හොඳ යැයි සිතන දේට සෑම විටම සවන් දීමයි. ඒ අනුව රාජ්‍ය ප්‍රතිපත්තිය අප නිර්මාණය කළ යුතුයි. ජනතා හඳ ගැස්ම හඳුනා ගෙන රටේ පොඩි මිනිසා ගොඩ ගැනීමට අප හැම විටම ඇප කැප වන බව මා සතුටින් ප්‍රකාශ කරනවා.


« PREV
NEXT »