BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, April 17, 2018

ඇප කොන්දේසි නැතුව මහින්දානන්ද බන්ධනාගාරයට

හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා රුපියල් 35,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්‌ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත මුදා හැරීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඊයේ (16 වැනිදා) නියෝග කළාය.

කෙසේ නමුත් අධිකරණය විසින් පනවන ලද ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම නිසා සැකකාර මන්ත්‍රීවරයා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගෙනයාමට බන්ධනාගාර නිලධාරීන්ට සිදුවිය.

සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට පත්කරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත්වරිය විසින් ඊයේ ඇප කොන්දේසියක්‌ පැනවූ අතර, තමාගේ විදේශ ගමන් බලපත්‍රය කොළඹ මහාධිකරණය හමුවේ තැන්පත් කර ඇති බව සැකකරු අධිකරණ නිලධාරීන්ට පෙන්වා දුන්නේය. නමුත් ඒ බව සනාථ කිරීමට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීමට සැකකරු අපොහොසත් විය.

අලුත්ගමගේ මහතාට එරෙහිව එල්ල වී ඇත්තේ පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනා නොවන බවට නිගමනය කළ මහෙස්‌ත්‍රාත්වරිය විදේශ ගමන් වළක්‌වන නියෝගයක්‌ පනවමින් මෙම ඇප නියෝගය නිකුත් කළාය. 

ලංකා සතොස මගින් ආනයනය කළ රුපියල් මිලියන 39 ක්‌ වටිනා දාම් හා කැරම් ක්‍රීඩා උපකරණ තොගයක්‌ පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමේ චෝදනාව යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය විසින් සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීමට පැමිණෙන ලෙසට මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය විසින් කරන ලද දැනුම් දීම මත සැකකාර මන්ත්‍රීවරයා ඊයේ දහවල් 10.00 ට පමණ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට පැමිණියේය.

ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නේ එකී ක්‍රීඩා උපකරණ ආනයනය කිරීම සඳහා වැය කර ඇත්තේ ලංකා සතොස ආයතනයට අයත් මුදල් මිස ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් මුදල් නොවන බවයි.

එබැවින් සැකකරු ඕනෑම ඇප කොන්දේසියක්‌ යටතේ මුදාහරින ලෙසට කළ ඉල්ලීම පිළිගත් මහෙස්‌ත්‍රාත්වරිය එකී චෝදනා පොදු දේපළ පනත යටතට ගැනෙන චෝදනා නොවන බවට නිගමනය කරමින් මෙම ඇප නියෝගය නිකුත් කළාය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ලබන මැයි 11 වැනි දින දක්‌වා කල්තැබීමට ද මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවේදී කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය අවට විශේෂ පොලිස්‌ ආරක්‌ෂාවද යොදවා තිබූ අතර, පිටස්‌තර කිසිදු පුද්ගලයකුට අධිකරණය පිහිටි ප්‍රදේශයට ඇතුළු වීමට පොලිසිය අවසර ලබා දුන්නේ නැත.
« PREV
NEXT »