BREAKING NEWS
latest

728x90

468x60

Friday, April 27, 2018

රවිට විරෝධය - ජෝශප් මයිකල් එජාප කෘත්‍යාධි කාරියෙන් ඉල්ලා අස්‌වෙයි -රන්ජනුත් විරුද්ධ වෙයි

එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන තනතුරු සඳහා එහි දේශපාලන මණ්‌ඩලය විසින් යෝජනා කළ සියලු දෙනාට ඊයේ (26 දා) සිරිකොත රැස්‌වූ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ අනුමැතිය හිමිවී ඇත.

කෙසේ වෙතත් උපනායක තනතුර සඳහා හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා පත් කිරීමට විරෝධය පළ කරමින් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන ජෝශප් මයිකල් පෙරේරා මහතා කෘත්‍යාධිකාරි මණ්‌ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්‌වී රැස්‌වීමෙන් පිටව ගොස්‌ ඇත.

ජෝශප් මයිකල් පෙරේරා මහතා මෙන්ම නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතාද රවි කරුණානායක මහතාගේ පත්වීමට විරුද්ධත්වය පළ කර තිබේ. එම දෙදෙනා විරෝධය පළ කළද උපනායක ධුරයට රවි කරුණානායක මහතා පත් කිරීමට බාධාවක්‌ නොවුණු බව එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකයෙක්‌ "දිවයින"ට පැවැසීය.

ඊයේ පෙරවරුවේ සිරිකොතදී අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්‌ඩලය රැස්‌විය. පෙරදින (25 දා) එජාප දේශපාලන මණ්‌ඩලය විසින් පත්කළ පක්‍ෂ නායක, නියෝජ්‍ය නායක, උප නායක, මහ ලේකම්, භාණ්‌ඩාගාරික, සභාපති, ජාතික සංවිධායක මෙන්ම අලුතෙන් පත් කරන ලද ප්‍රචාරණ සහකාර ලේකම්, ජනසන්නිවේදන සහකාර ලේකම්, වෘත්තීය සමිති ලේකම් ආදී තනතුරු සඳහා අනුමැතිය ලබා ගැනීම රැස්‌වීමේ අරමුණ විය.

ඒ අනුව දේශපාලන මණ්‌ඩලය යෝජනා කළ පරිදි පක්‍ෂ සභාපති ලෙස කබීර් හෂීම්, මහලේකම් අකිල විරාඡ්, ජාතික සංවිධායක නවීන් දිසානායක, භාණ්‌ඩාගාරික හර්ෂ ද සිල්වා, පක්‍ෂයේ ප්‍රචාරක හා ජන සන්නිවේදන ලේකම් හරීන් ප්‍රනාන්දු, වෘත්තීය කටයුතු ලේකම් අජිත් පී. පෙරේරා, සහකාර ලේකම් රුවන් විජයවර්ධන යන මහත්වරුන්ගේ පත්වීම් කෘත්‍යාධිකාරී මණ්‌ඩලය විසින් ස්‌ථිර කරන ලදි.

එහිදී පක්‍ෂ මහ ලේකම් ධුරයට අකිල විරාඡ් කාරියවසම් මහතා පත්වීම සම්බන්ධයෙන් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පෞද්ගලික එකඟත්වය පළ නොකරන බව ප්‍රකාශ කළද බහුතර කැමැත්ත එය බැවින් ඊට ඉඩදෙන බව පවසා ඇත.

මෙහිදී සියලු තනතුරු සඳහා ඒකමතික අනුමැතිය හිමි වුවද උප නායක රවි කරුණානායක මහතාට විරෝධය පළ කරන බව ප්‍රකාශ කිරීමට ජෝශප් මයිකල් ප්‍රනාන්දු මහතා අවස්‌ථාව ඉල්ලා ඇත. පක්‍ෂයේ අනුමත තනතුරකට විරෝධය දැක්‌වීමට තුනෙන් එකක බලයක්‌ තිබිය යුතු බැවින් ඒ සඳහා තුනෙන් එකක පිරිසක්‌ සිටීදැයි සොයා බැලීමට අත් ඔසවන ලෙස ඉල්ලා ඇති අතර එහිදී අත් ඔසවා ඇත්තේ නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පමණි.

රවි කරුණානායක මහතාට විවිධ චෝදනා එල්ලවී ඇති බැවින් පක්‍ෂයේ උප නායක තනතුරට පත්වීමට නම් පළමුව ඒවායෙන් නිවැරදිකරු වී පැමිණිය යුතු බව රාමනායක මහතාගේ අදහස වී තිබේ. එහෙත් විරෝධය පළ කළේ දෙදෙනකු පමණක්‌ බැවින් රවි කරුණානායක මහතාගේ පත්වීමට කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ අනුමැතිය ලැබී ඇත.

මේ අතර පක්‍ෂයේ ව්‍යවස්‌ථාව ප්‍රජාතන්ත්‍රකරණයට ලක්‌විය යුතු බවට නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතාද ඊයේ දීර්ඝ වශයෙන් අදහස්‌ දක්‌වා තිබේ. එහිදී පක්‍ෂය රැකගත් ජ්‍යෙෂ්ඨයන්ට අපහාස නොවන ලෙස අදහස්‌ දක්‌වන මෙන් ජෝන් අමරතුංග මහතා විසින් අජිත් පී. පෙරේරා මහතාට පවසා තිබේ. ජෝන් අමරතුංග ඇමැතිවරයා එහිදී එජාප ජ්‍යෙෂ්ඨයන් අගය කරමින් අදහස්‌ දක්‌වා ඇති අතර පසුගිය මැතිවරණවලදී ජ්‍යෙෂ්ඨයකු වන තමාද සිය ආසනය ජයග්‍රහණය කළ බවත් ජ්‍යෙෂ්ඨයන් ඉවත්විය යුතු බව කියන අයට සිය ආසනයවත් ජය ගැනීමට නොහැකි වූ බවත් පෙන්වාදී ඇත.

පක්‍ෂයේ තනතුරු පත් කිරීමේදී රහස්‌ ඡන්දයකින් එය කළ යුතු බවට ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමැතිවරයා යෝජනා කළත් එවැන්නක්‌ පක්‍ෂ ව්‍යවස්‌ථාවේ නැති බවත් අවශ්‍ය නම් එය ඉදිරි සම්මේලනයට ඉදිරිපත් කොට අනුමත කළ හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

ඊයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීම පැය දෙකකට අධික කාලයක්‌ පැවැති අතර පක්‍ෂයේ නව තනතුර සම්මත කර ගැනීමෙන් පසුව සාමකාමීව විසිර ගිය බව එහි සාමාජිකයෙක්‌ පැවැසීය.
« PREV
NEXT »