BREAKING NEWS
latest

728x90

468x60

Saturday, April 21, 2018

මහ රැජිනගේ රාත්‍රි භෝජන සංග්‍රහයට ජනපති එක්‌වෙයි

පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වී සිටින රාජ්‍ය නායකයන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය දෙවැනි එළිසබෙත් මහ රැජින විසින් පිළිගන්වන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය පෙරේදා (19 වැනිදා) රාත්‍රියේ බකිංහැම් මාලිගාවේ දී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද එම අවස්‌ථාවට එක්‌වූ අතර බ්‍රිතාන්‍ය මහ රැජිනගේ විශේෂ නියෝජිතයකු විසින් එහිදී ජනාධිපතිවරයා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

ලොව ඉහළ පෙළේ රාජ්‍ය නායකයන් රැසක්‌ මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා එක්‌ව සිටියහ.

තිරසර අනාගතයක්‌ උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද ප්‍රධානතම අරමුණක්‌ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

පොදු රාජ්‍ය මණ්‌ඩල විධායක සභාව, පොදු රාජ්‍ය මණ්‌ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පෙරේදා (19 වැනිදා) පස්‌වරුවේ ලන්ඩන් නුවර ලැන්කැස්‌ටර් හවුස්‌ හිදී පැවැත්වුණු අතර එහිදී අදහස්‌ දක්‌වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. 

පොදු රාජ්‍ය මණ්‌ඩලයීය විධායක සභාවට සහභාගී වූ ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවාය. 

ලොව රටවල් රැසක ප්‍රබල රාජ්‍ය නායකයන් රැසක්‌ මෙම විධායක සභාව නියෝජනය කරන අතර පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නිල ප්‍රඥප්තිය සම්මත කර ගැනීමද මෙහිදී සිදු කෙරිණි. 

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීවේය. 

තිරසර සංවර්ධනය යනු සංවර්ධනය සම්බන්ධයෙන් යොදාගන්නා යෙදුමකි. එබැවින් සෑම ආණ්‌ඩුවක්‌ම ඒ කෙරෙහි අවධානය යොමු කරයි. තිරසර අනාගතයක්‌ උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද ප්‍රධානතම අරමුණකි.

දිවයින් ජාතියක්‌ වශයෙන්, අපගේ මතු පරපුරෙහි ප්‍රයෝජනය උදෙසා, අප භූමිය, වනාන්තර, ගංගා සහ සමුද්‍රය සඳහා තිරසර අනාගතයක්‌ සනාථ කිරීම කෙරෙහි ශ්‍රී ලංකාවට විශේෂ උනන්දුවක්‌ පවතී.

ශ්‍රී ලංකාව නාවික කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත්කිරීම පිළිබඳව බොහෝ සාකච්ඡා පැවතුණි. භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව උපායමාර්ගික කේන්ද්‍රස්‌ථානයක පිහිටා ඇත. නැඟෙනහිර - බටහිර කාර්යබහුල නාවික මාර්ගය පිහිටා ඇත්තේ අප දිවයිනට දකුණු දෙසින් නාවික සැතපුම් 10 ක්‌ ආසන්නයේය. 

සෑම වසරකම 60,000 කට වැඩි සංඛ්‍යාවක්‌ නැව් මෙම මාර්ගය භාවිත කරන අතර එමගින් ලෝක තෙල්වලින් තුනෙන් දෙකක්‌ සහ බහලුම් සංඛ්‍යාවෙන් අඩක්‌ ප්‍රවාහනය කරනු ලැබේ.

ලෝකයේ මතු වෙමින් පවතින ආර්ථික බලවේගයක්‌ බවට ආසියාව පත්වන බව රහසක්‌ නොවේ.

ආසියා කලාපය මෙලෙස ආර්ථික උත්පාතයක්‌ ලද අවධියක ශ්‍රී ලංකාව විසින් ස්‌වකීය විශේෂ ස්‌ථානීය වාසිය සහ කේන්ද්‍රීය පිහිටීම උපයෝගී කරගෙන ප්‍රාග්ධන උත්පාදන උදෙසා අනිවාර්ය සැලකිල්ලක්‌ දැක්‌වීම පුදුම විය යුතු කරුණක්‌ නොවේ. 

දරිද්‍රතාවයෙන් මිදීම, රැකියා උත්පාදනය, සමානාත්මතාව ප්‍රවර්ධනය සහ තිරසර සංවර්ධනය යනාදී ඉලක්‌කයන්ට ළඟාවීම සඳහා අපගේ ජනතාවන්ට අපගේ සාගර කලාපයෙන් අවශ්‍ය ප්‍රතිලාභ සලසා දිය හැක. මෙය ස්‌ථාවර සහ තිරසර අනාගතයක්‌ ළඟා කරගැනීමට ඇති මාර්ගයයි. 

එක්‌සත් රාජධානිය විසින් යෝජිත "පිරිසිදු සාගර සඳහා වූ ගිවිසුම" වෙනුවෙන් පූර්ණ සහයෝගීතාව දැක්‌වීමට අප දිගටම කැපව සිටී. මෙකී කරුණු සම්බන්ධයෙන්, උදාහරණයක්‌ වශයෙන් කාලගුණ වෙනස්‌වීම් සම්බන්ධයෙන්, අපි අන්තර්ජාතික ප්‍රජාව සමඟ එක්‌ව කටයුතු කරන්නෙමු. 

මෙවන් පසුබිමක "පොදු රාජ්‍ය මණ්‌ඩලීය නීල-ප්‍රඥප්තිය" සතුටින් පිළිගනු ලබන්නේ සාගරය පොදු වගකීමක්‌ සහ පොදු මානව උරුමයක්‌ ලෙස ඒකාබද්ධ ප්‍රයත්නයන් තුළින් සුරක්‌ෂිත කර ගැනීමටය. 

"නීල-ප්‍රඥප්ති ශූරතාවය" ලෙස සේවය කිරීම සඳහා ලැබුණ අවස්‌ථාව ශ්‍රී ලංකාවේ ඉමහත් සතුටට හේතුවේ. මෙරට සෘජුව පැරිස්‌ සම්මුතිය මුළුමනින් ක්‍රියාවට නැංවීමට කැපවී සිටින අතරම 2030 තිරසර සංවර්ධන සැලසුම් සඳහා ද කැපවී සිටී. මෙය තිරසර අනාගතයක්‌ ප්‍රවර්ධනය සඳහා අවැසි මෙවලම් වේ.

වර්ෂ 2016 දී මා නීල-හරිත සංවර්ධන උපාය මාර්ගයක්‌ ශ්‍රී ලංකාව සඳහා නිරාවරණය කළෙමි. අප නීල-හරිත මූලාරම්භය යටතේ වායු දූෂණය අවම මට්‌ටමක පවත්වා ගනිමින් ආර්ථික සංවර්ධනය කිරීමේ ක්‍රමවේද දිරිමත් කිරීමට කටයුතු යොදා ඇත. 

අධික පොලිතින් සහ ප්ලාස්‌ටික්‌ ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් පරිසරයට වන බලපෑම අවම කිරීම සඳහා රජය විසින් මයික්‍රෝන 20 ක්‌ හෝ ඊට අඩුවෙන් වූ පොලිතින් භාවිත කිරීම තහනම් කොට ඇත.

මගේ කාර්යාලය විසින් එළිදක්‌වන ලද වෙනත් වැඩසටහන් සහ ව්‍යාපෘතීන් යටතේ ජල නළ පද්ධති සහ වැව් සංවර්ධනය කිරීම තුළින් පරිසරය දූෂණය වීම වළක්‌වා ගැනීම සඳහා කටයුතු කරයි.

සමුද්‍රීය සහ ජල සම්පත් තිරසර බවකින් යුතුව භාවිත කරන අතර කාබනික කෘෂිකාර්මික ක්‍රමවේද සහ පිරිසිදු, නැවත භාවිතයට ගත හැකි බලශක්‌ති උත්පාදනය අපගේ ප්‍රමුඛතා අතර වෙති.

තිරසර අනාගතයක්‌ සඳහා වූ අපේ පොදු අරමුණ වන්නේ කිසිවකු අත් නොහැර විශ්වසනීය බවකින් සහ ප්‍රමෝදයෙන් යුතුව අප සියලු දෙනාටම එකට නැඟී සිටීමට සහ ප්‍රගතිය ළඟාකර ගැනීමට හැකියාව ලැබීමයි. පොදු රාජ්‍ය මණ්‌ඩලය මේ පිළිබඳ අනොHන්‍ය වශයෙන් වාසි සහගත වූ පරමාදර්ශයන් අවබෝධ කර ගැනීම සඳහා වැදගත් වේදිකාවක්‌ සපයයි. පොදු රාජ්‍ය මණ්‌ඩලයේ මෙම අරමුණු සාක්‌ෂාත් කරගැනීම සඳහා අප කැපවීමෙන් කටයුතු කළ යුතු වනුයේ මෙය තිරසර අනාගතයක්‌ සපථ කිරීම සඳහා අතිශයින් වැදගත් නිසාය.
« PREV
NEXT »