BREAKING NEWS
latest

728x90

468x60

Sunday, May 27, 2018

මා පිටරට සගවා ඇති ඩොලර් බිලියන 18 පරිත්‍යාග කරනවා යැයි මහින්ද කියයි – ජයකාන්ත ලියනගේ

මහ දවාලේ මහ බැංකුව කොල්ල කාපු අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ නිදහසේ ඉන්නවා. මගේ සල්ලි පිටරට හංගල තිබෙනවලු. මම කිව්වා ඒ සල්ලි හොයල දුන්නොත් චෙක් එක ආණ්ඩුවටම ලියල දෙනවා කියලා. ආණ්ඩුව, තාම සල්ලි හොයල දුන්නේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බළපිටියේදී ප්‍රකාශ කළේය.

මගේ සල්ලි ඩොලර් බිලියන 18 ක් තිබෙන බවත් ආණ්ඩුව කියනවා. ආණ්ඩුවේ ආදායමටත් වඩා වැඩි මේ සල්ලි වලින් තෙල් මිළ, බඩු මිළ අඩු කරල ජනතාවට සහන දෙන්න කියල මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා යැයිද ඒ මහතා අවධාරණය කළේය.

බළපිටිය, වැලිතර ශ්‍රී සුගතසාසනෝදය මහා පරිවේණාධිපති, ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත අහුන්ගල්ලේ විමලධම්ම තිස්ස නාහිමියන් වෙත සිරි විමලනන්දි වංසාවතංස යන ගෞරව නාමය සහිතව අමරපුර මූල වංශික මහා නිකායේ අනුනායක ධූරය පිළිබද ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රධානය කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේදී හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අමරපුර මහා සංඝ සභාවේ හිටපු සභාපති, අමරපුර කල්‍යාල වංශ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය දොඩන්පහළ චන්ද්‍රසිරි මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බළපිටිය, වැලිතර අබගහපිටිය මූල මහා විහාරස්ථානයේදී මෙම උත්සවය පැවැත්විණි.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.

පහත රට මුහුදු කරයේ භික්ෂූන් වහන්සේලාට උපසම්පදාව අහිමි යුගයේ බුරුමයට ගිහින් උපසම්පදාව රැගෙන එන්න බළපිටිය, මහකරාවේ ඥාණවිමල තිස්ස මහ නාහිමින්ට හැකි වුණා. අද අපි පැමිණ තිබෙන්නේ එසේ බුරුමයෙන් උපසම්පදාව ගෙනත් පිහිටුවන ලද අමරපුර නිකායේ මූලස්ථානය වන වැලිතර, අබගහපිටියේ මූල මහා විහාරස්ථානයටයි. එම නිකායේ අනු නායක ස්වාමින් වහන්සේ නමකට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගන්වන්න ලැබීමත් සතුටට කාරණයක්.

අපේ අභිනව අනු නායක විමලධම්ම නාහිමියන් බුදු සසුන වෙනුවෙන් සුවිශාල සේවාවක් කර තිබෙනවා. ඈත ගම් දනව් සිසාරා බුදු දහමේ පනිවුඩය රැගෙන පයින් වැඩම කර තිබෙනවා. රට රැක ගන්න අපි පාද යාත්‍රා යන වෙලාවේ අපිට උපකාර කර තිබෙනවා.

පන්සලක් හදන්න එදා වගේ අද පුළුවන් කමක් නැහැ. දහම් පාසැලකට ගොඩනැගිල්ලක් හදන්න පුළුවන් කමක් නැහැ. එයට සියළු ආගමික නායකයින්ගෙන් සැදුම්ලත් කොමිටියකින් අවසර ගන්න ඕනෑ. ගමේ කොමිටියෙන් අවසර නොලැබුණ හොත් ප්‍රාදේශීය ලේකම් නියෝජනය කරන කොමිටියකට යන්න ඕනෑ. ඊට පස්සේ රටේ නායකයා දක්වා වූ කොමිටියකින් අවසර ගන්න ඕනෑ. අනපනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනෑ. මේ තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ අවධානය යොමු විය යුතුයි.

අද අපේ රටේ මිනී මැරුම් ඉහළ ගිහිල්ල. පොඩි බහින් බස් වීමකටත් මරා ගන්නවා. සංවිධානාත්මක මිනී මැරුම් දිනපතාම සිදු වෙනවා. එක් කෙනෙක් දෙන්නෙක් නොව හතර පස් දෙනා එකවර මරණවා. දෙමාපියන් සමග තිබෙන කෝන්තර වලට කිසිම දෙයක් දන්නේ නැති කිරි සප්පයන් පවා මරා දමනවා. අද උතුරේත් දකුණේත් මේ මරා ගැනීම සිදු වෙනවා. පාතාලය රජ කරන යුගයක් නිර්මාණය වෙලා. මහ දවල් අවි ආයුධ අරන් ගිහින් මරා ගන්නවා. පිටරට වලට පැනල හිටපු පාතාල නායකයින් ආරාධනා කරල ලංකාවට ගෙන්වා ගත්තා. සමහර පාතාල නායකයින් පිට රටවල සිට මිනී මැරුම් මෙහෙයවනවා.

පොලිස්පති තුමාට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් නැහැ. එතුමා නීතිය නව නවා ඉන්නවා හැරෙන්න වෙනත් දෙයක් කරන්නේ නැහැ. ස්වාධීනයි කියල කොම්ෂන් සභා වගයක් පත් කළා. අද පොලිස් කොම්ෂමෙන් දෙන කිසිදු නියෝගයක් පොලිස්පතිතුමා ක්‍රියාත්මක කරන්නේ නැහැ. පොලිස්පති තරහා නම් කොම්ෂම මොකක් කිව්වත් වැඩක් නැහැ. එතුමා නීතිය නමනවා.

අද අපේ රට ගැන අපිටම දුකයි. මේ රට කොච්චර සංවර්ධනයක් වෙමින් තිබූ රටක්ද. යහ පාලනය කොළඹ වරාය නගරයේ වැඩ නැවැත්තුවා. කතරගම දක්වා දුම්රිය මාර්ගය වැඩ නැවැත්තුවා. අධිවේගී මාර්ග සියල්ලම නැවැත්තුවා. අවුරුදු 2 ½ කට පස්සේයි නැවත පටන් ගත්තේ. එහෙම කළේ ඇයිද කියල සොයා බැලිය යුතුයි.

මහ දවාලේ මහ බැංකුව කොල්ල කෑවා. එහෙම කරපු අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ නිදහසේ ඉන්නවා. උදයංග වීරතුංග අත් අඩංගුවට ගන්න කියල දහ සැරයක් විතර ගියා. මගේ සල්ලි පිටරට හංගල තිබෙනවලු. මම කිව්වා ඒවා හොයල දෙන්න, මම චෙක් එක ආණ්ඩුවටම ලියල දෙන්නම් කියලා. ඒ සල්ලි වලින් තෙල් මිළ අඩු කරල ජනතාවට සහන දෙන්න කියලත් කිව්වා. බඩුමිළ අඩු කරල ජීවන වියදම අඩු කරන්න කියලත් කිව්වා. කෝ තාම ආණ්ඩුව, මගේ සල්ලි හොයල දුන්නේ නෑහැනේ. සෙල්ලම් ගානක් නොවෙයි, තිබෙනවා කියන්නේ. ඩොලර් බිලියන 18 ක්. ආණ්ඩුවේ ආදායමටත් වඩා මේ ගාන වැඩියි.

අද තිබෙන්නේ රට බෙදා පාලනය කරන ක්‍රමයක්. ජාතීන් අතර බේද ඇති කරන ක්‍රමවේදයක්. එහෙම කරාම පාලනය කරන්න ලේසියි, කියල වත්මන් පාලකයින් හිතනවා. මේ තත්ත්වය තුල රට තව තවත් අගාධයට යෑම වැලැක්විය නොහැකියි. පළාත් පාලන ඡන්දයෙන් පසුව මට බළපිටියට එන්න බැරි වුණා. රට වෙනුවෙන් අපේ ජයග්‍රහණයට උරදුන් සියල්ලන්ටත් ප්‍රණාමය පුද කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

අපේ අභිනව අනු නායක, අහුන්ගල්ලේ විමලධම්ම නාහිමියන් සම්බුද්ධ ශාසනයට සුවිශේෂි වැඩ කොටසක් කර තිබෙනවා. රටේ අධ්‍යාපනයට උන් වහන්සේගෙන් සිදු වූ සේවාව අනුපමේයයි. අනු නායක ධූරය නිසා උන් වහන්සේ බැබලෙන්නේ නැහැ. උන් වහන්සේ නිසාවෙන් අනු නායක ධූරය බැබලෙනවා.

– ජයකාන්ත ලියනගේ
« PREV
NEXT »