BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, May 23, 2018

බිලියන 50ක් රටට අහිමියි : විදුලිබල ලේකම් බටගොඩ කෙරවලපිටිය චීනයට දෙයි.

කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වාභාවික වායු (LNG) සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව, ඒ සඳහා අවම ලංසුව ඉදිරිපත්කර ඇති දේශීය සමාගම නොසලකා හරිමින් චීන සමාගමක් වෙත ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් බී. එම්. එස් බටගොඩ විසින් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය (PAB) වෙත රහස්‍ය ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇතැයි විශ්වාසනීය අමාත්‍යංශ ආරංචිමාර්ග තහවුරු කරයි. 

මෙම නිර්දේශයට අනුව අදාළ චීන සමාගමට මෙම ටෙන්ඩරය හිමිවුවහොත්, රුපියල් බිලියන 50 ක (මිලියන 50,000) අලාභයක් රටට සිදුවන අතර විශාල මුදලක් චීනය වෙත ගලා යනු ඇත. 

පසුගිය සමයේදී රටේ දැඩි ආන්දෝලනයක් ඇති කල මෙම විදුලි බලාගාරය ඉදිකිරීම හා සම්බන්ධ ටෙන්ඩරය ඊට අදාළ තාක්ෂණික සහ මූල්‍යමය ඇගයීම්වලින් අනතුරුව දේශීය සමාගමක් වෙත ලබාදීමට නිර්දේශ විය. තාක්ෂණික ඇගයීම් කමිටුවේ (TEC) සහ BMS බටගොඩද සාමාජිකයෙකු වූ කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමිටුවේ (SCAPC) නිර්දේශය නොසලකා හරිමින් අමාත්‍යංශ ලේකම්වරයා විසින් මුල සිටම ඊට දැඩි විරුද්ධත්වයක් දැක්වූ අතර මුලදී කොරියාවේ සැම්සුන්ග් සමාගම වෙත මෙම ටෙන්ඩරය හිමිකර දීමට ඔහු උත්සාහ කලද සැම්සුන්ග් සමාගමේ ටෙන්ඩරයේ පැවති බරපතළ දෝශ සහගතබව නිසා එම සමාගම ඉවත් කරන ලදි. අනතුරුව GCL China සමාගම වෙතත් මෙම ටෙන්ඩරය හිමිකරදීම සඳහා ඔහු දැඩි ආයාසයක් ගනිමින් සිටියි. 

නිසි ක්‍රියාපටිපාටියෙන් බැහැරව ගල් අගුරු මිලදීගැනීම හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා උදහසට ලක්වූ බී.එම්. එස් බටගොඩ අමාත්‍යංශ ලේකම්වරයා මෙරට රාජ්‍ය සේවයේ සිටින අකාර්‍යක්ෂම සහ ප්‍රශ්ණකාරී නිල්ධාරියෙකු ලෙස හැදින්වෙන අතර මෙම සිදුවීම හරහා ඔහු දූෂිතයෙකු වශයෙන්ද කටයුතු කරමින් සිටින බව මනාව පැහැදිලි වෙමින් තිබේ. 

විදුලි ඒකකයක මිල රුපියල් 14.97 වන අවම මිල ඉදිරිපත් කල දේශීය සමාගම මින් පෙරද සංයුක්ත චක්‍ර විදුලිබලාගාර ඉදිකර පළපුරුද්ද සහිත සමාගමක් වන අතර විදුලි ඒකකයක මිල ඊට වඩා වැඩ් ( රුපියල් 15.98) චීන සමාගම එවැනි බලාගාර මින් පෙර ඉදිකර නැත. මෙගාවොට් 350ක ධාරිතාවයෙන් යුතු මෙම බලාගාරය ඉදිකිරීමෙන් පසු සාමාන්‍යයෙන් වසරකට විදුලි ඒකක මිලියන 2500 පමණ විදුලි බල මණ්ඩලය විසින් මිලදී ගනු ඇති අතර ඉන් සිදුවන පාඩුව ඉතා විශාලය. 

බී.එම්.එස් බටගොඩ අමාත්‍යංශ ලේකම්වරයා විසින් පෙරකී අභියාචනා මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද බරපතල දෝශ සහගත ලෙස කරුණු විකෘති කරන ලද පිටු ගණනාවකින් යුතු ලියවිල්ල පවා GCL China සමාගමට වාසි සහගත ලෙස සකස් කර තිබේ. එහිදී වඩාත් විශ්මය ජනක කරුණ නම් ලේකම්වරයා විසින් අමාත්‍යංශයේ මතය ලෙස එම ලිපිය ඉදිරිපත් කලද එහි සඳහන් කරුණු පිළිබඳව අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් නැති බව අතීශය විශ්වාසදායක ආරංචිමාර්ගයක් විසින් තහවුරු කර ඇත. 

මෙම ටෙන්ඩරය චීනයට ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම හරහා අනීතික ලෙස ලාභ ඉපයීමෙන් නොනැවතී මෙම ටෙන්ඩරය ප්‍රමාද කිරීම හරහා රට බලශක්ති අර්බුදයකට යොමු කිරීමටත්, විදුලිබල මණ්ඩලය හදිසි මිලදී ගැනීම වෙත යොමු කිරීම හරහා මහාපරිමාණ කොමිස් ඉපයීමේ ජාවාරමකට පාර කැපෙමින් තිබෙන බව තතුදත් ආරංචි මාර්ග පවසයි. BMS බටගොඩ ලේකම්වරයා පත්වූ දා සිට අද දක්වාම ජාතික විදුලිබල පද්දතියට මෙගා වොට් එකක ප්‍රමාණයක විදුලි බලයක්වත් එක් කිරීමට අපොහොසත් වූ අකාර්‍යක්ෂම නිලධාරියෙකි. 

වර්තමාන රජය විසින් රාජ්‍ය සේවය දූෂණයෙන් සහ දේශපාලන බලපෑම්වලින් තොරව කාර්‍යක්ෂමව මෙහෙයවීම සදහා රාජ්‍ය සේවා කොමිසන් සභාව පිහිටුවීම වැනි ප්‍රගතිගාමී පියවර ගනු ලැබූවද ඒ හරහා මෙවන් දූෂිත නිලධාරීන් බලවත් වී රටේ ප්‍රධාන කළමණාකරන තීරණ පෞද්ගලික ලාභ ප්‍රයෝජන මත ගනු ලැබීමට පෙළඹීම ඉතා අවාසනාවන්ත තත්වයකි. 

« PREV
NEXT »