BREAKING NEWS
latest

728x90

468x60

Thursday, May 31, 2018

ලංකාවේ ස්වාභාවික වායුව සහ තෙල් සොයන්න ගිවිසුම් අත්සන් කරේ

ස්වාභාවික වායු සහ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය කිරීම සඳහා ගිවිසුම් අත්සන් කෙරේ. ඒ ලොව විශාලම තෙල්බිම් සේවා සමාගමක් වන ස්ලම්බර්ජර් සමාගමේ උප සමාගමක් වන ඊස්ටර්න් ඊකෝ ඩී.එම්.සී.සී. සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර වේ. ගිවිසුම් අත්සන් කිරීම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේදී ඊයේ (30) සිදු කෙරිණ.

අද අත්සන් කෙරුණු ගිවිසුම බහුසේවා ගිවිසුමකි. තෝරාගත් අක්වෙරළ තීර ආවරණය වන පරිදි ද්විමාන සහ ත්‍රිමාන දත්ත රැස්කිරීමේ ව්‍යාපෘති කිහිපයක් සිදු කිරිමත් දත්ත රැස්කිරීමෙන් පසු අළෙවිය සහ දත්ත ලියාපදිංචියත් ගිවිසුමේ බහුසේවා කොන්දේසි යටතේ සිදුකිරීම අපේක්ෂා කෙරේ. මෙම ගිවිසුමට එළැඹීමේ මූඛ්‍ය අරමුණ වන්නේ නවීන දත්ත රැස්කිරීමේ සහ සැකසීමේ තාක්ෂණ ක්‍රමවේද භාවිතා කරමින් තවදුරටත් ඛනිජ තෙල් දත්ත එකතු කිරීමය. ශ්‍රී ලංකාවේ ගැඹුරු මුහුදේ ගවේෂණ කටයුතු සිදුකිරීමට උනන්දුවක් දක්වන ආයෝජකයින් මුහුණ දෙන තාක්ෂණික සහ මූල්‍ය අවධානම අඩු කර ගැනීමට මෙමගින් හැකිවන ඇතැයිද අපේක්ෂා කෙරේ. දේශීය ඛනිජ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණ කටයුතු සදහා ආයෝජකයින්ගේ සහභාගිත්වය ඉහළ නංවා ගැනීමටද ගිවිසුම ඉවහල් වේ. ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ රටට වාසිදායක වන ලෙස මෙම ගිවිසුම සකස් කිරීමට හැකි වූ බවයි.

“සාමාන්‍යයෙන් ගිවිසුමක් හදනකොට එහි වාසිය තියෙන්න ඕනේ අපේ රටට. ඒ නිසා මේ ගිවිසුම ඉතාමත් සැලකිල්ලෙන් කාලය අරන් සකස් කිරීමට අපට සිදු වුණා. එය අපේ රට ලැබූ විශාල ජයග්‍රහණයක්. ඇත්තටම මේ ගිවිසුම වසර 10 කට සීමා වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ බහුසේවා කොන්දේසි මත මේ ආයතනය සමඟ ඉදිරි කැණීම් කරගෙන යන්න. අපි වසර ගණනාවක් මේ කැණීම් ගැන සාකච්ඡා කළාට හරි තීරණවලට එළැඹීම ටිකක් අතපසු වෙලා තියෙනවා. නමුත් දැන් අපිට ඉදිරියට යන්න පුළුවන්. මේ සමීක්ෂණ කටයුතු සඳහා ඇමරිකන් ඩොලර් දසලක්ෂ 50 කට වැඩි ආයෝජනයක් අද ගිවිසුමට එළැඹුණු සමාගම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සොයා ගන්න දත්ත අයිති අපේ රජයට විතරයි. ඒ දත්ත පාවිච්චි කරන ඕනෑම ආයතනයකින් අපිටත් රජයටත් මුදලක් ලැබෙනවා. අපි පහුගිය කාලේ කැණීම් ගැන ලොකු අවධානයක් යොමු කරලා නැහැ. අපි පහුගිය මාස 6 ප්‍රධාන ආයතන කිහිපයක් එක්ක සාකච්චා කරාල කැණීම් කටයුතු ඉක්මන් කිරිමේ වැඩපිළිවෙලක මූලික කටයුත්තක් විදියට තමයි අද මේ ගිවිසුමට එළඹුනේ. මේ හරහා අපිට උතුරු නැගෙනහිර පළාත්වල රැකියා උත්පාදනය කරන්නත් ලැබෙනවා....”යිද ඔහු කියා සිටියේය. මෙම සමස්ත ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට දායාද කෙරෙන සමාජීය සහ ආර්ථික ප්‍ර‍තිලාභ සැකෙවින් පහත සඳහන් වේ.

· නව දත්ත අර්ථ නිරූපනය සහ ඛනිජ තෙල් පද්ධති ආකෘති පිළියෙල කිරීමට පුහුණු වැඩසටහන් සඳහා ප්‍ර‍තිපාදන වෙන් කොට තිබීම. පවතින භූතාක්ෂණික දත්ත පද්ධතිය සම්මිශ්‍ර‍ණය කිරීමත් යාවත් කාලින කිරීමත් තුලින් මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් දත්ත මගින් අර්ථ නිරෑපන සහ ද්‍රෝණි ආකෘති පිළියෙල කිරීමේ හැකියාව තවදුරටත් ප්‍ර‍වර්ධනය කිරිමට හැකිවේ. මෙම අභ්‍යාසය පොළොව අභ්‍යන්තරය පිළිබද අපගේ අවබෝධය ඉහල දමන්නට ලබාදෙන්නේ ඉහල දායකත්වකි. අලුතෙන් අත්පත් කරගන්නා ඛනිජ තෙල් දත්ත සහ විශේෂිත පුහුණු වැඩසටහන් අනාගත ලියාපදිංචි කිරීමේ වටයන්ගේ සාර්ථකත්වයට මහෝපකාරී වේ.

· දැනටමත් සොයාගත් සංචිත පරිපූර්ණ වීම වේගවත් කරන්නටත් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරගන්නටත් ගිවිසුම මඟින් ලබාදෙන්නේ ඉහල දායකත්වයකි.

· දේශීය භූවිද්‍යාඥයන් වෙත දැනුම ගලා ඒම තහවුරු කරන්නටත්, තාක්ෂණික නිපුනතාවක් අත්පත් කරගන්නටත් හැකිවීම තවත් වාසියකි. තාක්ෂණික මූල්‍ය සහ ආර්ථික ආකෘති යන විෂය ක්ෂේත්‍ර‍න් තුල විශේෂඥ දැනුමක් දේශීය වශයෙන් ගොඩ නංවාලීමට ගිවිසුම මඟින් හැකිවීම වඩාත් අගය කලයුතුය.

· අභිමතය පරිදි ස්ලම්බර්ජර් වෙතින් ඛනිජ තෙල් මෘදුකාංග, ව්‍යුහාත්මක හැකියා සංවර්ධන වැඩසටහන් හෝ මුදල් වශයෙන් අනාගත දත්ත විකිණීමෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකා රජයට ලබාගැනීමට හැකි වීම තවත් ප්‍ර‍තිලාභයකි.

· හයිඩ්‍රෝකාබන් පැවතීමේ හැකියාව මෙන්ම ශ්‍රී ලංකාවේ දත්ත ගෝලීය වශයෙන් අලෙවි සහ ප්‍ර‍වර්ධනය කිරීමේ මහඟු අවස්ථා ඛනිජ තෙල් සහ ස්වභාවික වායු සමාගම් ජාලය හරහා කේන්ද්‍ර‍ ගතවීමට හැකිවීම තුලින් ශ්‍රී ලංකාවට හිමිවේ.
« PREV
NEXT »