BREAKING NEWS
latest

728x90

468x60

Monday, June 04, 2018

‘ දින 100 වැඩසටහනේ වගකිවයුත්තා අගමැතිවරයා බව ජනාධිපති නොකියා කිව්වා‘ - ඉනාමළුවේ සුමංගල හිමි

වත්මන් රජයේ දින 100 රජයේ වැඩ සටහන ගැන ජනාධිපතිවරයා පවා නොදැන සිටි බවක් එතුමාගෙන් ප‍්‍රකාශ වී තිබෙනවා. එහි වගකිවයුත්තා අගමැතිවරයා බව එම ප‍්‍රකාශයෙන් නොකියා කියා තිබෙන බවයි හැගෙන්නේ.

90 දශකයේ එක්සත් ජාතික පක්ෂය බලයට පත්ව දින 100 වැඩ සටහනක් යනුවෙන් විශාල ප‍්‍රචාරයක් දී ආරම්භ කළ බව කාටත් මතකයේ ඇති. එම නිසා මේ රජයේ එම දින 100 ත් වත්මන් අගමැතුවරයාගේම වැඩ පිළිවෙළක් ලෙස පැහැදිළියි. 

අගමැතිවරයාගේ නව සංකල්පයක් ලෙස රටට හඳුන්වා දුන්නත් එය වසර 85 පමණ පැරණි ඇමෙරිකන් කොපියක් බව නම් කිව යුතුයි. 

සියම් මහා නිකායේ රංගිරි දඹුලූ විහාර පාර්ශවයේ මහානායක ආචාර්ය ඉනාමළුවේ ශ‍්‍රී සුමංගල නාහිමියෝ මේ බව ප‍්‍රකාශ කළේ රංගිරි දඹුළු උයන්වත්ත රජමහා විහාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙක් අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ ඇමෙරිකාවේ ‘පළමු දින 100’ නමින් වැඩ සටහනක් පළමුවරට හදුන්වා දී ඇත්තේ 1933 මාර්තු 04 වැනි දින ඇමෙරිකාවේ 32 වැනි ජනාධිපතිවරයා ලෙස පත්වූ රූස්වෙල්ට් විසින්ය.

තම නව රජය පිහිටුවා පළමු දින 100 ඇතුළත ඔහු විසින් නව බැංකු පනතක් ඇතුළු රටේ ජනතාවගේ සුභ සිද්ධියට අදාළ නීති පනවා තිබෙනවා. ඉන්පසු හිටපු ජනාධිපති ඔබාමා සහ වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ද මෙම දින 100 ක‍්‍රියාත්මක කර තිබෙනවා.

එංගලන්තය , ප‍්‍රංශය ආදි රටවලත් මෙය ක‍්‍රියාත්මක වෙනවා. මෙම පළමු දින 100 රාජ්‍ය නායකයාගේ සාර්ථකත්වය මැන බැලීම සඳහා යොදාගත් නිර්ණායකයක් වශයෙනුයි පිළිගෙන තිබෙන්නේ.

කොපි කළ හැකි වුවත් සම කළ නොහැකිය යන කියමනට අනුව එය ලංකාවේ අසාර්ථක වී තිබෙනවා.වෙනසකට ඇත්තේ ජනාධිපතිවරයෙකුගේ වැඩක් ලංකාවේ අගමැතිවරයා කිරීම පමණයි. ඇතැම්විට වත්මන් රජයේ දින 100 වැඩ සටහන යටතේ කර ඇති සාර්ථක වැඩක් ලෙස ‘මහ බැංකුව ශුද්ධ කිරීමේ ව්‍යාපෘතිය‘ හෙවත් ජනාධිපතිතුමාගේ වචනයෙන්ම කියනවානම් ‘ මහ බැංකුව කැඞීම‘ විය හැකියි.

ලංකාවේ ජාතික නායකයන් නැහැ. ඉන්නේ පක්ෂවල නායකයන්, ඔවුන් පක්ෂය ගැන සහ පාක්ෂිකයන් ගැනත් තම මැතිවරණ කොට්ඨාශය ගැනත් පමණයි අවධානය යොමු කරන්නේ. මුලූ රටම ගැන සිතන ජාතික නායකත්වයක් අප රටේ බිහිවෙන තෙක් අප රටේ සැබෑ සංවර්ධනයක් ගැන බලාපොරොත්තු වෙන්න බැහැ.
« PREV
NEXT »