BREAKING NEWS
latest

728x90

468x60

Friday, June 01, 2018

අනුමැතිය ලැබුණොත් පමණක්‌ ඉන්ෆ්ලුවන්සා එන්නත රෝහල්වලට - ඇමැති රාජිත සේනාරත්න

දකුණු පළාතේ පැතිර යන වෛරස්‌ උණ රෝගයට ගොදුරු වූ රෝගීන්ට ලබා දීමට යෝජනා වී ඇති ඉන්ෆ්ලුවන්සා එන්නත සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවේ හා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබුණොත් පමණක්‌ එය රෝහල්වලට බෙදා හැරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම ඉන්ෆ්ලුවන්සා එන්නත පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂඥ වෛද්‍ය කමිටුවට හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත එය යොමු කරන බවත් දේශපාලනඥයින් ලෙස ජනප්‍රිය තීන්දු තීරණ ගැනීමට තමා කිසිසේත් උත්සාහ නොදරන බවත් පැවසූ සෞඛ්‍ය ඇමැතිවරයා එන්නත් ලබාදීමේදී විධිමත් ක්‍රමවේදයක්‌ අනුගමනය කළ යුතු වීම මෙයට හේතුව බව අවධාරණය කළේය.

මාධ්‍ය කියන අන්දමින් ඉන්ෆ්ලුවන්සා එන්නත ක්‍රමවේදයක්‌ නොමැතිව ලබා දිය නොහැකි බවත් ජනප්‍රිය තීන්දු තීරණ ගෙන ඩෙංගු රෝගයට ගොදුරු වූවන්ට බෙහෙතක්‌ ගෙන්වූ පිලිපීන ජනාධිපතිවරයාට දූෂණ චෝදනා එල්ලවීම එවැනි තීන්දු ගැනීමේ ප්‍රතිඵලය බවත් ඊයේ (31 දා) නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්‌ථානයේ පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුව අමතමින් ඇමැතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක්‌ වුවත් ගන්නා තීන්දු ප්‍රබල බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ද එය පිළිගෙන ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී කතා කළ දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශය දකුණේ පැතිර යන වයිරස්‌ උණ රෝගය පිළිබඳව දෛනිකව තොරතුරු විමසා බලා අවශ්‍ය වෛද්‍යවරුන් හා උපකරණ දකුණු පළාතේ රෝහල්වලට ලබා දී ඇතැයි කීවේය.

කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළු කළ වෛරස්‌ උණ රෝගයට ගොදුරු වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ හා වෙනත් සංකූලතාවලට ගොදුරු වූ රෝගීන් හැර පළාතේ වෙනත් කිසිදු රෝහලක මෙම උණ රෝගයෙන් රෝගියකු මිය ගොස්‌ නැති බවද හෙතෙම අවධාරණය කළේය.
« PREV
NEXT »