BREAKING NEWS
latest

728x90

468x60

Saturday, June 09, 2018

අගමැතිගේ ප්‍රකාශය මහින්දට ප්‍රශ්නයක් වූ හැටි

බලයේ සිටියදී ණය ලබාගෙන ලෝක වාර්තාවක් තැබූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමන් නැවත බලයට පැමිණ රටේ බදු 20% කින් අඩු කරන බව ප්‍රකාශ කර තිබෙන බවත්, එලෙස බදු අඩු කරන්නේ කෙසේදැයි ඔහු රටට හෙළි කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08) දින රංවල ඇස්වත්ත පාලම විවෘත කිරීමේ උත්සවයේදී පැවසීය.


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තම පාලන කාලය තුල ශ්‍රී ලංකාවේ ණය මුදල රුපියල් බිලියන 7391 දක්වා වැඩි කළ බවද මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව එම පාලන කාලය තුල ශ්‍රී ලංකාවේ ණය මුදල තුන් ගුණයකින් වැඩි කිරීමේ වාර්තාවට හිටපු ජනාධිපතිවරයා හිමිකම් කියන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා වර්තමානයේ ඒ පව් ගෙවීමට සිදුව තිබෙන්නේ රටේ මහජනතාවට බව ද සිහිපත් කළේය.

රජය හිතු හිතු ආකාරයට අය කරන බදු නිසා ජනතාව බලවත් අසරණ තත්ත්වයට පත් වී ඇති බවත් ඒ නිසා තමන්ගේ රජයක්‌ බලයට පත් වූ විට දැනට පවතින බදු සියයට 20 කින් අඩුකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පසුගියදා "දිවයින" පුවත්පතට කර තිබු ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

රංවල උත්සවයේදී ඒ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

''අප ශක්තිමත් ආර්ථිකයක් අද ගොඩනගා තිබෙනවා''

2015 අප ආණ්ඩු බලය ලබාගන්නා විට සංවර්ධන කටයුතු සඳහා රටේ මුදල් තිබුනේ නැහැ. රාජපක්ෂ පාලනය ආරම්භ කළ සංවර්ධන කටයුතු වෙනුවෙන්ද මුදල් ගෙවමින් අප දැන් රටේ සංවර්ධනය ආරම්භ කර තිබෙනවා.

අප එම සංවර්ධන කටයුතු ආරම්භ නොකළා නම් මෙවැනි පාලමක් ඉදිකිරීමට අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒවාගේම මෙම ප්‍රදේශයට මෙවැනි සංවර්ධනයක් උදා වෙන්නෙත් නැහැ.

අප ආණ්ඩුව බාර ගන්නා විට මෙම වැඩකටයුතු සිදුකිරීමට නොහැකි වේයැයි බොහෝ දෙනා කල්පනා කළා. නමුත් ඒ සියලූ අර්බූදවලට නොබියව මුහුණ දෙමින් අප ශක්තිමත් ආර්ථිකයක් අද ගොඩනගා තිබෙනවා.

රජය සිතු සිතු ආකාරයට අය කරන බදු නිසා ජනතාව බලවත් අසරණ තත්වයකට පත්ව ඇති බවටහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් මම පසුගියදා දුටුවා.

ඒවගේම නැවතත් තමන්ගේ පාලනයක් ඇතිවුවහොත් එම බදු 20% කින් අඩු කරන බව එතුමා එහිදි පවසා තිබුණා.

මෙම බදු අඩුකරන්නේ කෙසේද යැයි මම එතුමාගෙන් අහන්න කැමතියි. 2005 වන විට ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 58ක් ගතවී තිබුණා. ඒ වන විට ශ්‍රී ලංකාවේ ණය මුදල ලෙස සඳහන් වූයේ රුපියල් බිලියන දෙසිය විසිදෙකක මුදලක්.

ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්වුණා. 2015 දී යහපාලන රජය බලයට පත්වන විට ශ්‍රී ලංකාවේ ණය මුදල රුපියල් බිලියන හත්දාස් තුන්සිය අනු එකක් දක්වා ඉහල ගොස් තිබුණා.

රටේ ණය මුදල තුන් ගුණයකින් වැඩි කිරීමේ වාර්තාව :

එසේ නම් එම කාලය තුල අපේ රටේ ණය මුදල තුන් ගුණයකින් වැඩි කිරීමේ වාර්තාව එතුමා සතුයි. කිසිම වාද විවාදයකින් තොරව එම වාර්තාවේ හිමිකම මම එතුමාට භාර දෙනවා.

එතුමාගේ පාලන කාලය තුල පමණක් ශ්‍රී ලංකාවේ ණය මුදල රුපියල් බිලියන හාරදාස් එකසිය හැට හතරකින් වැඩි වී තිබෙනවා. අවුරුදු 58ක් තුල තිබූ ණය මුදල එතුමාගේ පාලන කාලය තුල දෙගුණයකින් වැඩිවුණා.

නමුත් කබීර් හෂීම් ඇමතිතුමා පැවසූ ආකාරයට අප බලයට පත්වන විට බිල්පතක් ගෙවීමට අවශ්‍ය මුදල්වත් ආණ්ඩුව තුල තිබුනේ නැහැ.

ඒවගේම 2013, 2014 කාලවල ලබාගත් ණය සඳහා වන පොලී ගෙවීමට තරම්වත් ආදායමක් රජයට තිබුණේ නැහැ. අප භාරගත්තේ එවැනි රටක්. අපේ ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා අද වන විට ණය ගෙවීමට ශක්තියක් ඇතිවී තිබෙනවා.

ගම සංවර්ධනය කරමින් සිටිනවා. නව ආයෝජන සමගින් රට ඉදිරියට ගමන් කරනවා. දැන් අප උත්සාහ කරමින් සිටින්නේ කර්මාන්තකරණය සහ සංචාරක ක්ෂේත්‍රයන් දියුණු කිරීමටයි. මිල්ලනිය ආදි ප්‍රදේශවල කර්මාන්ත කලාප ඇතිකරන්නේ ඒ නිසයි.

මේ වැඩකටයුතු සඳහා අවශ්‍ය මුදල් තිබුණේ නැහැ. නමුත් එම මුදල් සොයා ගැනීමට අප මහන්සි වුණා. ණය බර අඩුකිරීම සඳහා අප ක්‍රමානුකූලව කටයුතු කළා.

අපට වැඩිම ණය ප්‍රමාණයක් ගෙවීමට තිබෙන්නේ 2017, 2018, 2019 වර්ෂයන්වලයි. 2023 වනතුරු විශාල ලෙස බදු ගෙවීමට තිබෙනවා.

නමුත් රටට නිශ්චිත ආදායමක් තිබුණේ නැහැ. රටේ විදේශ විනිමය වැඩිකරමින් ආයෝජකයින් රට තුළට ගෙන ඒමට අප කටයුතු කරන්නේ ඒ නිසයි.

මහින්දගේ පව් ගෙවන්නේ රටේ මහජනතාව :

මහින්ද රාජපක්ෂ මහතාගේ පව් ගෙවන්නේ අප සහ මේ රටේ මහජනතාව බව පැවසුවොත් මා නිවැරදියි. බැංකු පොලිය, බදු මුදල් ආදිය වැඩි කිරීමට සිදුවුණේ ඒ නිසයි. අප බදු මුදල් වැඩි කළා යැයි අද ඔවුන් ආණ්ඩුවට චෝදනා කරනවා.

නමුත් අප බදු මුදල් වැඩිකලේ මෙම යහපාලන ආණ්ඩුව ලබාගත් ණය පියවීම සඳහා නොවෙයි. එසේත් නැතිනම් 2002 වර්ෂය වනතුරු පැවති යූඑන්පී හෝ ශ්‍රී ලංකා ආණ්ඩුවල ණය ගෙවීම සඳහා නොවෙයි. ඒ සියල්ල අප සිදු කළේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ලෝක වාර්තාවක් වූ ණය මුදල ගෙවීමයි.

බඩු මිල වැඩිවී තිබෙන බව බොහෝ දෙනා පවසනවා. මේ නිසා ඇතමුන් ආණ්ඩුවට බණිනවා. 2023 වන විට අප කෙසේ හෝ මෙම ණය මුදල ගෙවා අවසන් කළ යුතුයි. එසේ නොවුනහොත් රටේ තරුණ තරුණියන්ට අනාගතයක් නැති වෙනවා.

මෙම පැනවූ බදු මුදල් නැවත සංශෝධනය කිරීමට අප අවධානය යොමු කරනවා. ඉන් ජනතාවට ඇතිවන බර අඩු කිරීමට අප කටයුතු කරනවා.

මහින්දට ප්‍රශ්නයක් :

මෙහිදී මම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් එක් ප්‍රශ්නයක් විමසනවා.

ඔබතුමා රජයේ ආදායමෙන් 20% අඩුකරන විට රටේ වියදම් සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමට නැවතත් ජාත්‍යන්තරයෙන් ලබාගන්නා ණය මුදල් ප්‍රමානය වැඩි කරනවාද, එසේත් නැතිනම් රටේ සංවර්ධන වැඩකටයුතු නතර කරනවාද, අපට ඒ වෙනුවෙන් පිළිතුරක් ලබා දෙන්න.

ඔබේ ආණ්ඩුවට රංවල පාලමවත් ඉදිකර අවසන් කිරීමට නොහැකි වුණා. රටේ ණය මුදල් ගෙවීමට නොහැකි වුණා. නමුත් අපේ රජය විසින් ණය මුදලත් ගෙවමින් අද රංවල පාලමත් ඉදිකර අවසන් කර තිබෙනවා.

ඔබ තවදුරටත් රටේ ණය ප්‍රමානය වැඩි කරනවාද, එසේත් නැතිනම් රට සංවර්ධනය නොකර සිටිනවාද, එසේත් නැතිනම් ඔබ ඉදිරියේදී සිදු කරන්නේ කුමක්දැයි දැන ගැනීමට ඔබේ පව් ගෙවන අප සියලූ දෙනා කැමැත්තෙන් සිටිනවා.

2023 දී ප්‍රධාන වශයෙන් තිබෙන ණය ගෙවා අවසන් කරනවා වෙනුවට 2030 දක්වා එම ණය පවත්වා ගැනීමට ඔබ අපේක්ෂා කරනවාද, මම ඇසූ මේ ප්‍රශ්නයට ඔහුගෙන් පිළිතුරක් ලැබෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

රටට මෙතරම් ණය බරක් ඉතිරි කිරීමෙන් පසුව බදු මුදල් වලින් 20% අඩු කරන්නේ කෙසේද යන්න දැනගැනීමට රටේ ජනතාවත් කැමැතෙන් ඇතැයි මා විශ්වාස කරනවා.

බදු පිට බදු ගැසූ කාලයක් මේ රටේ තිබුණා. ඒවා ක්‍රමානූකූලව ඉවත් කිරීමට අපේ රජය කටයුතු කරනවා. පසුගිය වසරේ ගංවතුර තර්ජනය, කුණු කන්ද කඩා වැටීම, කන්න 4ක් පුරා පැවති නියගයට ආදී මේ සියලූ අර්බූදවලට මුහුණ දෙමින් අද අප ඉදිරියට පැමිණ තිබෙනවා.

අපහසු කාලයේ අප ක්‍රමානූකූලව නැගී සිටිය යුතුයි. බදු මුදල් 50%කින් අඩු කරන බව ඔබ ඉදිරියේ මටත් පැවසිය හැකියි. නමුත් එය ප්‍රායෝගික නැහැ. එම නිසා හිටපු ජනාධිපතිවරයා එය 20% අඩුකරන ආකාරය අප දැනගැනීමට කැමතියි. ''
« PREV
NEXT »