BREAKING NEWS
latest

728x90

468x60

Saturday, June 02, 2018

ගල්ගමුවේ දළපූට්ටුවා ඝාතන නඩුවේ DNA ප්‍රමාද වන්නේ ප්‍රබල ඇමති හෙළිවේ යැයි බියෙන්ද?

දළපූට්‌ටුවා නඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා දැනට අධිකරණයට අත්‍යවශ්‍යව තිබෙන ඇතාගේ ඩී. එන්. ඒ. වාර්තාව අදාළ මුදල් ගෙවා ඉදිරි දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සලසා දෙන ලෙසට පොලිස්‌පතිවරයාට නියම කරන බව අදාළ නඩුව 30 දා කැඳවූ අවස්‌ථාවේදී මහව මහෙස්‌ත්‍රාත් රසික මල්ලවආරච්චි මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පැවසීය.

දළපූට්‌ටුවා ඝාතනය කිරීම, ඇත්දළ කපා අලෙවි කිරීම යන චෝදනාවන්ට අදාළව දැනට ඇප මත මුදාහැර සිටින සැකකරුවෝ 8 දෙනාම මෙම නඩුව සඳහා ඉදිරිපත් වී සිටියහ. සැකකරුවන් වෙනුවෙන් නීතිඥයන් තිදෙනකු පෙනී සිටි අතර පරිසර සංවිධාන වෙනුවෙන් නීතිඥයෝ දෙදෙනෙක්‌ පෙනී සිටියහ.

අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන පළමු වන අංශයේ පොලිස්‌ කොස්‌තාපල් (35685) නිහාල් සිසිර කුමාර මහතා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

දැනට අධිකරණයට ඉදිරිපත් කළ යුතුව ඇති ඩී. එන්. ඒ. වාර්තාව මේ වනවිටත් ජින්ටෙක්‌ ආයතනය විසින් සකස්‌ කර ඇති බවත් ඒ සඳහා වන මුදල ගෙවීම සඳහා පොලිස්‌පතිවරයාගේ අනුමැතියට යවා ඇති බවත් එය ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන බවත් එම නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්‌වමින් පැවසීය.

ඇත් දළ සඟවා තිබී අත්අඩංගුවට ගෙන දැනට අධිකරණය භාරයේ තිබෙන මෝටර් රථය පිළිබඳව කළ පරීක්‌ෂණයේදී රේගුව සහ ආනයන අපනයන ආයතන විසින් එම මෝටර් රථය නීත්‍යානුකූල එකක්‌ නොවන බවට තහවුරු කර ඇති බවත් එම මෝටර් රථය පිළිබඳව පැවැත්වෙන පරීක්‌ෂණ සඳහා 1-4-5 යන සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා අධිකරණයේ අවසරය ඉල්ලා සිටින බවත් අධිකරණයට කරුණු දක්‌වමින් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේය.

මෙම නඩුවේ අත්‍යවශ්‍ය වාර්තාවක්‌ වන ඩී. එන්. ඒ. වාර්තාව මෙපමණ කලක්‌ ප්‍රමාද වන්නේ කුමන හේතුවක්‌ නිසාදැයි මහෙස්‌ත්‍රාත්වරයා එම නිලධාරියාගෙන් විමසා සිටියේය.

තම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂවරයාගේ අනුමැතිය මත ගෙවිය හැක්‌කේ රුපියල් හැත්තෑපන්දහසක මුදලක්‌ පමණක්‌ බවත් ඊට වැඩි මුදලක්‌ ගෙවීමේදී පොලිස්‌පතිවරයාගේ අනුමැතිය ලබාගත යුතු බවත් මෙම ඩී. එන්. ඒ. වාර්තාව සඳහා රුපියල් එක්‌ ලක්‌ෂ දාහතර දහසක මුදලක්‌ ගෙවිය යුතු බැවින් එම මුදල ගෙවීමට පොලිස්‌පතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කර ඇති බවත් එම නිලධාරියා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

මෙම අවස්‌ථාවේදී විත්තියේ නීතිඥයෝ 4 – 5 – 6 – 7 – 8 යන සැකකරුවන් සහ මේ වනවිට අධිකරණය භාරයේ ඇති ත්‍රිරෝද රථය මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

කරුණු සලකා බැලූ මහෙස්‌ත්‍රාත්වරයා විත්තියේ නීතිඥවරුන්ගේ ඉල්ලීම පිළිබඳ සලකා බැලීම ඉදිරි දිනයේ සිදුකරන බවත් පැමිණිල්ල විසින් ඉල්ලා සිටි ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා 1 – 4 – 5 යන සැකකරුවන් 2018 ජුනි මස 06 වැනිදා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට අවශ්‍ය ප්‍රකාශ ලබාදිය යුතු බවත් ඩී. එන්. ඒ. වාර්තාව සමඟ සමස්‌ත නඩුවේ පරීක්‌ෂණවල ප්‍රගතිය පිළිබඳව සම්පිණ්‌ඩන වාර්තාවක්‌ ඉදිරි දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවටත් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට නියෝග කරමින් මෙම නඩුව අගෝස්‌තු 08 වැනිදාට කල්තැබීය.
« PREV
NEXT »