BREAKING NEWS
latest

728x90

468x60

Saturday, July 14, 2018

බැරලය ඩොලර් ‍40ට තිබියදී මහින්ද පෙට්ට්‍රල් දුන්නේ රු. 122කට - එදා වාසිය ජනතාවට නොදී අද විකෘතිකර කරුණු දැක්වීම හෙළා දකිනවා - මංගල

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරල් එකක මිල ඇමෙරිකානු ඩොලර් 40ට තිබූ වසර 2008 දෙසැම්බර් රාජපක්ෂ පාලන සමයේ එහි වාසිය රටේ ජනතාවට ලබා නොදී පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 122කට ජනතාවට ලබාගන්නට ඉඩ සැලැස්සූ හිටපු මුදල් ඇමැති හා වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වත්මන් රජය හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම විකෘති කරුණු පදනම් කරගෙන ප්‍රකාශ නිකුත් කිරීම හෙළා දකින බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.

හිටපු ජනාධිපති හා මුදල් ඇමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පඳුරු අස්සේ ඉඳගෙන වත්මන් රජයේ ප්‍රතිපත්තිවලට පහර ගැසීමේ ක්‍රියාවලියක නිරතවන බවත්, එය දිගු දේශපාලන අත්දැකීම් ඇති වැඩිහිටි දේශපාලනඥයකු ලෙස ඒ මහතාට තරම් වටිනා වැඩක් ‍නොවන බවත් මංගල සමරවීර මහතා අවධාරණය කෙළේය.

රජය හඳුන්වාදුන් ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් කරුණු විකෘති කොට හිටපු මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා දක්වන අදහස්වලට පිළිතුරු ලබාදීමට, කොළඹ කොටුව මුදල් අමාත්‍යාංශයේ ඊයේ (13) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් මංගල සමරවීර මහතා මේ බව ප්‍රකාශ කෙළේය.

මහින්ද රාජපක්ෂ මහතා ඩොලර් 97ට තෙල් බැරල් එකක් තිබූ කාලයේ අපේ රටේ පැට්ට්‍රල් ලීටරයක් රුපියල් 120 දුන්නා කියා කියා තිබුණා. ඒ ගැනයි මම දැන් කියන්නේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයට වඩා අද වන විටත් අපේ රටේ පෙට්‍රල්, ඩීසල් මිල ගණන් අඩුයි. වසර 2014 දෙසැම්බර්, 2015 ජනවාරි මාසවල අපේ රටේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 150 යි. එදා තෙල් බැරල් එකක මිල ඩොලර් 55 යි.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරල් එකක මිල ඩොලර් 98 තිබූ කාලයේ පෙට්‍රල් ලීටර් එකක් දුන්නේ රුපියල් 157ටයි. බොරතෙල් බැරල් එකක මිල ඩොලර් 68, ඩොලර් 46 ට තිබූ කාලයේත් ඔවුන් පෙට්‍රල් ලීටරයක් දුන්නේ රුපියල් 150 ටයි.

අපි අද ඩොලර් 74 ට බොරතෙල් බැරල් එකක් තිබෙන වේලාවෙත් පෙට්‍රල් ලීටරයක් ලබා දෙන්නේ රු. 145 යි. තාමත් රාජපක්ෂ පාලනයට වඩා ඉන්ධන මිල අඩුයි.

ඒ නිසා ඉන්ධන මිල ගණන් ගැන කරුණු සංඛ්‍යා දත්ත විකෘති කර ප්‍රකාශ නිකුත් කිරීම දැන්වත් නතර කරන්න කියා කියන්න කැමැතියි. හිටපු මුදල් ඇමැතිතුමාට මා නැවත වතාවක් ආරාධනා කරනවා මා සමඟ ප්‍රසිද්ධියේ විවාදයකට එන්න කියා. එසේ විවාදයකට ආ විට අපට මුහුණට මුහුණ රටේ ආර්ථිකයේ තත්ත්වයන් ගැන වාද කරන්න පුළුවන්.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දුන්නා පෙට්‍රල් ලීටරයක් රුපියල් 65 කට අඩු කරන්න කියා. ඒ තීන්දුව දුන්නේ එතුමාගේ අනුපුරෝහිත හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මැතිතුමායි. ඒ තීන්දුවත් එතුමා ක්‍රියාත්මක කළේ නෑ.

‘අපි ඉදිරියේදී සෑම මාසයකට වරක්ම ඉන්ධන මිල සංශෝධනය කරනවා. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වැඩි වුණාම මෙසේ ඉන්ධන මිල වැඩි වෙනවා වාගේම, ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩු වුණහම, මෙහෙත් ඉන්ධන මිල අඩු කිරීමටයි මේ මිල සුත්‍රය හඳුන්වා දුන්නේ. මේ මිල සුත්‍ර ක්‍රමය ලෝකයේ දියුණු සංවර්ධිත රටවල අනුගමනය කරන දියුණු ක්‍රමවේදයක් බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා, මේ ඉන්ධන මිල සුත්‍ර ක්‍රමය හංගන්න දෙයක් නැහැ. ඕනෑම කෙනෙකුට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලුම්පතක් දැම්මොත් මේ මිල සුත්‍රය ලබා දෙන්නට පුළුවන්

අපේ රටේ කිසිම වැඩක් හැංගිලා කරන්නේ නැහැ. බො‍හෝම විවෘතයි, විනිවිදභාවයෙන් යුතුවයි සිදු කරන්නේ.

ඉදිරියේ පාරිභෝගික අධිකරියේ බලතල වැඩි කරන පනත සංශෝධනය කරන්න රජය සූදානම්. රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයා ඒ ගැන කටයුතු කරමින් ඉන්නේ යැයිද රාජ්‍ය ඇමැතිවරයා කීය.

dinamina.lk
« PREV
NEXT »