BREAKING NEWS
latest

728x90

468x60

Thursday, January 12, 2023

සමාජ ව්‍යවසායකත්ව ක්‍ෂේත්‍රය ප්‍රචලිත කිරීමට සහය

රටක ආර්ථික සංවර්ධනයට හා සුභ සාධනයට සමාජ ව්‍යවසායකත්ව ක්‍ෂේත්‍රය ඉතා වැදගත් වන බවත්, එමඟින් මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට දිරිය හා ශක්තිය ලබා දිය හැකි බවත්, ඔවුන්ට යහපත් ආකාරයට ආර්ථික සංවර්ධනය වෙත, ඉළක්ක කර මෙහෙයවීමට හැකි බවත්, එම නිසා මෙම සමාජ ව්‍යවසායකත්ව ක්‍ෂේත්‍රයට ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය හෙවත් නෙඩා (NEDA) ආයතනය මඟින් පූර්ණ සහයෝගය ලබා දෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ ටාජ් සමූද්‍ර හෝටලයේදී පැවති “ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යවසායකයින් පිළිබඳ සමීක්ෂණ වාර්තාව” ප්‍රකාශයට පත් කිරීමේ උළෙලේදීය. මෙම වාර්තාව සම්පාදනය කර තිබුණේ බ්‍රිතාන්‍ය සභාවේ (කවුන්සිලය) අනුග්‍රහයෙන් ලංකා සමාජ ව්‍යාපාර හෙවත් Lanka Social Ventures ආයතනය මඟිනි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය ආර්ථික හා සමාජ කොමිෂන් සභාව (ESCAP) හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය ලැබුණි.

මෙහිදී බ්‍රිතාන්‍ය සභාවේ (කවුන්සිලයේ) ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ ගිල් කැල්ඩිකෝට් (Mrs. Gill Caldicott) මහත්මිය විසින් කර්මාන්ත හා වාණිජ කටුයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට “ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යවසායකයින් පිළිබඳ සමීක්ෂණ වාර්තාව” පිළිගන්වනු ලැබීය. මෙම උත්සවයට සමාජ ව්‍යවසායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, විද්වතුන්, සේවා සපයන්නන් සහ මෙම සමාජ ව්‍යවසායකත්ව ක්‍ෂේත්‍රය නංවාලීමට කටයුතු කරන පාර්ශවයන්ද සහභාගී විය. 

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය. 

“සමාජ ව්‍යවසායකත්ව ක්‍ෂේත්‍රය ආශ්‍රිතව ශ්‍රී ලංකාව සතුව දිගු ඉතිහාසයක් පවතිනවා. ඒ සඳහා එදා අප රට තුළ පැවති ගොවි සමාජ, පුණ්‍ය කටයුතු ආයතන හා සමූපකාර ව්‍යාපාරය හඳුන්වාදීමට පුලුවන්. නමුත් අප රටේ ජනතාව මේවා සමාජ ව්‍යවසායකත්ව ආයතන ලෙසට හඳුනාගෙන තිබුණේ නැහැ. නමුත් මෙම සමාජ ව්‍යවසායකයින් විටින් විට මතුවෙමින්, එළිදරව් වෙමින් පැවති බව සඳහන් කරන්න ඕන. නමුත් මෙම සමාජ ව්‍යවසායක ක්‍ෂේත්‍රය අප රට තුළ විශාල ලෙස පිළිගැනීමකට ලක්වීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම එය ජනප්‍රිය විය යුතුයි. අපගේ පාරිභෝගික සමාජය මෙය පිළිගැනීමට උනන්දු කරවිය යුතුයි. දැනටමත් අප විශ්වාස කරන පරිදි කෘෂිකර්මය, ධීවර, වැවිලි, පරිසර, අධ්‍යාපන, සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණය හා සේවා වැනි විවිධ ක්‍ෂේත්‍රයන් සමාජ ව්‍යවසායකත්වයෙන් ආවරණය වෙනවා. මගේ අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය හෙවත් NEDA ආයතනය අප රටේ කුඩා හා මධ්‍යම පරිමාණ (SME) ව්‍යවසායකත්ව ප්‍රජාවගේ ගැටලු දැනටමත් හඳුනාගෙන තියෙනවා. එම නිසාම අපි මේ පිළිබඳව උනන්දුවක් හා දැනුමක් ඇති කරන සමාජ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩ සටහන් අරඹලා තියෙනවා.

අද දින බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා සමාජ ව්‍යවසායකයින් පිළිබඳ සමීක්ෂණ වාර්තාව ඉතා වැදගත් වාර්තාවක් ලෙස හඳුන්වන්න ඕන. ඒ සඳහා කටයුතු කළ බ්‍රිතාන්‍ය කවුන්සිලයට, එස්කැප් (ESCAP) ආයතනය හා ලංකා සමාජ ව්‍යාපාර (LSV) ආයතනයට ස්තූතිවන්ත වෙනවා. අපේ අමාත්‍යාංශය මඟින් ගෙවී ගිය කාලය තුළ මෙරට සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කරලා තියෙනවා. ඒ අයට දිරිය ලබා දෙන්න අපි වැඩ සටහන් ගණනාවක්ම ක්‍රියාත්මක කරලා තියෙනවා. විශේෂයෙන්ම ඉතා අඩු පොළියට රජයේ දායකත්වයෙන් ණය ලබා දීම, මූල්‍යාධාර ලබා දීම, සහනාධාර ලබා දීම මෙන්ම ව්‍යාපාර පිළිබඳව හොද පුහුණුවක් සමඟ හොද වෙළෙඳපොළක් ලබා දීමටද අපි කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා අපේ රජය මඟින් ලබා දී තිබෙන සහනාධාර අති විශාලයි. එම නිසා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් නවතම දැනුම ලබා ගෙන නව ව්‍යාපාර දියුණු කරගෙන සිය නිෂ්පාදනවලට වැඩි අගයන් එකතු කර ගනිමින් හොඳ වෙළෙඳපොළක් දිනා ගැනීමට කටයුතු කළ යුතුයි.” යැයි පැවසීය. 

මෙහිදී බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ ගිල් කැල්ඩිකොට්, ලංකා සමාජ ව්‍යාපාර ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් වෙලමැදගේ මහත්ම මහත්මීන් කතා කළ අතර, ESCAP ආයතනයේ තාක්ෂණ හා නවෝත්පාදන වෙළෙඳ අංශයේ ප්‍රධානී ජොනතන් වොංග්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්. තාජුඩීන් මහත්වරු සහභාගී විය.
« PREV
NEXT »