BREAKING NEWS
latest

728x90

468x60

Thursday, May 03, 2018

ගමේ සංවර්ධනය රටේ ආර්ථිකයට දායක කරගැනීමට නම් ප්‍රේමදාස චින්තනය ගමට ගෙන යායුතුයි - සාගල රත්නායක

ගම දියුණු කිරීම හරහා සමස්ත රටම සංවර්ධනය කරා ගෙනයාම ප්‍රේමදාස මහතාගේ දේශපාලන දර්ශනය තුළ තිබූ මූලික සංකල්පයක් විය. වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂයේ දැක්ම වී තිබෙන්නේ ද ගමේ සංවර්ධනය රටේ ආර්ථිකයට දායක කරගැනීමයි. ‍

‘සැමට සෙවණ - හිතට නිවන’ යන සංකල්පය පෙරදැරිව නිර්මාණය කළ උදාගම් මෙන්ම ‘දුප්පත්කම නැති කිරීම’ වෙනුවෙන් ඔහු විසින් නිර්මාණය කළ ‘ජනසවිය’ ව්‍යාපාරය ද ග්‍රාමීය ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩපිළිවෙලේදී සුවිශේෂී දායකත්වයක් ලබාදුන්නේය. එමෙන්ම, පක්ෂ භේදයෙන් තොරව ක්‍රියාත්මක වූ ග්‍රාමෝදය මණ්ඩල, ප්‍රජාව මගින් දිළිඳු බව හඳුනාගත් අතර ගම් පහළොස්දහස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල තුළ ගමේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට අවශ්‍ය පසුබිම සකස් කළේය. මේ සංකල්පයන් තුළින් ගම වෙත ගෙන ගියේ එජාපයේ දැක්මය.


නිසි වේලාවට වැඩකළ ඔහු සිය දේශපාලන ගමන් මඟ තුළ මෙන්ම රටේ ජනතාවගේ සුබ සෙත සලසන ව්‍යාපාරයන් හි දී අඟහිගතා ඉස්මතු වීම් ගැන කිසිලෙසකින් වත් නොතැකුවේය. රු. 75,000 න් නිවාස ලක්ෂයක් හදන වැඩපිළිවෙල ප්‍රකාශයට පත්කළ දිවංගත ප්‍රේමදාස මහතා සිය දේශපාලන සගයින් මෙන්ම රාජ්‍ය නිළධාරීන් පවා පුදුමයට පත්කරමින් මහජනයාට සෙත සැලසීමේ සටනට අවතීර්ණ වූවේය.

එජාපයෙන් බිහිවූ නායකයකු ලෙස ඔහු පිළිපැදි ගමන් මඟ තුළ ඉස්මතු වූයේ හුදී ජනයාගේ සැඟවුණු ශක්තිය යි. ජනතාවට බොරු පොරොන්දු ලබානොදුන් දේශපාලඥනයකු වූ ප්‍රේමදාස මහතා පැල්පත් වල ජීවත් වූ ජනතාවට සුරක්ෂිත නිවහනක් තනාදීමට වෙහෙසුණේය. මිනිසුන්ගේ ශක්තියෙන් සෑදුණු නිවෙස් වල අත්තිවාරම දමා නිමා වූ විට රු. 2500 කුත්, බිත්ති නැග්ගූ විට තවත් රු. 2500 ක් ද, වහල සෙවිලීමට රු. 2500 කුත් ලබාදෙමින් නිවාස අධිකාරියේ නිබඳ මඟපෙන්වීම ලබාදුණි. ලෑලි ගෙවල්, පොල් අතු ගෙවල් වෙනුවට සිය දෑතේ මහන්සියෙන් ගොඩනගාගත් නිවාස මිනිසුන්ට උරුම විය.

නිවාස දස ලක්ෂයේ වැඩසටහන ප්‍රකාශයට පත්කරමින් ජනතාවට විශ්වාස කළ හැකි හෙට දිනක් ගැන පැවසූ ඔහු ආදර්ශ ගම්මාන, උදාකළ ගම්මාන හා නාගරික පුරවර ඉදිකිරීමට යොමුවූවේය. නිවාස මෙන්ම ග්‍රාමීය ආර්ථිකයට සවිබල දෙන ආර්ථික මධ්‍යස්ථාන, ආගමික මධ්‍යස්ථාන, යටිතල පහසුකම් ආදිය ද මේ වැඩසටහනෙන් බිහිවිය.

ජනසවිය වැඩපිළිවෙල හරහා අවුරුදු දෙකක කාලයකට රු. 2500 බැගින් මාස්පතා ලබාදීම සහ අවුරුදු දෙකකින් පසු ඔවුන් රැකියා මාර්ගවලට යොමු කිරීමට ඉලක්ක ගත කළේය. ජනතාව සුබ සාධක මානසිකත්වයෙන් ඉවත් කර නූතන සමාජය තුළ අප කතාබහ කරන තිරසාර සංවර්ධන මාවතට පිවිසවීමට උත්සුක වූවේය. පක්ෂ, පාට භේද වලින් තොරව, නිළධාරීවාදයෙන් හෝ පවුල්වාදයෙන් තොර පාලනයක් වූ මේ සමය අද අප කතා බහ කරන ප්‍රජාතන්ත්‍රවාදයේ යහගුණාංග මුසු වූ විනිවිදභාවයෙන් යුතු වූ සමයක් වූවේය.

සිය ‘රස කවි සිතුවිලි‘ කවි පොතේ සටහනක් තබන ප්‍රේමදාස මහතා පවසන්නේ,

“මිනිසුන් තරම් මගෙ මේ මව් පොළොව මත

වටිනා වස්තුවක් වෙන මා දුටුවෙ නැත

එම වස්තුවම රැකගන්නට යෙදවු සිත

රන් මිණි මුතුද ඔවුනගෙ දහදියෙහි ඇත” යන්නයි.

ජනතාවගේ සැබෑ දුක, කඳුළ මෙන්ම සිනහව ද හඳුනාගත් එක්සත් ජාතික පක්ෂයේ සැබෑ ජන නායකයකු වූ ප්‍රේමදාස මහතා ජාත්‍යන්තර සබඳතා, ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේදී ද අනලස්ව ක්‍රියා කළේය. අටවන නොබැඳි සමුළුව අමතමින් අප්‍රිකාව පුරා ව්‍යාප්ත වී පැවති වර්ණභේදවාදය පිටු දැකීම ගැන මෙන්ම සංහිඳියාවෙන් යුතුව ජීවත්වීමේ වැදගත්කම ගැන ලෝක නායකයින්ට අවධාරණය කළේය.

ජනහිතකාමී මේ අපූරු රාජ්‍ය නායකයාගේ ප්‍රකාශ ඇතුළත් “ප්‍රේමදාස චින්තනය” පොතට පෙරවදනක් එක්කරන වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, “ඔහුගේ චින්තනයේ මූලික අංග අඩංගු වන මෙම පොත, කටුක ඉදිරි අරගල මාවතේ අපේ නිරන්තර සහායකයා හා මග පෙන්වන්නා වනු ඇත. එම දාර්ශනික දේශපාලනඥයාගේ චින්තනයේ ගැඹුරු බව හා සමකළ හැක්කේ, ඔහු ජනතාවට දැක්වූ කරුණාවේ අව්‍යාජත්වයට පමණි.” යන්නයි.

එදා ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය පරාජය කරන්නට විශාල මෙහෙයක් සිදු කරනු ලැබුවේ එවකට පාර්ලිමේන්තුවේ සභානායකධූරය හෙබ වූ වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතාය. එතුමා එසේ සිදුකළේ තමන්ගේ පක්ෂයේ නායකත්වය ආරක්ෂා කරගැනීමේ පරම චේතනාවෙනි. එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිදු කළා සේම පක්ෂ අභ්‍යන්තරයේ කොතරම් ගැටළු තිබුණත් එම ගැටළු එළියට ගෙන නොගොස් අභ්‍යන්තර සාකච්ඡා සහ අරගල තුළින් ඒවා විසඳා ගැනීම සැමගේ යුතුකම වී තිබේ. අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාම ඊට අදාළ පුර්වාදර්ශ ප්‍රේමදාස ජනාධිපතිතුමාට එල්ල වූ දෝෂාභියෝගයේ දී ලබා දී තිබෙන බව සිහිපත් කිරීම වරදක් නොවේ.

රණසිංහ ප්‍රේමදාස මහතා අපෙන් නික්මී ගොස් වසර 25 ක් ගතවී අවසානය. පසුවී ගිය මේ කාලය තුළ එජාපය මෙන්ම මෙරට ජනතාව ද අති දුෂ්කර කාල පරිච්ඡේද ගණනාවක් ගත කළේය. යහපාලන සමාජය තුළ ජනතා ජීවිත නංවාලමින්, සංහිඳියාව ස්ථාපිත කරමින්, ප්‍රජාතන්ත්‍රවාදයේ හරයන් ඔස්සේ, පවුල්වාදයෙන් තොර වෙමින්, ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා ඔස්සේ තිරසාර සංවර්ධනයෙන් පිරිපුන් සමාජයක් ගොඩනැගීම එජාපයේ දැක්මයි.

සාගල රත්නායක
« PREV
NEXT »