BREAKING NEWS
latest

728x90

468x60

Saturday, September 30, 2017

සැලසිනේ හිටපු සභාපති ප්‍රදිප් උදය කුමාර අල්ලන්නැයි වරෙන්තු

සැලසිනේ රූපවාහිනි ආයතනයේ ලක්ෂ 120කට ආසන්න මුල්‍ය වංචාවක් සිදු කිරීමේ මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබ සිටින එහි හිටපු සභාපති ප්‍රදිප් උදය කුමාර එදිරිසිංහ මහතා දුටුතැන අත්අඩංගුවට ගැනිම සදහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (29) වරෙන්තු නිකුත් කළේය.

සිද්ධියට අදාළව මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ සැලසිනේ රූපවාහිනි ආයතනයේ හිටපු අභ්‍යන්තර විගණන නිලධාරිනි වු ‍කණේවෙල පොකුණුවිට පදිංචි මනීෂා සුභාෂිණි ජයලත් නැමැත්තිය ලබන මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියම කළේය.

සැලසිනේ ආයතනයේ හිටපු සභාපති ප්‍රදිප් උදය කුමාර එදිරිසිංහ මහතා වර්ෂ 2010 සිට 2015 දක්වා වු කාලයේ දී සභාපති ධුරය දරා ඇති අතර වුඩ්රෝ ක්ලොස් පෙරිවේල් ග්‍රින් කොර්ඩ් යු බී 6,7 එච් යු මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තය එක්සත් රාජධානිය පදිංචි ඔහුට 2017 /1/17 වන දින සිට මේ දක්වා දෙවරක් නොතීසි නිකුත් කර තිබුණි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 63 වගන්ති ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා විසින් මේ වරෙන්තු නිකුත් කරනු ලැබු අතර එහ ජාත්‍යන්තර රතු නිවේදන සහිත වරෙන්තුවක් බවට ඉදිරියේදී අධිකරණ අමාත්‍යංශය හරහා ‍පොලිසිය ක්‍රියාමාර්ග ගත යුතු බවට ද අධිකරණය නියම කළේය.

මේ මුල්‍ය වංචාවට සම්බන්ධ බවට සැකකරන චෙක්පත් අටක් හා මුදල් ලබා ගත් වවුචර්පත් අධිකරණය හමුවේ නඩු භාණ්ඩ ලෙස නම් කිරීමෙන් අනතුරුව මේ සැකකටයුතු ලේඛන රජයේ රස පරීක්ෂක වෙත යොමු කර එහි සඳහන් අත්සන් හා අත්අකුරු සම්බන්ධ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට අධිකරණය ඉකුත් 20 වැනි දින රජයේ රස පරීක්ෂක වෙත නියෝග නිකුත් කර තිබුණි.

සැලසිනේ ආයතනයේ හිටපු සභාපති ප්‍රදිප් උදය කුමාර එදිරිසිංහ,හිටපු ගණකාධිකාරි කත්‍රිආරච්චිගේ දොන් ජොෂප් ද ලසාල් , අභ්‍යන්තර විගණන නිලධාරි හා සුබසාධක සංගමයේ භාණ්ඩාගාරික මනේෂා සුභානි ජයලත් හා සුබසාධක සංගමයේ සභාපති ප්‍රසාද් මධුභාෂණ රංහොට්ටිගේ යන අයගේ අත්සන් හා අත්අකුරු පරීක්ෂාව සඳහා මෙසේ අධිකරණය විසින් මුල්‍ය අපරාධ කොට්ඨාසය වෙත අවසර ලබා දී තිබිණ.

මුල්‍ය වංචාවෙන් ලක්ෂ 18 කට ආසන්න මුදලක් හිටපු සභාපති වු ප්‍රදිප් උදය කුමාර එදිරිසිංහ මහතා විසින් සිය මිතුරෙකුට ලබා දී ඇති බවට ද කරුණු අනාවරණය වන බවට මුල්‍ය කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

පුර්ණ රාජ්‍ය ආයතනයක් වන සැලසිනේ ආයතනයේ මුල්‍ය වංචාව පොදු දේපළ පනත යටතට වන වරදක් බවට ද මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත කරුණු දක්වා සිටියේය.

සැලසිනේ ප්‍රධාන ගිණුමේ මුදල් ලක්ෂ 120 සුබසාධක සංගම් ගිණුමට බැර කර ව්‍යාජ අත්සන් යොදා අවස්ථා 20 කදී මුදල් ලබාගෙන ඇති බවට මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණ.

සැලසිනේ රූපවාහිනි ආයතනයේ රුපියල් 23,976,000 මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු සභාපතිවරයාට මුල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පෙනී සිටින ලෙස දැනුම් දුන්න ද ඔහු එංගලන්තයේ පදිංචිව සිටින බවට පසුව දැනගත් බවට මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණ.

අදාළ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරු ලෙස නම් කරන ලද හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරනු ලැබිණ.

මුල්‍ය අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක සංජිව ප්‍රනාන්දු හා කොස්තාපල් බණ්ඩාර යන අය සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
« PREV
NEXT »