BREAKING NEWS
latest

728x90

468x60

Friday, September 29, 2017

ආණ්‌ඩුව උමාඔය ගැන නිසි වේලාවට පියවර ගත්තා නම් පරිසර විනාශය අවම වෙනවා - මහින්ද

උමාඔය ව්‍යාපෘතියේ ජල කාන්දුවීම සිදුව ඇත්තේ ව්‍යාපෘතියේ උපදේශකවරුන්ගෙන් නිවැරැදි උපදෙස්‌ නොලැබීම නිසා බවත් වත්මන් ආණ්‌ඩුව බලයට පත්ව කලට වේලාවට මේ ගැන පියවර ගත්තේ නම් සිදුවන පාරිසරික හානිය අවම කර ගැනීමට හැකියාව තිබුණ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උමාඔය ව්‍යාපෘතිය පිළිබඳව නිවේදනයක්‌ නිකුත් කරමින් පවසයි.


එම නිවේදනය මෙසේය.

මෑත කාලයේ උමා ඔය ව්‍යාපෘතිය ගැන බරපතල විවේචන පළවී ඇත. මීට දින කීපයකට පෙර මෙම ව්‍යාපාතියේ ප්‍රතිපලයක්‌ ලෙස බණ්‌ඩාරවෙල නගරය අසලින් ගලා බසින කිරිඳිඔයේ අත්තක ජලය එක්‌වරම සිඳී ගොස්‌ තිබුණු බවට පුවත් මාධ්‍යයේ පලවිය. මීට සති කීපයකට පෙර පාර්ලිමේන්තුවේ කතාවක්‌ පවත්වමින් ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයා පවසා සිටියේ උමා ඔය ව්‍යාපෘතියේ අංගයක්‌ හැටියට ඉදිවෙමින් පවතින උමං මාර්ගයක්‌ තුළට ජලය කාන්දුවීම හේතුවෙන් බණ්‌ඩාරවෙල ප්‍රදේශයේ ළිං, උල්පත් හා දොල පහරවල් 2,333 ක්‌ වියළී ගොස්‌ ඇති අතර භූමියේ ස්‌වභාවය වෙනස්‌ වීම හේතුවෙන් නිවාස 4,625 ක පන්සල් 60 ක එක්‌ මුස්‌ලිම් පල්ලියක හා පාසල් 3 ක ගොඩනැඟිලිවල ඉරිතැලීම් හා බිත්ති පුපුරා යැම් හටගෙන ඇති බවත්, කෘෂිකාර්මික ඉඩම් අක්‌කර දහස්‌ ගණනක්‌ අතහැර දැමීමට සිදුවී ඇති බවත්ය. උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙවැනි ගැටලු මතුවූ පසු ජවිපෙ මන්ත්‍රීවරුන්, යහපාලන ආණ්‌ඩුවේ ඇමැතිවරුන් හා ඔවුන්ට පක්‍ෂපාත රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන් මේ සියල්ලටම වගකිවයුත්තේ මමත් මගේ ආණ්‌ඩුවත් බවට ප්‍රචාරයක්‌ ගෙනයන ලදී.

මේ සියල්ලම සිදුවී ඇත්තේ හම්බන්තොට මගේ ගමේ ඉඩම්වලට ජලය සපයා ගැනීමට උමා ඔයේ ජලය හරවා ගැනීමට උත්සාහ කිරීම නිසා බව එක්‌ ඇමැතිවරයෙක්‌ කියා සිටියේය. රටේ ජනාධිපතිවරයාද පවසා සිටියේ මේ ව්‍යාපෘතිය "දේශපාලන උවමනාවක්‌" මත ආරම්භ කරන ලද්දක්‌ බවයි. උමා ඔය ව්‍යාපෘතිය යනුවෙන් අදහස්‌ වන්නේ උමා ඔය හරස්‌ කරමින් පුහුල්පොල ප්‍රදේශයේ වේල්ලක්‌ හා ජලාශයක්‌ ඉදිකිරීමත්, එම ජලාශයේ සිට කිලෝ මීටර් 4 ක උමගක්‌ හරහා ඩයරබා ප්‍රදේශයේ මාතොටිල්ල ඔය හරස්‌ කරමින් ඉදිකෙරෙන තවත් වේල්ලක්‌ හා ජලාශයකට එම ජලය ගෙන යැමත්, මෙම දෙවැනි ජලාශයේ සිට කිලෝ මීටර් 15.3 ක්‌ දිග උමං මාර්ගයක්‌ හරහා ජල විදුලි බලාගාරයකට ජලය සැපයීම, හා අවසන් වශයෙන් එම විදුලි බලාගාරයේ සිට තවත් කිලෝ මීටර් 4 ක්‌ දිග උමං මාර්ගයකින් මොණරාගල හා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කවලට ජලය සැපයීම සඳහා කිරිඳි ඔයට එම ජලය මුදා හැරීමට සකස්‌ කොට ඇති සංකීර්ණ ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය මේ රටේ දශක 6 ක්‌ මුළුල්ලේ සාකච්ඡා වී ඇත.

මෙවන් ව්‍යාපෘතියක්‌ පිළිබඳ අදහස මුලින්ම මතු වූයේ 1959 ඇමරිකා එක්‌සත් ජනපදයේ ඔපරේෂන්ස්‌ මිශන් හා කැනඩාවේ කැනේඩියන් හන්ටින් සර්වේ කෝපරේෂන් යන ආයතන විසින් කරන ලද අධ්‍යයනයකිනි. ඉන් පසුව මේ ගැන 1968/69 කාලයේ එක්‌සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මහවැලි ව්‍යාපෘතිය සඳහා සකසන ලද ප්‍රධාන සැලැස්‌මේද සාකච්ඡා විය. 1991 දී මේ උමා ඔය ව්‍යාපෘතිය ගැන ජර්මනියේ ලාමෙයර් ජාත්‍යන්තර සමාගම විසින්ද අධ්‍යනයක්‌ සිදුකරන ලදී. ඉන්පසු 1991 දී මේ ගැන ලංකාවේ ඉංජිනේරුමය කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යංශය විසින්ද අධ්‍යනයක්‌ කරනු ලැබුවේය. නැවත වතාවක්‌ 2000 දී ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යංශය කැනඩාවේ එස්‌. එන්. සී. ලාවාලින් සමාගම සමඟ ඒකාබද්ධව තවත් අධ්‍යනයක්‌ සිදුකරන ලදී. 

2001 - 2004 එජාප ආණ්‌ඩුව සමයේ 2003 දෙසැම්බර් මස හා 2004 පෙබරවාරි මස එකල විදුලිබල හා වාරිමාර්ග අමාත්‍යවරුන් වූ කරු ජයසූරිය හා ජයවික්‍රම පෙරේරාගේ සභාපතිත්වයෙන් හා ඌව පළාතේ සියලුම ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද අන්තර් අමාත්‍යංශ රැස්‌වීම්වලදී උමා ඔය ව්‍යාපෘතිය ඉහල ප්‍රමුඛතාවයකින් යුතු ව්‍යාපෘතියක්‌ හැටියට ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට්‌ අනුමැතිය ලැබුණේ 2005 ජනවාරි 26 වැනිදාය. ඒ, එකල චන්ද්‍රිකා කුමාරතුංග ආණ්‌ඩුවේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාර්මාර්ග ඇමැතිවරයා වූ අනුර කුමාර දිසානායක විසින් කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට්‌ පත්‍රිකාවක්‌ අනුසාරයෙනි. එකල මේ අමාත්‍යංශය සම්පූර්ණයෙන්ම ජවිපෙ පාලනය යටතේ පැවති අතර එහි නියෝජ්‍ය අමාත්‍යවරයා වූයේ බිමල් රත්නායකය. 2005 ජනවාරි 4 වන දින අංක 05/0036/039/002 දරණ ජවිපෙ ඇමතිවරයාගේ මේ කැබිනට්‌ පත්‍රිකාවේ මෙසේ සඳහන් විය(

උපුටා දැක්‌වීම

"ශ්‍රී ලංකාවේ අග්නිදිග වියළි කලාපය (විශේෂයෙන්ම හම්බන්තොට හා මොණරාගල දිස්‌ත්‍රික්‌ක) දියුණු කිරීම සඳහා උමාඔයෙන් ජලය ලබාගැනීම හැරෙන්නට වෙනත් විකල්පයක්‌ නැත."

"හම්බන්තොට හා මොණරාගල දිස්‌ත්‍රික්‌ක ආර්ථික වශයෙන් දියුණු කිරීමේ උපාය මාර්ගය මෑත කාලයේ වෙනස්‌ වී ඇත. උමා ඔය කිරිඳි ඔයට හැරවීමේ ව්‍යාපෘතිය දැන් සලකා බලනු ලබන්නේ මෑතක සිට ප්‍රචලිත වී ඇති රුහුණුපුර සංවර්ධනය පිළිබඳ සංකල්පය අනුවය. රුහුණුපුර සංවර්ධනය යනුවෙන් අදහස්‌ වන්නේ හම්බන්තොට වරාය මේ කලාපයේ නවීන වරායක්‌ බවට පත් කිරීම, මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ ජාත්‍යන්තර ගුවන් තොටුපලක්‌ හා තෙල් පිරිපහදුවක්‌ ඉදිකිරීම යන අංගයන්ගෙන් සමන්විත ව්‍යාපෘතියකි. ඉන්දියන් සාගරයේ සැරි සරන නැව් විශාල ගණනක්‌ හම්බන්තොට වරායට පැමිණෙනු ඇති බවටත්, ඒ ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරයද ඇතුළුව කාර්මික කටයුතු විශාල ගණනක්‌ සිදුවනු ඇති බවටද බලාපොරොත්තු වේ. මේ නව සංවර්ධන කටයුතු සඳහා 2030 වන විට ජල අවශ්‍යතාවය මෙටි්‍රක්‌ කියුබික්‌ මීටර් 100 ක්‌ වනු ඇති බවට ගණන් බලා ඇත. එම ප්‍රදේශයේ ස්‌ථාවර ජල සැපයුමක්‌ නොමැති නිසා උමා ඔයෙන් ජලය ලබා ගැනීම මේ අවශ්‍යතාව සපුරා ගැනීමට ඇති එකම විකල්පය වශයෙන් සැලකේ."

"එම නිසා මෙම ව්‍යාපෘතියට ඉහළ ප්‍රමුඛතාවයක්‌ දිය යුතුය."

උපුටා දැක්‌වීම අවසන්

උමා ඔය ව්‍යාපෘතිය 2005 මගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රමුඛතාවය ලැබිය යුතු ව්‍යාපෘතියක්‌ හැටියට සඳහන් වූයේ කලින් ආණ්‌ඩු ගණනාවක්‌ම යටතේ පෙරකී සියල්ල සිදුවූ පසුවය. 2005 දී ජනතා විමුක්‌ති පෙරමුණද මගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයට දායක වූ අතර උමා ඔය ව්‍යාපෘතිය මගේ ආණ්‌ඩුවේද ප්‍රමුඛතාවය සහිත ව්‍යාපෘතියක්‌ බවට පත්විය. උමගක්‌ ඉදිකිරීමට කැණීම් සිදුකරන විට ඊට ඉහලින් ඇති භූමියේ භූගත ජලය එය තුළට කාන්දු වීම සාමාන්‍ය සිදුවීමක්‌ වන අතර උමග ඉදිකරන අතරතුර ඒ ජල කාන්දුව නැවැත්වීමට පියවර ගතයුතු වෙයි. මට ලැබී ඇති තොරතුරු අනුව මේ ජල කාන්දුව හටගෙන ඇත්තේ උමග හෑරීමට යොදවා ඇති ජර්මානු යන්ත්‍රයේ, ඉදිරියට යනවාත් සමඟ උමග සම්පූර්ණයෙන්ම සීල් කිරීමට අවශ්‍ය උපාංග නොතිබීම හේතුවෙනි.

මේ අඩුපාඩුව සිදුවී ඇත්තේ ව්‍යාපෘතියේ උපදේශක වරුන්ගෙන් නිවැරදි උපදෙස්‌ නොලැබීම හේතුවෙන් යෑයිද මට දැන ගන්නට ලැබී ඇත. උමා ඔය උමං මාර්ගයේ මුලින්ම ජල කාන්දුවක්‌ ඇති වී තිබෙන්නේ 2014 දෙසැම්බර් අවසානයේ වත්මන් ආණ්‌ඩුව බලයට පැමිණීමට දින කීපයකට පෙරය. කලට වේලාවට මේ ගැන පියවර ගනු ලැබුවේ නම් මෙයින් සිදුවන පාරිසරික හානිය අවම කර ගැනීමට හැකියාව තිබුණි. නමුත් විපක්‍ෂය දඩයම් කිරීමට අලුත් ආණ්‌ඩුවේ මුළු කාලයම වැයවූ නිසා උමා ඔය උමං මාර්ගයේ ජල කාන්දුව ගැන කිසිවකුවත් අවධානය යොමු කළේ නැත. ජවිපෙද කලින් ආණ්‌ඩුවේ වැරදි සෙවීමටත්, පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාශයේ කටයුතු මෙහෙයවීමටත් මුළු කාලයම මිඩංගු කිරීම හේතුවෙන් ජවිපෙ ඇමැතිවරයෙකු විසින් මුල පුරන ලද එකම මහාපරිමාණ ව්‍යාපෘතියේ හටගන තිබූ මේ අර්බුදය ගැන අවධානය යොමු කළේ නැත. අර්බුදය ඔඩුදුවා ජනතා උද්ඝෝෂණ ඇතිවීමෙන් පසුව ආණ්‌ඩුව නෝර්වේ රටින් ගෙන්වාගන්නා ලද විශේෂඥයකුගේ උපදෙස්‌ පරිදි උමං මාර්ගය හාරන ගමන්ම සම්පූර්ණයෙන්ම සීල් කිරීමට අවශ්‍ය උපකරණ ජර්මනියෙන් ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබෙන බව මට දැනගන්නට ලැබී ඇත. 

ඕනෑම මහපරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කරන විට එමඟින් අවතැන් වන හා අගතියට පත්වන පිරිසක්‌ සිටිය හැක. මහවැලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන විට මාවුස්‌සාකැලේ ජලාශය සඳහා මුළු මස්‌කෙලිය නගරයම වෙනත් තැනකට ගෙන යැමට සිදුවිය. වික්‌ටෝරියා ජලාශය ඉදිකරන විට මුළු තෙල්දෙණිය නගරයම වෙනත් ස්‌ථානයක පිහිටුවීමට සිදුවිය. උමා ඔය උමං මඟ තැනීමේදී හටගත් ජල කාන්දුවේ පරිමාව අනපේක්‍ෂිsත කාරණයක්‌ වූවා විය හැක. නමුත් මෙවැනි මහපරිමාණ ව්‍යාපෘති වලදී අනපේක්‍ෂිsත තත්ත්වයන් සඳහාද සාමාන්‍යයෙන් ප්‍රතිපාදන සලසනු ලැබේ. මා රට පාලනය කළ අවුරුදු 9 ඇතුළත මහා පරිමාණ ව්‍යාපෘති විශාල ගණනක්‌ ඉදිකරනු ලැබූවද ඒ සම්බන්ධයෙන් ජනතා කැලඹීමක්‌ හෝ උද්ඝෝෂණ නොතිබුණේ ඇතිවිය හැකි ගැටලු කලින්ම හඳුනාගෙන ව්‍යාපෘතිය නිසා අවතැන් වීමට ඉඩ තිබෙන ජනතාවට සම්පූර්ණයෙන්ම සෑහීSමට පත්විය හැකි වන්දි ක්‍රම ක්‍රියාත්මක කිරීම නිසාය.

මහින්ද රාජපක්‍ෂ




« PREV
NEXT »