BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, September 12, 2017

ඉතිහාසය වෙනස් කරමින් වතුකරයට පනත් සංශෝධනයක්

වැවිලි ප්‍රජාවටද සේවය කිරීමට හැකි පරිදි ප්‍රාදේශීය සභා පනත සංශෝදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

දැනට පවතින පළාත් පාලන ආයතන නීති අනුව ප්‍රාදේශීය සභා හෝ වෙනත් පළාත් පාලන ආයතනයකට වැවිලි සමාගම්වලට අයත් ඉඩම්වල කිසිදු සංවර්ධන කටයුත්තක් හෝ වැවිලි ප්‍රජාවගේ සුබසාධනයට අවශ්‍ය පියවර ගැනීමට බලයක් නොමැත.

එම අඩුපාඩුව අවබෝධ කරගත් කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා සහ දමිළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරන අමාත්‍ය මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය වී රාධ ක්‍රිශ්ණන් මහතා සහ නුවරඑළිය දිස්‍රත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජ් මහතා මේ සම්බන්ධයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ෆයිසර් මුස්තපා සමඟ සාකච්ඡා සිදුකළා. 

එහිදී සාකච්ඡාවට ගැණුනු කරුණු පදනම් කරගෙන විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තපා විසින් ප්‍රාදේශීය සභා පනත සම්මත කිරීම සඳහා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලදි.

ඒ අනුව 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා සංශෝධනය කිරීම සඳහා වූ පනතේ 19 වන වගන්තියේ පළමුවන උප වගන්තිය “ගම්වල වැඩ ඉදිකිරීම හෝ වෙනස් කිරීම” යන වචනය වෙනුවට “ගම්වල හෝ වතු ජනාවාසවල වැඩ ඉදිකිරීම හෝ වෙනස් කිරීම” යනුවෙන් සංශෝධනය කිරීමටත්, එහි දෙවන උප වගන්තියේ “තෝරාගත් ගම්වල ඒකාබද්ධ සංවර්ධනය” යන වචනය වෙනුයට “තෝරාගත් ගම්වල, වතු ජනාවාසවල ඒකාබද්ධ සංවර්ධනය” යනුවෙන් සංශෝධනය කිරීමට නියමිතයි.

එමෙන්ම ප්‍රධාන ප්‍රඥප්තියේ 33 වන වගන්තිය සංශෝධනය කිරීම මඟින් වැවිලි ප්‍රදේශ සම්බන්ධයෙන්, ප්‍රාදේශීය සභා විසින් විශේෂ යෝජනාවක් සම්මත කිරීමෙන් පසුව සහ ආදාළ වත්තෙහි පලනාධිකාරියේ එකඟත්වය ඇතිව අදාළ වැවිලි ප්‍රදේශවල පදිංචි කරුවන්ට අවශ්‍ය පාරවල් ළිං සහ එම පදිංචිකරුවන්ගේ සුබසාධනය සඳහා අවශ්‍ය වන වෙනත් පොදු පහසුකම් ලබාදීම සඳහා ප්‍රාදේශීය සභා අරමුදල උපයෝගී කරගත හැකිය.

මෙහිදී වැවිලි ප්‍රදේශ යන්නෙන් මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර සහ උතුරු මැද පළාත් තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ යටතේ පවතින නේවාසික කම්කරුවන් වාසය කරන තේ, රබර්, පොල් සහ ඔයිල් පාම් වගාකරනු ලබන වතු පිහිටා ඇති ප්‍රදේශ අදහස් වේ.

වැවිලි ප්‍රජාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා පස් අවුරුදු ක්‍රියාකාරීම සැලස්මක් එළි දක්වා එය සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටින ගරු අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ උත්සාහය සහ කැපවීම මත ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීමට හැකිවිය. 

එමඟින් සිය අමාත්‍යාංශයේ වූ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මඟින් වතුකරයේ සිදුකරන සංවර්ධනයට අමතරව තවත් විශාල සංවර්ධනයක් සිඳුකිරීමට හැකිවනු ඇති.
« PREV
NEXT »