BREAKING NEWS
latest

728x90

468x60

Friday, October 13, 2017

රහස්‌ ගන්න පරපෙචුවල් සල්ලි කඳු බෙදා දීලා

දැනට ව්‍යාපාරික කටයුතු තහනම් කර තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට භාණ්‌ඩාගාර බැඳුම්කර ලංසු ඉදිරිපත් කිරීම සඳහා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සහ සේවක භාරකාර අරමුදල ඇතුළු ආයතනවල සිටින නිලධාරීන්ගෙන් ලද අභ්‍යන්තර රහස්‌ තොරතුරුවලට තම සමාගම විසින් විශාල මුදල් ගෙවීම් සිදුකළ බව පර්පෙචුවල් ටෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු (චීෆ් ඩීලර්) නුවන් තිළිණ සල්ගාදු මහතා ඊයේ (12 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේ දී පිළිගත්තේය. 

චාලි, කාර් සහ ටැන්ගෝ යන අන්වර්ථ නාමයන්ගෙන් එම ගෙවීම් සිදුකළ බවද එම ගෙවීම්වලට අදාළ පරිගණක ලිපිගොනු යාවත්කාලීන කළේ තමා විසින්ම බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි දෙමින් සල්ගාදු මහතා කොමිසමට හෙළි කළේය.
මින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ සිටින ගෙවීම් ලබන පුද්ගලයා හැඳින්වූයේ "චාලි" යන නමින් බවද සල්ගාදු මහතා කීවේය.

2015 සැප්තැම්බර් මාසය දක්‌වා මෙසේ "චාලි ලෙස හැඳින්වූයේ සේවක අර්ථසාධක අරමුදලේ උදසීලන් මහතා බවත් ඉන් පසු "චාලි" ලෙස හැඳින්වූයේ අර්ථසාධක අරමුදලේ සිටි ඉන්දික සමන් කුමාර මහතා බවත් සල්ගාදු මහතා කොමිසමට කීවේය.

මෙසේ "චාලි" නමින් හැඳින්වූයේ සේවක අර්ථසාධක අරමුදලේ අභ්‍යන්තර තොරතුරු සැකසූ පුද්ගලයා බවත් "කාර්" සහ "ටැන්ගෝ" ලෙස හැඳින්වූයේ කව්දැයි තමා නොදන්නා බවත් තමා කළේ පර්පෙචුවෙල් ටෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතාගේ උපදෙස්‌ මත එම ලේඛන නඩත්තු කිරීම පමණක්‌ බවත් සල්ගාදු මහතා කොමිසමට සාක්‍ෂි දෙමින් කීවේය.

පර්පෙචුවල් ටෙෂරීස්‌ සමාගම ආරම්භ කළ 2014 වර්ෂයේ දී මෙන්ම එවැනි ගෙවීම් 2015 වර්ෂයේදීත් දිගටම සිදුවූ බවද කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සල්ගාදු මහතා කීවේය.

පර්පෙචුවල් ටෙෂරීස්‌ සමාගම ආරම්භ කළ අවස්‌ථාවේ සිටම එම සමාගමට අභ්‍යන්තර රහස්‌ තොරතුරු සපයන පුද්ගලයින් සිට ඇති බව ඉන් පැහැදිලි වනවා නේදැයි විනිසුරු ජයවර්ධන ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සල්ගාදු මහතා ඒ බව පිළිගත්තේය.
« PREV
NEXT »